අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර 5 වැනි වරටත් පැවැත්වෙන රණශූරයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය (27) අවසන් වන විට තම පළමු ඉනිමට ක්‍රීඩා කරන දේවපතිරාජ විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 133ක් ලබා සිටියා.
ඒ පළමුවෙන් පන්දුවට පහර දුන් පි. ද එස්. කුලරත්න විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 209ට පිළිතුරු ඉනිමේදීයි.
පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය වයස අවරුදු 19න් පහළ කණ්ඩායම
ජනිඳු චාමික (නායක), භානු අනුත්තර (කඩුලු රකින්නා), අදීශ ඉන්දීවර, යසිරු අබිශේක්, සසිඳු කෞශාන්, හිරුන් මතීෂ, චතුක හිරෝෂිමා, ලකිඳු තිහංස, බිහඳු සංදිලු, එනුක ඔනදිත් සහ තිසල් දිල්මිත්.
දේවපතිරාජ විද්‍යාලයීය වයස අවරුදු 19න් පහළ කණ්ඩායම
ගිම්හාන් රසාංජන (නායක), දියත් සංජිත, අරෝෂ සිතුමිණ, යසිරු ලක්ෂාන් (කඩුලු රකින්නා), සඳරු මල්ශාන්, පුල්ජිත් වත්සුක, ලිනුවර් සත්විදු, , විහඟ ඉඳුසර, පිංසර දුතංග, සුමේද සම්පත් සහ ඔශේන් කල්හාර.
කාසියේ වාසිය දිනා ගත් දේවපතිරාජ විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පි. ද එස්. කුලරත්න විද්‍යාලයට තරගයේ පළමු කාර්තුවේ දී සාර්ථක ලකුණු ප්‍රමාණයකට යෑමට දේවපතිරාජ පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන් දහවල් විවේකයට තරගය නතර කරන විට ලබා සිටියේ කඩුලු 5ක් දැවී ලකුණු 92ක් පමණයි.
ඒ වෙද්දී පිටියේ නොදැවී සිටි සසිඳු කෞශාන් තම කණ්ඩායමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් 6 වැනි කඩුල්ලට චතුක හිරෝෂිමා සමඟ එක්වෙමින් ලකුණු 37ක සබඳතාවක් ද සහ 7 වැනි කඩුල්ලට ලකිඳු තිහංස හා එක්වෙමින් ලකුණු 36ක සබඳතාවක් ද ගොඩ නගමින් පි. ද එස්. කුලරත්න ඉනිමට ලකුණු එකතු කළා.
එහිදී චතුක හිරෝෂිමා පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගන්නවා. සසිඳු කෞශාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 40ක්. ඔහු ඒ වෙනුවෙන් පන්දු 135ක් වැය කළ අතර ඊට හතරේ පහර 4ක් ද එක් කරනවා.
පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ ලකිඳු තිහංස. ඔහු පන්දු 49කින් ලකුණු 45ක් ලබා ගන්නවා. ඊට ඇතුලත් වූ හතරේ පහර ප්‍රමාණය 7ක්.
ඔවුන්ට අමතරව ආරම්භක පිතිකරු භානු අනුත්තර පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් ද සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ගිම්හාන් රසාංජන සහ පුල්ජිත් වත්සුක කඩුලු 4ක් බැගින් දවා ගනිද්දී දියත් සංජිත සහ සඳරු මල්ශාන් කඩුල්ල බැගින් බිඳ දැමුවා.
- පළමු දිනයේ ගෞරවය CMS කණ්ඩායමට
- කවීන් දෙනෙත් ශතකලාභී ලැයිස්තුවට එක් වෙයි
- ආබාධ සහ විසංවාද මැද IPL ආරම්භයට සියල්ල සූදානම්!
- සුනිල සංග්‍රාමයට අර්ධ ශතක ත්‍රිත්වයක්
- නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩකයන්ට තම ඉනිම ආරම්භ කරන්නට සිදුවෙන්නේ අවාසනාවන්ත ලෙසයි. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 8ක් වෙද්දී දැවී යනවා.
එසේ වූවත් 2 වැනි කඩුල්ලේ දී ලකුණු 58ක සබඳතාවක් එක් කිරීමට අරෝෂ සිතුමිණ සහ සඳරු මල්ශාන් සමත් වෙන්වා.
පන්දු 27කින් තම අර්ධ ශතකය ලබා ගන්නා අරෝෂ සිතුමිණ 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.
සඳරු මල්ශාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 37ක්. ඒ සඳහා ඔහු පන්දු 47කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 6ක් ඇතුලත් කරනවා.
ඔවුන්ට අමතරව පුල්ජිත් වත්සුක පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී එනුක ඔනදිත් ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව යසරු අභිෂේක්, ජනිඳු චාමික සහ බිහඳු සඳිලු කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
පි. ද එස්. කුලරත්න විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 209 (70.3) භානු අනුත්තර 23, සසිඳු කෞශාන් 40, චතුක හිරෝෂිමා 20, ලකිඳු තිහංස 45, පුල්ජිත් වත්සුක 4/63, ගිම්හාන් රසාංජන 4/46
දේවපතිරාජ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 133 (32.0) අරෝෂ සිතුමිණ 51, සඳරු මල්ශාන් 37, පුල්ජිත් වත්සුක 30, එනුක ඔනදිත් 3/22
දේවපතිරාජ විද්‍යාලය ලකුණු 76ක් පිටුපසින්
මෙම තරගය අද (28) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















