සොහාන් ද ලිවේරා ශතක සමාජයට

32nd Singer - MCA Super Premier League 2025

2
MCA Super Premier League 2025

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 32 වැනි වරටත් සංවිධානය කරන MCA Super Premier League ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය අද ආරම්භ වූ අතර එහි දී Fairfirst Insuarance කණ්ඩායමේ සොහාන් ද ලිවේරා ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.

සොහාන් ද ලිවේරා විසින් අද රැස් කළේ මෙවර තරගාවලියේ සිව් වැනි ශතකය වන අතර සහ මේ දක්වා පිතිකරුවෙන් විසින් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ BBK Partnership කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් Fairfirst Insuarance කණ්ඩායම කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 346ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් BBK Partnership කණ්ඩායමේ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 200ක් පමණයි.

ඒ අනුව ලකුණු 146ක ජයග්‍රහණයක් ලබා ගත් Fairfirst Insuarance කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

BBK Partnership කණ්ඩායම

 

විජයකාන්ත් වියස්කාන්ත් (නායක), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), ශ්‍රීදරන් සාරංගන්, ශාරුජන් ශම්මුගනාදන්, නිපුන් කරුණානායක, සංතුශ් ගුණතිලක, ආනන්දන් කජාන්, කමලරාසන් ඉයලරාසන්, ක්‍රිශ්ණශ්‍රීරාම් ශ්‍යාම්සුන්දර්, තීසාන් විතුසාන් සහ ටෝනි ග්‍රේග්.

 

Fairfirst Insuarance කණ්ඩායම

 

සොහාන් ද ලිවේරා (නායක සහ කඩුලු රකින්නා), තනුක දාබරේ, ගවිරු සෙන්හස්, ගයන වීරසිංහ, අනුක් ප්‍රනාන්දු, මෝදිත රණතුංග, නිමේෂ් විමුක්ති, ඉම්තියාස් ස්ලාසා, සහන් මිහිර, දිලුම් සුදීර සහ කලණ ලියනගේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Fairfirst Insuarance කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 17ක් වෙද්දී දැවී ගිය ද 2 වැනි කඩුල්ලට ලකුණු 164ක සබඳතාවක් එක් කිරීමට නායක සොහාන් ද ලිවේරා සහ ගවිරු සෙන්හස් සමත් වෙනවා.

ගවිරු සෙන්හස් පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

අනතුරු ව 3 වැනි කඩුල්ල ලෙසින් සොහාන් ද ලිවේරා දැවී යන විට පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 135ක් ලබා සිටියා. එය ඔහු මෙවර තරගාවලියේ වාර්තා කළ මංගල ශතකයයි.

ඊට අමතර ව අනුක් ප්‍රනාන්දු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ද, ගයන වීරසිංහ පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ද සහ නිමේෂ් විමුක්ති පන්දු 18කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමගින් ලකුණු 29ක් ද ලබා ගත්තා.

Fairfirst Insuarance කණ්ායමේ ඉනිම අවසන් වන විට ඉම්තියාස් ස්ලාසා පන්දු 8කට පමණක් මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී තීසාන් විතුසාන්, සංතුශ් ගුණතිලක සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ටෝනි ග්‍රේග් ට කඩුල්ලක් හිමි වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි BBK Partnership කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල. ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.

ඊට අමතර ව සංතුශ් ගුණතිලක පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ද, ක්‍රිෂ්ණශ්‍රීරාම් ශ්‍යාම්සුන්දර් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද සහ ආනන්දන් කාජන් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 50කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව කළණ ලියනගේ කඩුලු 3ක් ද, සහන් මිහිර කඩුලු 2ක් ද සහ ගයන වීරසිංහ කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Fairfirst Insuarance – කඩුලු 7ක් දැවී 346 (50.0) ගවිරු සෙනහස් 47, සොහාන් ද ලිවේරා 135, ගයන වීරසිංහ 32, අනුක් ප්‍රනාන්දු 45, නිමේෂ් විමුක්ති 29, ඉම්තියාස් ස්ලාසා නොදැවී 21, සංතුශ් ගුණතිලක 2/50, තීසාන් විතුසාන් 2/45, විජයකාන්ත් වියස්කාන්ත් 2/75
  • BBK Partnership – සියලුම දෙනා දැවී 200 (36.0) නිරෝෂන් දික්වැල්ල 42, සංතුශ් ගුණතිලක 39, ආනන්දන් කාජන් 25, ක්‍රිෂ්ණශ්‍රීරාම් ශ්‍යාම්සුන්දර් 27, කළණ ලියනගේ 3/50, සහන් මිහිර 2/20, දිලුම් සුදීර 4/50

Fairfirst Insuarance කණ්ඩායමට ලකුණු 146ක ජයක්.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ 2 වැනි තරගය හෙට (22) කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී පැවැත් වෙන අතර ඒ සඳහා Hayleys Group A කණ්ඩායම සහ HNB A කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මෙම තරග ThePapare.com, ThePapare 1 (Dialog TV Chanal 62) සහ Dialog ViU app ඔස්සේ නැරඹිය හැකියි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<