ආරම්භය ලංකාවට අසුබයි – ශ්‍රී ලංකා-පාකිස්තාන් එක්දින ක්‍රිකට් තරගාවලිය

120

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සෙනසුරාදා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයෙන් පාකිස්තානු කණ්ඩායම කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.


එක්දින ශේ‍ර්ණිගත කිරීම්හි පළමු අංක 8 තුළට පැමිණ එළැඹෙන චැම්පියන්ස් කුසලානයට යෑමේ පාකිස්තානු බලාපොරොත්තු තීව්‍ර කරමින් මොවුන් දඹුල්ල ක්‍රීඩාංගණයේ ලැබූ 4 වැනි එක්දින ජයග්‍රහණයද වාර්තා කළේය.

කාසියේ වාසිය දිනූ පාකිස්තානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කට ලකුණු 255ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 45.2කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 259ක් රැස් කරමින් ජයග්‍රාහී ඉලක්කය පසුකිරීමට සමත් විය.
තිලකරත්න ඩිල්ෂාන් සමඟ කුසල් ජනිත් ආරම්භක පිතිකරු යුගලය ලෙස පිවිස ලකුණු 44ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් වූ අතර එම සබඳතාවට හරස්වූ මොහොමඩ් හෆීස් තම පළමු කඩුල්ල ලෙස ලකුණු 26ක් ලබාසිටි කුසල් ජනිත් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. අනතුරුව අංක තුන, හතර ස්ථානයන්හි පිටියට පිවිසි ළහිරු තිරිමාන්න සහ උපුල් තරංග පිළිවෙළින් ලකුණු 23ක් හා 20ක් ලබා පිටියෙන් ඉවත් වූ අතර නායක ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යුගලය ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම සබඳතාව ලෙස ලකුණු 82ක් කණ්ඩායමට එක්කිරීමට සමත් වීම ශ්‍රී ලංකා ඉනිමට යම් අස්වැසිල්ලක් විය.

යසීර් ෂාගේ පන්දුවකට ඇන්ජලෝ මැතිව්ස් 5 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට ලකුණු 38ක් ලබා සිටියේය. ඉනිම අවසානය දක්වා කඩුල්ලේ රැඳී සිටි දිනේෂ් චන්දිමාල් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 68ක් රැස් කිරීමට සමත් වූයේ ඔහු පාකිස්තානයට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණයද සටහන් කරමිනි.

එහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ තුන්ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 41කට කඩුලු 4ක් බිඳ දැමූ අතර එතැකින් නොනැවතුණු හෆීස් පාකිස්තානු අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 95කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 103ක් රැස් කරගනිමින් පාකිස්තානු ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූයේ තරගයේ වීරයා සම්මානයද තමන් සතු කර ගනිමිනි.
ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු වූ තරම් ප්‍රතිඵලයක් නොලැබීමද පරාජයට බලපෑ හේතුවක් විය.

ශ්‍රී ලංකාව (පන්දුවාර 50 තුළ කඩුලු 8කට) _ 255 (තිලකරත්න ඩිල්ෂාන් 38, ඇන්ජලෝ මැතිව්ස් 38, දිනේෂ් චන්දිමාල් 65, මොහොමඩ් හෆීස් 4/41, රහත් අලී 2/44)
පාකිස්තානය (පන්දුවාර 45.2කදී කඩුලු 4කට) _ 259 (මොහොමඩ් හෆීස් 103, ශොයෙබ් මලික් 55, අහමඩ් ශෙෂාඩ් 29, සුරංග ලක්මාල් 1/21, ඇන්ජලෝ මැතිව්ස් 1/22)