ශෆිඋල්ලා අක්‍රම් ගේ උත්සාහය අපතේ යයි

9

ජාත්‍යන්තර මේසපන්දු සංගමය සහ ආසියානු මේසපන්දු සංගමය එක් ව 28 වැනි වරටත් සංවිධානය කරන ආසියානු මේසපන්දු කණ්ඩායම් ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද (12) පෙරවරුවේ කසකස්තානය වෙතින් ද පස්වරුවේ දී කටාර් රාජ්‍යය වෙතින් ද පරාජයට පත් වූවා.

නිමා වූ තරග අතුරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට හැකි වෙන්නේ ශෆිඋල්ලා අක්‍රම් ට පමණි. ඒ කටාර් රාජ්‍යය සමඟ පැවැති තරගයේ දී තරග වට 3-2ක් ලෙසිනුයි.

ඉන්දියාවේ Bhubaneswar හි දී පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද පළමුවෙන් තරග බිමට පිවිසෙන්නේ කසකස්තානය සමඟ තරගයට. එහි පළමු ශ්‍රී ලංකා තරගකරු බවට පත් වෙන්නේ නායක චමීර ගිනිගේ. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ Kurmangaliyev Alan. ඔහු කසකස්තාන විවෘත තරගාවලිය, කසකස්තාන ජාතික ශූරතාවලිය සේ ම ක්‍රීඩා සමාජ ශූරතාවලියේ ද  රන් පදක්කම්ලාභි ක්‍රීඩකයෙක්.

ඔවුන් අතර පැවැති තරගයේ දී චමීර ගිනිගේ ට 7-11ක්, 9-11ක් සහ 8-11ක් ලෙසින් 3-0ක පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා.

අනතුරු ව ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමට පිවිසියේ නිමේෂ් රංචාගොඩ. ඔහුගේ ප්‍රතිවාදියා බවට පත් වූයේ 2016 වසරේ ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ Gerassimenko Kirill.

ඔවුන් අතර තරගය නිමා වෙන්නේ 4-11ක්, 8-11ක් සහ 1-11ක් ලෙසින් නිමේෂ් රංචාගොඩ පරාජයට පත් වෙමින්.

ඉන් අනතුරු ව ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමට පිවිසියේ ශෆිඋල්ලා අක්‍රම්. ඔහුගේ ප්‍රතිවාදියා බවට පත් වූයේ 22 හැවිරිදි වියේ පසුවෙන Kharki Iskender. ඔවුන් අතර පැවැති තරගයේ පළමු වටයේ දී ශෆිඋල්ලා අක්‍රම් 11-6ක් ලෙසින් ජයග්‍රහණය කරනවා.

නමුත් ඉන් අනතුරු ව පැවැති 2 වැනි සහ 3 වැනි වටයේ දී 8-11ක් සහ 7-11ක් ලෙසින් ශෆිඋල්ලා අක්‍රම් ට පරාජය වීමට සිදු වෙනවා. එහෙත් ඉන් අනතුරු ව පැවැති සිව් වැනි වටය 11-9ක් ලෙසින් තියුණු අවසානයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට ශෆිඋල්ලා අක්‍රම් සමත් වෙනවා.

ඒ අනුව තරගය 5 වැනි වටය දක්වා ගිය අතර එම වටය අවසන් වෙන්නේ 4-11ක් ලෙසින් ශෆිඋල්ලා අක්‍රම් පරාජය වූ අතර තරගයේ නිමා ව දැක් වුණේ 3-2ක් ලෙසයි.

ඒ අනුව කසකස්තානය හා තරගය අවසන් වෙන්නේ ශ්‍රී ලංකාවට 0-3ක පරාජයකට මුහුණ දෙමින්.

තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ කටාර් පිරිමි කණ්ඩායම අතර තරගය ආරම්භ වෙන්නේ ශෆිඋල්ලා අක්‍රම් සහ Abdulwahhab Mohammed අතර. ඔවුන් අතර පැවැති තරගයේ පළමු වටය අවසන් වෙන්නේ ශෆිඋල්ලා අක්‍රම් ලකුණු 11-9ක ජයග්‍රහණයක් ලබා ගනිමින්. නමුත් ඊළඟ වට ද්විත්වයේ දී 4-11ක් සහ 9-11ක් ලෙසින් පරාජය වීමට ඔහුට සිදු වෙනවා.

අනතුරු ව පැවැති සිව් වැනි වටය තියුණු අවසානයකින් යුතු වූ අතර එහි දී ලකුණු 10-12ක් ලෙසින් ප්‍රතිවාදී කටාර් ක්‍රීඩකයා ජයග්‍රහණය කරනවා. ඉන් අනතුරු ව පැවැති තීරණාත්මක 5 වැනි වටයේ දී නැවත වතාවක් ලකුණු අතර ට පිවිසි  ශෆිඋල්ලා අක්‍රම් ලකුණු 11-6ක් ලෙසින් ජයග්‍රහණය කරමින් තරගය 3-2කින් ජයග්‍රහණය කරනවා.

එම ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා වෙනුවෙන් තරග බිමට පිවිසියේ නායක චමීර ගිනිගේ. ඔහුගේ ප්‍රතිවාදීයා වූයේ Abdulwahhab Abdullah. ඔහු සමඟ පැවැති තරගයේ පළමු වටය සහ දෙවැනි වටය 7-11ක් සහ 9-11ක් ලෙසින් ප්‍රතිවාදී ක්‍රීඩකයා ජයග්‍රහණය කළ අතර 3 වැනි වටය ලකුණු 11-6ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට චමීර ගිනිගේ සමත් වුණා. එම වටයෙන් පමණක් ඔහුට සෑහීමකට පත් වීමට සිදු වූ අතර දෙදෙනා අතර පැවැති අවසන් වටයේ දී 6-11ක් ලෙසින් චමීර ගිනිගේ ට පරාජය වීමට සිදු වූවා. තරගය අවසන් වෙන්නේ 1-3ක් ලෙසින් ප්‍රතිවාදීන් ජයග්‍රහණය කරමින්.

අනතුරු ව තරග බිමට පිවිසි නිමේෂ් රංචාගොඩ, ප්‍රතිවාදී ක්‍රීඩක Alnaser Rawad හමුවේ 1-3ක පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා. ඔවුන් දෙදෙනා අතර පැවැති තරගයේ පළමු වටය දිනේෂ් රංචාගොඩ 11-5ක් ලෙසින් ජයග්‍රහණය කරන අතර ඉන් අනතුරු ව පැවැති තරග වට 2-11ක්, 6-11ක් සහ 9-11ක් ලෙසින් ප්‍රතිවාදී කටාර් ක්‍රීඩකයා ජයග්‍රහණය කරනවා.

තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය හෙට (13) දහවල් 12.00ට මැකාවෝ රාජ්‍යය සමඟින් පැවැත්විමට නියමිතයි.

28 වැනි ආසියානු මේසපන්දු කණ්ඩායම් ශූරතාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>