අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර 57 වැනි වරටත් පැවැත්වෙන සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 21 සහ 22 දෙදින අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.
1963 වසරේ දී ආරම්භ වූ මෙම තරගය මෙරට මිශ්‍ර පාසල් අතර පැවැත්වෙන පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලෙසිනුයි සැලකෙන්නේ. විවිධ හේතුවෙන් මත අවස්ථා කිහිපයක දී මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගය නොපැවැතී අතර ඒ අනුව නිමා වූ තරග 56 අතුරින් අවස්ථා 12ක ජයග්‍රහණ ධර්මාශෝක විද්‍යාලය ද සහ අවස්ථා 2ක ජයග්‍රහණ ශ්‍රී දේවානන්ද විද්‍යාලය විසින් ද ලබා ගන්නා ලද අතර විසඳුමකින් තොරව අවසන් වූ සුනිල සංග්‍රාම තරග ප්‍රමාණය 41ක් වන අතර අනෙක් තරගය විසඳුමකින් තොරව අවසන් ව තිබෙනවා.
සුනිල සංග්‍රාම ඉතිහාසයේ අවසන් වරට තරගයක ජයග්‍රහණයක් වාර්තා වෙන්නේ 2022 වසරේ දීයි. ෂෙහාන් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී දේවානන්ද විද්‍යාලය ලැබූ එම ජයග්‍රහණය ඔවුන් වාර්තා කරන්නේ වසර 56කට පසුව වීමත් විශේෂත්වයක්. ධර්මාශෝක විද්‍යාලය අවසන් වරට සුනිල සංග්‍රාම කුසලානයක් හිමිකර ගන්නේ 2019 වසරේ දිනුක ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුතුවයි.
සුනිල සංග්‍රාම ඉතිහාසය
සුනිල සංග්‍රාම ඉතිහාසය වර්ණවත් කරමින් ලියැවෙන සටන්කාමීන් අතර කලක් ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකත්වය දැරූ උපුල් තරංග ගේ නම ඉහළින් ම ලියැවෙනවා. ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කළ ඔහු 2004 වසරේ දී ලබා ගන්නා ලද ලකුණු 169 සුනිල සංග්‍රාම ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් එතෙක් මෙතෙක් වාර්තා කළ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් තවමත් නිරුපද්‍රිතව තිබෙනවා.
එමෙන් ම සුනිල සංග්‍රාම ඉතිහාසයේ තවත් සුවිශේෂී ක්‍රීඩකයන් දෙපළක් ලෙසින් ධර්මාශෝක විද්‍යාලයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ගිය හිටපු ටෙස්ට් සහ එක්දින නායක දිනේෂ් චන්දිමාල් සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් ධර්මාශෝක විද්‍යාලයට ගිය තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ද හැඳින්විය හැකියි.
එමෙන් ම ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා එක්දින ජාතික කණ්ඩායම හා එක් වූ සමන් ජයන්ත ද සහ මෑත කාලයේ ශ්‍රී ලංකා A කණ්ඩායම එක් වීමේ වරම් ලද ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ සොහාන් ද ලිවේරා ද ගෞරවනීය සුනිල සහෝදරයන්.
70 දශකයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය දඟ පන්දුවෙන් කැළඹූ අජිත් ද සිල්වා ගේ නම අම්බලන්ගොඩ ක්‍රිකට් ඉතිහාසයේ අමතක කළ නොහැකි නමක්. ධර්මාශෝක විද්‍යාලයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ගොස් ජාතික කණ්ඩායම හා එක් වූ අජිත් ද සිල්වාට ගමෙන් කොළඹට සංක්‍රමණය වීම හේතුවෙන් ම සුනිල සංග්‍රාම ඉතිහාසයට ඔහුගේ නම ඇතුලත් කර ගැනීමට හැකි වෙන්නේ නැහැ.
ඒ කෙසේ වෙතත් ගම අම්බලන්ගොඩ කරගත් ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ඒ සහ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම්වල සමාජිකයන් සේ කටයුතු කළ ජේ. ඩබ්ලිව්. ආනන්ද (ශ්‍රී දේවානන්ද), ටී. අරුණ (ධර්මාශෝක), හැළඹගේ ප්‍රේමසිරි (ධර්මාශෝක), පී. මිල්ටන් (ශ්‍රී දේවානන්ද), සරත් අශෝක (ශ්‍රී දේවානන්ද), ඒ. ඩී. බන්දුල (ධර්මාශෝක), ජනක කුමුදු (ධර්මාශෝක), සුරාජ් සංජීව (ශ්‍රී දේවානන්ද) සහ පුලින තරංග (ශ්‍රී දේවානන්ද) වැන්නෝ දක්ෂ සුනිල සටන් සගයන් ලෙසින් හැඳින්විය හැකියි.
