ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කළ පාකිස්තානු කණ්ඩායම එක් තරගයක් ඉතිරිව තිබියදී 3-1ක් ලෙස තරගාවලියේ ජය වාර්තා කිරීමට සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු කුසල් ජනිත් තරගයේ දෙවැනි පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී යෑමෙන් අනතුරුව තිලකරත්න ඩිල්ෂාන් සමඟ පිටියේ එක්වූ ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබාදෙමින් ලකුණු 109 ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් වීම ශ්‍රී ලංකා ඉනිමට විශාල ශක්තියක් වුවද ඩිල්ෂාන් සහ තිරිමාන්න හැරුණු කොට සෙසු සියලු පිතිකරුවන් ලකුණු 20 සීමාව හෝ පසු කිරීමට අසමත් වීම පරාජයට විශාල බලපෑමක් විය. එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමද සුපුරුදු පරිදි ඉතා දුර්වල මට්ටමක පැවැතිනි.
කෙසේ වෙතත් පසුගිය තරග කිහිපයකම අසාර්ථක පිතිකරුවකු වූ ලහිරු තිරිමාන්න නැවතත් ලකුණු අතරට පැමිණෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 90 ක් රැස් කිරීමට සමත්වූයේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. තරගයේ 22 වැනි පන්දු වාරයේදී ලකුණු 50ක් ලබා සිටි තිලකරත්න ඩිල්ෂාන් දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමට ප්‍රබල සබඳතාවක් ගොඩනැඟීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අසමත් වූ අතර දිනේෂ් චන්දිමාල් පමණක් ලකුණු 20ක් ලබාගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වේගවත් ආරම්භයක් ලබාදෙමින් ලකුණු 76ක සබඳතාවක් ගොඩනැඟුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයකට ලක්කරමිනි. එහිදී පාකිස්තානු නායක අසාර් අලී පන්දු 28කදී වේගවත් ලකුණු 33ක් වාර්තා කළ අතර අහමඩ් ශේෂාඩ් පන්දු 90කදී හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 95ක් රැස් කළේ පාකිස්තානය ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමිනි.
කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළ පාකිස්තානු ඉනිම ශක්තිමත් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඩ් හෆීස්ද ලකුණු 70ක් රැස්කිරීමට සමත් වූ අතර තරගයේ වීරයා බවට පත්වූ අහමඩ් ශේෂාඩ් ලකුණු 47ක් ලබා සිටියදී ලහිරු තිරිමාන්න අතට ලබාදුන් උඩ පන්දුව ගිලිහී යෑම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අවාසි සහගත තත්ත්වයක් උද්ගත විය.
පසුගිය ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැති 3 වැනි එක්දින තරගයේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙම තරගය නැරැඹීමට එතරම් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහභාගි නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය.
සාරාංශය
ශ්‍රී ලංකාව
(පන්දු වාර 50 තුළ
කඩුලු 9කට) _ 256
(තිලකරත්න ඩිල්ෂාන් 50,
ලහිරු තිරිමාන්න 90,
දිනේෂ් චන්දිමාල් 20,
මිලින්ද සිරිවර්ධන 19,
මොහොමඩ් ඉර්ෆාන් 50/3,
අන්වර් අලී 41/2
ඉමාඩ් වසීම් 43/1)
පාකිස්තානය
(පන්දු වාර 40.5කදී
කඩුලු 3කට) _ 257
(අසාර් අලී 33, අහමඩ් ශෙෂාඩ් 95,
මොහොමඩ් හෆීස් 70,
ලසිත් මාලිංග 46/1,
මිලින්ද සිරිවර්ධන 28/1,
සුරංග ලක්මාල් 50/1 )





















