ඉතිහාසයේ වේගවත්ම කළම්බු මැරතන් තරගය ඊයේ

147

ශ්‍රී ලංකා ස්‌පෝර්ට්‌ස්‌ රයිසන් (එල්. එස්‌. ආර්) ආයතනය විසින් 14 වැනි වරටත් සංවිධානය කර ඊයේ පැවැති ජාත්‍යන්තර ‘කළම්බු මැරතන්’ තරගයේදී, පළමු වරට පූර්ණ මැරතන් තරගයකට සහභාගි වූ යුද හමුදා ක්‍රීඩිකා නිලූකා ගීතානි රාජසේකර ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ කාන්තා මැරතන් අංශයේ හොඳම කාලය වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුණි.

මෙම කාන්තා අංශයේ පූර්ණ මැරතන් තරගයේ ප්‍රථම ස්‌ථානය පැය 2 යි මිනිත්තු 46 යි තත්පර 53 ක කාලයකින් කෙන්යානු ක්‍රීඩිකා වින්ප්‍රීඩා ක්‌වන්බෝකා දිනාගනිද්දී එහි දෙවැනි ස්‌ථානයට පත් වූ ගීතානි රාජසේකරගේ තරග නිමා කාලය පැය 2යි මිනිත්තු 47 යි තත්ත්පර 55 ක්‌ වූ අතර මෙයට ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක්‌ විසින් මැරතන් තරගයක වාර්තා කළ හොඳම කාලය වූයේ කේ.ජී.එස්‌ චන්ද්‍රdනි විසින් 2006 බෙයිජිං මැරතන් තරගය නිමා කළ පැය 2යි මිනිත්තු 51 ක කාලයයි. ඊයේ රාජසේකරගේ එම ජයග්‍රහණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 7000 ක (රුපියල් 910,000 ක පමණ) ත්‍යාග මුදලක්‌ද හිමිවිය.

ගීතානි රාජසේකර විසින් මෙලෙස පූර්ණ මැරතන් තරගයක යෙදීමට තීරණය කරනු ලබන්නේ පැය 24 කට අඩු කාලයකදී වීමද විශේෂත්වයකි.

‘මම මගේ ක්‍රීඩාව පටන් ගත්තේ අවුරුදු 7දී, මීටර 50 පටන් සෑම ධාවන ඉසව්වකටම සහභාගි වෙලා තිබෙනවා. පාසල් මීටර 400 ඉසව්වෙන් ජාත්‍යන්තරය දක්‌වා යන්න මට පුළුවන් වුනා. මම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 ඉසව්වෙන් ලෝකඩ පදක්‌කමක්‌ දිනාගත්තා. මේ විදිහට මම ටිකෙන් ටික දුර ධාවනය දෙසට යොමුවුනා. මේ තරගයේදිත් මම අර්ධ මැරතන් ඉසව්වට සහභාගිවෙන්න තමයි හිතාගෙන හිටියේ. ඒත් ඊයේ මට මගේ පුහුණුකරු සර් ජයලාල් මහත්තයා කිව්වා මගේ අර්ධ මැරතන් තරග කාලයේ හැටියට පූර්ණ මැරතන් තරගයට ඉදිරිපත් වුනොත් හොඳ ප්‍රතිඵලයක්‌ ගන්න පුළුවන් වෙයි කියලා. ඒ විශ්වාසයටයි මම අද දිව්වේ’ යෑයි තරගයෙන් අනතුරුව රාජසේකර විසින් පවසන ලදී.

මේ අතර මෙය සිය අවසන් තරගය වීමටද ඉඩ ඇතැයි 32 හැවිරිදි රාජසේකර විසින් මෙහිදී ප්‍රකාශයක්‌ද කෙරිණි. ‘මේ තරගයට මගේ සහභාගිත්වය වළක්‌වන්න දැඩි බලපෑමක්‌ ආවා. ඇත්තෙන්ම මම තරග කරන්න හිතුවේ නැහැ. නමුත් මගේ ස්‌වාමිපුරුෂයා (ජනක සමරසිංහ) මට කිව්වා වෙන දෙයක්‌ වුනාදෙන් ඔයා දුවන්න කියලා. මගේ පුහුණුකරුත් මාව ධෛර්යමත් කළා. ඒත් මම අද ගෙදරින් එළියට බැස්‌සේ මේ මගේ අවසන් තරගයයි දුවන්නේ කියලා හිතාගෙන. ඇත්තටම මම කුමන හෝ තරග ඉසව්වකින් කවදා හෝ දවසක ඔලිම්පික්‌ යනවා කියලා හිතාගෙනයි ක්‍රීඩා කළේ. දැන් මට පෙනෙනවා 2016 ඔලිම්පික්‌ උළෙලට මැරතන් තරග අංශයෙන්a සහභාගිවෙන්න තරමේ හැකියාවක්‌ මට තිබෙනවා කියලා. ඒත් මම ආයේ දුවයිද කියලා මට මේ වෙනකොටත් ස්‌ථිර වශයෙන්ම කියන්න බැහැ’ යෑයි ඇය පවසා සිටියාය.