මේ අතරට ශ්‍රී ලංකා අතර වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ සුනිල ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් අතුරින් ශ්‍රී දේවානන්ද විද්‍යාලය නියෝජනය කළ ධම්මික නිරෝෂන් 2002 වසරේ දී නවසීලන්තයේ පැවැති යොවුන් ලෝක කුසලානයේ නායකයා ලෙසින් කටයුතු කරමින් එම කාණ්ඩයෙන් කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වීමත් සුවිශේෂී මතකයක්. අකාලයේ මියගිය ඔහු අද සුනිල සංග්‍රාම භූමිය අහිමි වූ ප්‍රේක්ෂකයෙක්.
සුනිල සංග්‍රාම සටන් සගයන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජාතික කණ්ඩායම නියෝජනය කළ මංජුල ගුරුගේ (ශ්‍රී දේවානන්ද) මෙන් ම ගයාන් ද සිල්වා (ධර්මාශෝක) ද දක්ෂතා දැක් වූ සුනිල සටන් සගයන් ලෙසින් හැඳින්විය හැකියි.
එමෙන් ම ක්‍රිකට් තරග පිටියේ තරග තීරකයන් ලෙසින් කටයුතු කරන රංජිත් ප්‍රියන්ත (ශ්‍රී දේවානන්ද) සහ ජනක කුමුදු (ධර්මාශෝක) ද, ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් මෑත කාලයේ දී වරම් ලද චාමර ද සොයිසා (ධර්මාශෝක) සහ පළමු පෙළ තරග විනිසුරුවන් වූ ඩිල්ශාන් ද සිල්වා (ධර්මාශෝක), ලලිත් නන්දන (ධර්මාශෝක), චතුරාන් සංජීව (ධර්මාශෝක), සමන් මොහාන් (ධර්මාශෝක) සහ චමින්ද බණ්ඩාර (ශ්‍රී දේවානන්ද) වැන්නෝ ද සුනිල සංග්‍රාම ඉතිහාසයේ මතකයන් අතර සැරි සරන්නන් ලෙසින් හැඳින්වෙනවා.
මීට අමතර ව දකුණු පළාත් ක්‍රිකට් පරිපාලනයට එක් ව සිටින හැළඹගේ වසන්ත කුමාර (ධර්මාශෝක) ද, වයස අවුරුදු 60ට වැඩි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ලාල් රණසිංහ (ධර්මාශෝක), වයස අවුරුදු 70ට වැඩි ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ඩික්ෂන් ගුණවර්ධන (ශ්‍රී දේවානන්ද) මෙන් ම නිමා වූ වසරේ දී මෙරට දී පැවැති වයස අවුරුදු 50ට ඉහ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සේ ම මෙවර නවසීලන්තයේ දී නිමා වු වයස අවුරුදු 70ට වැඩි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කළ ශ්‍රියාන් හේවාවසම් (ශ්‍රී දේවානන්ද) ද සුනිල සංග්‍රාම ඉතිහාසයට එක් ව පැරණි මතක සටහන් තැබු සටන් සගයන් ලෙසින් හැඳින්විය හැකියි.
ශ්‍රී දේවානන්ද විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ Tier A කාණ්ඩයෙන් තරග පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ මෙවර තරග සමයේ දී තරග 10කට සහභාගී වෙනවා. ඒ අතුරින් කොළඹ සහිරා විද්‍යාලය සහ කලුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා.
පැවැති තරග අතුරින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ තිඹිරිගස්කඩුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාල වෙතින් පරාජයට පත් වෙන ඔවුන් අනෙක් තරග විසඳුමකින් තොරව අවසන් කරනවා.
මෙවර සුනිල සංග්‍රාමයට එක්වෙන ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය සිව් වැනි වසරට වර්ණලාභී දනිඳු ඉනෝෂ ට හිමි ව තිබෙනවා. කණ්ඩායමේ කඩුලු රකින්නා ද වන ඔහු මෙවර තරග සමය නිමා කරන්නේ තරග 10ක ඉනිම් 19ක දී ලකුණු 547ක් ලබා ගනිමිනුයි. ඒ අතරට අර්ධ ශතක 5ක් එක් කිරීමට ද ඔහු සමත් වෙනවා.
