26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය අද (28) ක්‍රියාත්මක වුනා.
තරගාවලියේ දෙවැනි දිනය තුළ ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම තරග බිමට පිවිසුණු අතර, එහි දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි වුනා.
චමෝද් නැවතත් ඉහළ දස්කම් දක්වයි
ඊයේ දිනයේ දී පිරිමි මීටර් 100 මූලික වටය ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් චමෝද් යෝධසිංහ අද සිය අවසන් පූර්ව තරගයට සහභාගී වුනා. තෙවැනි අවසන් පූර්ව තරගයට සහභාගී වූ චමෝද් විසින් තත්පර 10.46ක කාලයක් සමඟ තෙවැනි ස්ථානයට පත් වීමට සමත් වූ නමුත් ඔහුට අවසන් මහා තරගයට සහභාගී වීමට තිබූ අවස්ථාව තත්පර දශම ගණනකින් අහිමි වී ගියා.
අද සවස් වරුවේ ම මෙම ඉසව්වේ අවසන් තරගය ද පැවැත්වුණු අතර, ජපන් ක්‍රීඩක Hiroki Yanagita විසින් තත්පර 10.194ක තරග නිමි කාලයක් සමඟ ඉසව්වේ රන් පදක්කම ජය ගැනීමට සමත් වුනා. මේ අතර කාන්තා මීටර් 100 ඉසව්වේ ජය චීනය සතු වුනා.
කාලිංග වසර 18ක අතීතය වෙනස් කරයි
ඊයේ දිනයේ දී පිරිමි මීටර් 400 අවසන් තරගයට සුදුසුකම් ලද කාලිංග කුමාරගේ අද දිනයේ දී එම අවසන් තරගයට සහභාගී වුනා. එහි දී ඔහු විසින් සිය මූලික වටයේ දක්ෂතාව අබිබවා යමින්, මෙවර තරග වාරය තුළ සිය පෞද්ගලික හොඳම ධාවන කාලය ද සමඟ තත්පර 45.55ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම ජය ගැනීමට සමත් වුනා.
2007 වසරේ දී ප්‍රසන්න සම්පත් අමරසේකර විසින් පිරිමි මීටර් 400 ඉසව්වෙන් ආසියානු මලල ක්‍රීඩා රන් පදක්කම ජය ගැනීමෙන් පසුව එම ඉසව්වෙන් ශ්‍රී ලංකාව පදක්කමක් කරා ගිය පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට ද එක් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
නදීශාගේ පදක්කම ගිලිහෙයි
ගිය වර කාන්තා මීටර් 400 රන් පදක්කම දිනූ නදීශා රාමනායක මෙවර ද එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් නමුත්, මෙවර ඇයට හිමි වුනේ ඉසව්වේ 08 වැනි ස්ථානයයි. ඇයගේ තරග නිමි කාලය තත්පර 54.70ක් ලෙස සටහන් වුනා.
ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්
ශ්‍රී ලංකාවට පදක්කමක් වෙනුවෙන් ඉහළ අවස්ථා ඇති ඉසව්වක් වන මිශ්‍ර 400×4 ඉසව්වේ අවසන් තරගය ද අද ක්‍රියාත්මක වූ අතර, එහි දී ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය ලබමින් තරගය නිමා කළා.
මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාලිංග කුමාරගේ, සදෙව් රාජකරුණා, සයුරි මෙන්ඩිස් සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දු ධාවනයේ යෙදුණු අතර, අරුණ දර්ශනට මෙන්ම අද කාන්තා මීටර් 400 ඉසව්වට සහභාගී වූ නදීශා රාමනායකට ද මෙම ඉසව්ව මග හැරුණා.
කෙසේ වෙතත් ඉසව්ව නිම වීමෙන් මොහොතකට පසුව මෙම ඉසව්වේ රිදී පදක්කම ජය ගත් චීනය සහ ශ්‍රී ලංකා කණ්ඩායම තරග නීති උල්ලංඝනය කිරීම නිසා (Technical Rule 24.20) තරගයෙන් ඉවත් කිරීමට සිදු වන බව දැනුම් දුන්නත්, පසුව තරග සංවිධායකයින් විසින් එම තීරණය නැවත වෙනස් කරමින් චීනයට සහ ශ්‍රී ලංකාවට අදාළ පදක්කම් ලබා දීමට තීරණය කළා.
හෙට (29) දිනයේ බලාපොරොත්තු
ශූරතාවලියේ තෙවැනි දිනය වන හෙට කාන්තා මීටර් 10000 ඉසව්ව ක්‍රියාත්මක වීමට නියමිත අතර, පිරිමි මීටර් 400×4 ඉසව්වේ මූලික වටයේ ඉසව් ද පැවැත්වීමට නියමිතයි. ලෙසඳු අර්ථවිදු විසින් පිරිමි උස පැනීම ඉසව්වේ අවසන් තරගයට ද හෙට සහභාගී වනු ඇති.
මීට අමතරව හෙට දිනයේ අවසන් ඉසව් ද්විත්වය ලෙස කාන්තා සහ පිරිමි මීටර් 400×4 අවසන් තරග ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් ද්විත්වයක් සමඟ පදක්කම් සටහනේ 09 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.
මෙම තරග ඉසව් පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>