කාන්තා කණ්ඩායම ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබයි

28th Asian Table Tennis Team Championship 2025

21
Table Tennis

ජාත්‍යන්තර මේසපන්දු සංගමය සහ ආසියානු මේසපන්දු සංගමය එක් ව 28 වැනි වරටත් සංවිධානය කළ ආසියානු මේසපන්දු කණ්ඩායම් ශූරතාවලියේ ශ්‍රී ලංකා මේසපන්දු කාන්තා කණ්ඩායමේ ගමන අවසන් වූ අතර එම තරගාවලියේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායම 2026 වසරේ පැවැත්වෙන ලන්ඩන් ලෝක ශූරතා මේසපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඉන්දියාවේ Bhubaneswar හි දී පැවැති මෙම ශූරතාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (14) සහභාගී වූයේ ඉරානය සමඟිනුයි. ඒ 11 වැනි හෝ 12 වැනි ස්ථාන හිමි කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙනුයි.

එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවතත් පළමුවෙන් තරග පිටියට පිවිසියේ ටමාදි කාවින්ද්‍යා. ඇය ගේ ප්‍රතිවාදිනිය වූයේ ඉරාන මේසපන්දු ඉතිහාසයේ ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ පළමු මේසපන්දු ක්‍රීඩිකාව වූ 39 වැනි වියේ පසුවෙන Shahsavari Neda.

මෙම තරගයේ පළමු වටය ඉතා තියුණු මුහුණුවරකින් පවත්වාගෙන යෑමට දෙදෙනා ම සමත් වූ අතර කෙසේ වෙතත් එම වටය අවසන් වෙන්නේ 12-14ක් ලෙසින් ප්‍රතිවාදී ඉරාන ක්‍රීඩිකාවට ජය හිමිවෙමිනුයි.

අනතුරු ව දෙවැනි සහ තෙවැනි වටයන් 11-3ක් සහ 11-5ක් ලෙසින් ඇය පහසුවෙන් ම ජයග්‍රහණය කරනවා. ඒ අනුව එම තරගය අවසන් වෙන්නේ ඉරාන ක්‍රීඩිකාවට 3-0ක ජයග්‍රහණය හිමි වෙමින්.

අනතුරු ව ශ්‍රී ලංකාව වෙනුවෙන් නායිකා බිමන්දි බණ්ඩාර තරග බිමට එක් වෙන අතර ඇය ගේ ප්‍රතිවාදිනිය වූයේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 181 වැනි ස්ථානයේ පසුවෙන 22 වැනි හැවිරිදි වියේ Safaei Shima.

එම තරගයේ පළමු වටය 11-7ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට බිමන්දි බණ්ඩාර සමත් වූ අතර දෙවැනි වටයේ දී ද තියුණු අවසානයක් කරා තරගය ගෙන යෑමට ඇය සමත් වෙනවා. නමුත් එම  වටය අවසන් වෙන්නේ 16-18ක් ලෙසින් ප්‍රතිවාදී ක්‍රීඩිකාවට ජයග්‍රහණය හිමි වෙමින්.

අනතුරු ව ඉන් පසුව පැවැති වට ද්විත්වය ද 6-11ක් සහ 7-11ක් ලෙසින් ජයග්‍රහණ කළ ප්‍රතිවාදී ඉරාන ක්‍රීඩිකාව තරගය 1-3ක් ලෙසින් තරගය ජයග්‍රහණය කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරගකාරිය වූයේ ලෙසන්‍යා සෙතුම්දි. ඇයගේ ප්‍රතිවාදිනිය වූ  Iloukhani Setayesh එම තරගය 4-11ක්, 5-11ක් සහ 8-11ක් ලෙසින් තරග වට 3-0කින් ලෙසන්‍යා සෙතුම්දි පරාජයට පත් කරනවා.

ඒ සමඟින් ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩිකවෝ ඉරානය හා සමඟ තරගය 3-0කින් පරාජය වෙන අතර ඒ අනුව ඔවුන්ට 12 වැනි ස්ථානය හිමි වෙනවා.

ශ්‍රී ලංකා පිරිමි මේසපන්දු කණ්ඩායමට මෙම තරගාවලියේ දී හිමි වූයේ 16 වැනි ස්ථානයයි. එය පෙර වසරේ තරගාවලියේ සිටි තැනට වඩා ස්ථාන ද්විත්වයක දැක් වූ ප්‍රගතියකි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<