කණ්ඩායමේ උප නායකත්වය හිමි ව ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන සවීන් තියුනුවන් වෙතයි. ඔහු මෙවර තරගාවලියේ දී තරග 10ක ඉනිම් 18 දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 310ක් ද සහ කඩුලු 17ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
පිතිකරුවන් අතුරින් විශ්වසනීය ඉනිම් ගොඩ නැගූ පිතිකරුවන් අතරට මහිම් දේශායි 2 වැනි ස්ථානයේත්, ආංශු ප්‍රේමචන්ද්‍ර 3 වැනි ස්ථානයේත් සහ තෙනුෂ වීරසිංහ සිව් වැනි ස්ථානයේත් රැඳී සිටිනවා.
මහිම් දේශායි තරග 10ක ඉනිම් 19ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 342ක් ද, ආංශු ප්‍රේමචන්ද්‍ර තරග 10ක ඉනිම් 19ක දී ලකුණු 324ක් ද සහ තෙනුෂ වීරසිංහ තරග 10ක ඉනිම් 19ක දී ලකුණු 312ක් ද ලබා සිටිනවා.
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතුරින් නිශිත් තේජව ට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔහු තරග 10ක ඉනිම් 18කට එක් වෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 306ක් ද සහ කඩුලු 23ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඔහු කලුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 84 මෙවර නිමා වූ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙව්නද පිතිකරුවෙක් ඉනිමක ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
ඊට අමතර ව බාශිත මනෝද්‍ය තරග 8ක ඉනිම් 14ක දී ලකුණු 177ක් ද සහ කඩුලු 12ක් ද ලබා ගනිමින් මෙම කණ්ඩායමට තුන් ඉරියව්වෙන් දක්ෂතා එක් කර තිබෙනවා.
කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා වී සිටින්නේ දකුණතින් පිට දඟ පන්දු යවන 14 හැවිරිදි වියේ පසුවෙන ඩේන් ක්‍රිස්ටිනෝ. ඔහු මේ වන විට තරග 10ක දී කඩුලු 40ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
ඔහු කලුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි තරගයේ දී ලකුණු 96කට කඩුලු 10ක් දවා ගනිමින් පෑ දක්ෂතාව දෙව්නද පන්දු යවන්නෙක් තරගයක පෑ ඉහළ ම දක්ෂතාවයි.
ඔහුට අමතර ව දකුණතින් පිට දඟ පන්දු යවන සවිනු ගිහන්සිත් සහ දකුණතින් මඳ වේග පන්දු යවන සෙනුල වින්සර ද විශ්වසනීය පන්දු යවන්නන් බවට පත් ව සිටිනවා. සවිනු ගිහන්සිත් නිමා වූ තරග සමයේ දී තරග 8ක දී කඩුලු 22ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා ඇති අතර පිතිකරුවෙක් ලෙසින් ද ඔහු ලකුණු 103ක් ලබා සිටිනවා.
සෙනුල වින්සර මෙවර තරගාවලියේ තරග 4කට සහභාගී වෙමින් කඩුලු 12ක් ලබා ගන්නා අතර ඒ අතරට පානදුර සාන්ත ජෝන්ස් විද්‍යාලයට එරෙහි ව ලකුණු 44කට කඩුලු 7ක් දවා ගනිමින් දෙව්නද පන්දු යවන්නන් අතර ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වෙනවා.
ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:
දනිඳු ඉනෝෂ (නායක සහ කඩුලු රකින්නා), මහීම් දේශායි, ආංශු ප්‍රේමචන්ද්‍ර, තෙනුශ වීරසිංහ, සවීන් තියුනුවන්, නිෂිත් තේජව, බාශිත් මනෝද්‍ය, සවිනු ගිහන්සිත්, හංසජ රුවින්ද, ඩේන් ක්‍රිස්ටිනෝ, සෙනුල වින්සර, තිසුල් රන්සන, තරුෂ නිර්මාල්, චමිඳු දෙව්මිණ, බිනෝයි ද සිල්වා සහ නදින්ත දිනෙත්.
නිලධාරීන්
එම්. ටී. පාරමී (විදුහල්පතිනිය), සුරාජ් සංජීව ද සිල්වා (ක්‍රිකට් භාර ආචාර්ය) සමිත් ශිරෝමන් (පුහුණුකරු).