රටවල් 28 ක්‌ නියෝජනය කරමින් විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 ක්‌ද සමගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5700 ක පමණ සහභාගිත්වයක්‌ ලැබුණු මෙවර කළම්බු මැරතන් තරගය ඊයේ පෙරවරු 6.00 ට යෝෂිත රාජපක්‍ෂ මහතාගේ කොඩි සංඥාවෙන් කොළඹ බෞද්ධාලෝක මාවතෙන් ඇරඹී, මීගමුව වෙරළ උද්‍යානයෙන් අවසන් වූ අතර කෙන්යානුවන් 50 කගේ පමණ සහභාගිත්වය ලැබූ මෙහි ජයග්‍රහණය සඳහා ඇමරිකානු ඩොලර් 10,000 බැගින් ත්‍යාග මුදල් හිමිවන පූර්ණ මැරතන් කාන්තා සහ පිරිමි දෙඅංශයේම ප්‍රථම ස්‌ථාන කෙන්යාවට හිමිවිය. එසේම කාන්තා සහ පිරිමි දෙඅංශයේම එම ජයග්‍රහණ වෙනුවෙන් වාර්තා වූ කාලයන් මෙතෙක්‌ කලම්බු මැරතන් තරග ඉතිහාසයේ හොඳම කාලයන් වීමද කැපී පෙනෙයි.

පිරිමි අංශයේ පූර්ණ මැරතන් තරගයේ පළමු ස්‌ථානය කෙන්යාවේ ජෙෆ්රි බර්ගෙන් (පැය 2.18.33) විසින් දිනාගනිද්දී ගියවර එහි පළමු ස්‌ථානය දිනාගත් කෙන්යාවේම ඇන්ටනී මුගෝ මෙවර දෙවැනි ස්‌ථානයට (පැය 2.22.12) පත්විය. එම ඉසව්වේ තෙවැනි තැනද කෙන්යානු ක්‍රීඩකයකු වන ජෝසෆ් බිතී (පැය 2.25.01) විසින් දිනාගනිද්දී අදාළ තරග අංශයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ ඉහළම දක්‍ෂතාව වාර්තා කරමින් යුද හමුදාවේ ජී.කේ.කේ. එස්‌.ටී ගුණසේකර සිව්වැනි තැනට පත්විය. ඔහුට තෙවැනි ස්‌ථානය අහිමි වූයේ තත්පර 29ක ප්‍රමාදයකිනි.

යුද හමුදාවේ සිංහ රෙර්මේන්තුවට අනුයුක්‌තව සේවය කරන ගුණසේකර අවසන් සටන දක්‌වා ක්‍රියාන්විත රාජකාරියේ සේවය කර ඉන් අනතුරුව ක්‍රීඩාවට යොමු වූ අයෙකු ලෙසින් මෙම දක්‍ෂතාව සටහන් කිරීම කැපී පෙනෙයි.

‘මම ඉස්‌කොලෙ යන කාලෙවත් ක්‍රීඩා කරලා නැහැ. යුද්දේ ඉවරවෙනකම්ම ක්‍රියාන්විතයේ හිටියා. යුද්දෙ ඉවරවෙලා මාස 5 කින් (2009 ඔක්‌තෝබර්) තමයි මම ක්‍රීඩාවට ආවේ. කර්නල් දිසානායක සර්ගේ යටතේ මම පුහුණුවීම් කළා. මෙයට පෙර ජාතික මට්‌ටමෙන් මැරතන් තරගවලට සහභාගි වෙලා තිබෙනවා. 2013 ජාතික රට හරහා දිවීමේ තරගයේ පළමු ස්‌ථානය මම දිනාගත්තා. ඇත්තටම කෙන්යානු ක්‍රීඩකයන් රැසක්‌ සහභාගිවෙන නිසා මම හිතුවේ මට මේ තරගයේ 8ත් 10 ත් අතර ස්‌ථානයකට එන්න පුළුවන් වෙයි කියලයි. ඒත් මම හිතුවට වඩා ඉදිරියට එන්න මට පුළුවන් වුනා. මේ තමයි මගේ ක්‍රීඩා ජීවිතයේ වටිනාම අවස්‌ථාව’ යෑයි තරගය හමාර කළ කුලසේකර ‘දිවයින’ හමුවේ පැවසීය.

මේ අතර මෙම පූර්ණ මැරතන් තරගය සිව්වරක්‌ පළමු ස්‌ථානය දිනාගත් සහ මෙහි අර්ධ මැරතන් තරගය තෙවරක්‌ දිනා සිටි අජිත් බණ්‌ඩාර වසර 4කට පසු පළමු වරට ඊයේ අර්ධ මැරතන් තරගයට සිය සහභාගීත්වය සීමා කිරීමද විශේෂත්වයක්‌ විය. ඔහුට ගියවර මෙම මැරතන් තරගයේදී හිමිවූයේ සිව්වැනි ස්‌ථානයයි.