ධර්මාශෝක විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ Tier A කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ ධර්මාශෝක විද්‍යාලය තරග 9කට එක් වෙමින් මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට එරෙහි ව ඉනිමක ජයක් සහ කලුතර හොලි ක්‍රොස් විද්‍යාලයට එරෙහිව කඩුලු 10ක ජයක් ලබා ගනිමින් සහ අනෙකුත් තරග විසඳුමකින් තොරව අවසන් කරමින් තරගාවලියේ 2 වැනි වටයට සුදුසුකම් ලබා ගනිමිනුයි මෙම තරගය හා එක් වෙන්නේ.
මෙවර සුනිල සංග්‍රාමයට එක් වෙන ධර්මාශෝක විද්‍යාලයේ නායකත්වය හිමි ව ඇත්තේ සිව් වැනි වසරේ වර්ණලාභී ජිතිර සංසික වෙතයි. වමතින් දඟ පන්දු යැවීමේ නිපුණයෙක් වන ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී කඩුලු 33ක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා බවට පත් ව සිටිනවා. ඊට අමතර ව පිතිකරුවෙක් ලෙසින් ලකුණු 261ක් ද ලබා තිබෙනවා.
කණ්ඩායමේ උප නායකත්වය 2 වැනි වසරේ වර්ණලාභී කවීශ මතීෂ ට හිමිව ඇති අතර ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 261ක්. ඒ අතර කලුතර මහා විද්‍යාලයට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 80ක් ද තිබෙනවා.
ධම්සෝ පිතිකරු ලැයිස්තුවේ ප්‍රබලයා බවට පත් ව ඇත්තේ ආරම්භක වමත් පිතිකරු චන්දූප කවීෂ. ඔහු නිමා වූ තරග සමයේ දී මහනුවර සිල්වෙස්තර විද්‍යාලයට එරෙහි ව ලබා ගන්නා ලද ද්විත්ව ශතකයක් ද සමඟින් ලකුණු 677ක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් ව සිටිනවා.
ඊට අමතර ව වමතින් පා දඟ පන්දු යවමින් ද දක්ෂතා දක්වන ඔහු මේ වන විට ලබා ඇති කඩුලු සංඛ්‍යාව 22ක්.
කණ්ඩායමට සිටින අනෙක් දක්ෂතා දැක් වූ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත් ව සිටින්නේ 2 වැනි වසරට ක්‍රීඩා කරන ඔමේග කරුණාරත්න. ඔහු නිමා වූ තරග සමයේ දී ලකුණු 304ක් ලබා ගෙන ඇති අතර ඊට අමතර ව කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නා ලෙසින් ද කටයුතු කරමින් කඩුලු 16ක් ලබා සිටිනවා.
ඊට අමතර ව සුහස් ද සිල්වා ලකුණු 262ක් ලබා ගනිමින් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ විශ්වාසය දිනා සිටින අතර කඩුලු 15ක් ලබා ගත් කවීෂ සඳරුවන් පන්දු යවන්නන් අතර විශ්වාසය දිනා සිටිනවා.
ධර්මාශෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:
ජිතිර සංසික (නායක), කවීෂ මතීෂ් (උප නායක), සුහස් ද සිල්වා, ඔමේග කරුණාරත්න, චන්දූප කවීෂ, කවීෂ සඳරුවන්, හිවන් ඩිල්මික, රෙශිත ද සිල්වා, නිමෙත් සේලංග, අකේන් සංකේත්, තමිඳු කවිශර, බිඟුන් ඉඳුමිණ, තරුෂ නිර්මාල්, බුවිඳු විමත්සර සහ සංතුශ ද සිල්වා
නිලධාරීන්
කේ. ඒ. ඩී. කරුණාරත්න (විදුහල්පති), රසික ජයසූරිය (නියෝජ්‍ය විදුහල්පති), තරිඳු ප්‍රභාත් (ක්‍රිකට් භාර ආචාර්ය), ඉමේෂ් උදයංග (ප්‍රධාන පුහුණුකරු), සමීර ද සොයිසා (සහාය පුහුණුකරු)
අම්බලන්ගොඩ පුරවරය නිලෙන් බබළමින් 57 වැනි සුනිල සංග්‍රාමයට එක් වෙන ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය සහ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයන්ට Thepapare.com හී උණුසුම් සුබ පැතුම්!
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
