‘මට පූර්ණ මැරතන් තරගයක්‌ වෙනුවෙන් ප්‍රමාණවත් පුහුණුවක්‌ ලබාගන්න බැරිවුණු නිසයි මම අර්ධ මැරතන් තරගය දිව්වේ. මම ආබාධයකට ලක්‌ව එය සුවවෙලා වැඩි දවසක්‌ නැහැ. ඒ නිසයි නිසි පරිදි පුහුණුවීම්වල යෙදෙන්න බැරි වුනේ. මේ තරගයත් දිව්වේ මට මගේ තත්ත්වය දැනගන්න විතරයි’ යෑයි අජිත් අර්ධ මැරතන් තරගය ජයග්‍රාහීව නිමකිරීමෙන් පසු පැවසීය.

තරග ප්‍රතිඵල 

පූර්ණ මැරතන් පිරිමි/ 1. ජෙෆ්රි බර්ගෙන් ,කෙන්යාව(පැය 2.18.33) 2. ඇන්තනී මුගෝ,කෙන්යාව (පැය 2.18.33) 3. ජෝසෆ් බිතී. කෙන්යාව (පැය 2.25.01) 4. ජී. කේ. කේ. එස්‌. ටී. ගුණසේකර (පැය 2.25.30) 5. ඩැනියෙල් කිලිමෝ (පැය 2.29.57)

පූර්ණ මැරතන් – කාන්තා / 1. වින්ප්‍රීඩා ක්‌වම්බෝකා – කෙන්යාව (පැය 2.46. 53) 2. නිලූකා ගීතානී රාජසේකර (පැය 2.47.55) 3. මාග්‍රට්‌ ජුගූනා – කෙන්යාව (පැය 2.52.33) 4. බී. ජී. එල්. ඒ බෝගහවත්ත (පැය 2.58.05) 5. රුවිනී දීපානී (පැය 2.58.46)

අර්ධ මැරතන් – පිරිමි/ 1. ඒ.එම්. අජිත් බණ්‌ඩාර (පැය 1.10.48) 2. සුජිත් දිල්ශාන් (පැය 1.13.30) 3. කේ. ඒ. අයි. ඩී. ගීතාංජන (පැය 1.14.48)

අර්ධ මැරතන් – කාන්තා / 1. එච්. ඒ. ටී. සී. හේමමාලි (පැය 1.22.07) 2. වේලූ ක්‍රිශාන්ති (පැය 1.27.41) 3. කේ. කේ. කුමාරි 1.33.53

ප්‍රවීණයන්ගේ පූර්ණ මැරතන් – පිරිමි / 1. සුනිල් ප්‍රේමරත්න (පැය 3.16.24) 2. එස්‌. එස්‌. සේනාසිංහ (පැය 3.22.13) 3. ඩබ්ලිව්. කේ. එස්‌. ගුණතුංග (පැය 3.48.22)

ප්‍රවීණයන්ගේ පූර්ණ මැරතන් – කාන්තා 1. රුවන්ති සිල්වා (සහභාගි වූයේ එක්‌ තරගකාරියක්‌ පමණි)

ප්‍රවීණයන්ගේ අර්ධ මැරතන් තරගය – පිරිමි / 1. උදය ශාන්තසිරි ( පැය 1.28.26) 2. අජිත් පුෂ්පකුමාර ( 1.32.10) 3. එස්‌. පී. එන්. රුද්‍රිගූ (1.34. 22) 

ප්‍රවීණයෙන්ගේ අර්ධ මැරතන් තරගය – කාන්තා / 1. ඩීනා බෝඩින් (පැය 2.24.52) 2. චන්ද්‍රd ප්‍රේමරත්න (2.36.09) 3. චන්ද්‍රd පෙරේරා (පැය 2.55.27)

කිලෝ මීටර 10 – පිරිමි / 1. ගීතාංජය හංසක බණ්‌ඩාර (මි. 34.15) 2. ටී. වී. රත්නපාල (මි. 34.23) 3. ලහිරු ප්‍රමෝද් (මි. 34.24)

කිලෝ මීටර 10- කාන්තා / 1. එච්. ඩබ්ලිව්. එන්. කුමාරි (මි. 37.57) 2. කේ. ජී. ඩී. ඊ. කරුණාරත්න (මි. 42.18) 3. හර්ෂණී මධුමාලී 43.52

පාසල් කිලෝ මීටර 5 – බාලක / 1. ලසිත් අබේකෝන් (මතුගම – ශාන්ත මේරි) 2. මහේෂ් මධුරංග (සීතාවක ජාතික පාසල) 3. සොහාන් ප්‍රේමලාල්

පාසල් කිලෝමීටර 5 – බාලිකා/ 1. උදෙශා දිල්හානි (මතුගම – වැලිපැන්න කනිටු විදුහල) 2. කේ.කේ සඳුනි තාරකා ( මතුගම – වැලිපැන්න කනිටු විදුහල) 3. ඒ. එම්. එම්. නෙරංජනී ( රත්නපුර – මල්වල විද්‍යාලය)

ඡායා-නිශාන් එස්‌. ප්‍රියන්ත