ඩී. එස්. – මහානාම රන් ගැටුම විසඳුමක් නෑ

19th Battle of the Golds

4

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 19 වැනි වරටත් පැවැති රන් කුසලාන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙවරත් ජය පරාජයක් නොමැතිව නිමා වූවා.  

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ අවසන් දිනය (11) උදාවෙන්නේ මහානාම විද්‍යාලය තම 2 වැනි ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 93ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී දුල්නිත් සිගේරා නොදැවී ලකුණු 50ක් සහ සිනෙත් වීරරත්න නොදැවී ලකුණු 40ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් ඒ අවස්ථාව වන විට ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 79ක් ඉදිරියෙන් සිටියා.  

ඔවුන් දෙවැනි ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 271ක් ලබා ගනිමින් තම ඉනිම අත් හිටුවන්නේ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 257ක් ඉදිරියෙන් සිටිමින්.  

පෙර දින නතර කළ තැන සිට තම ඉනිම් ආරම්භ කළ දුල්නිත් සිගේරා සහ සිනෙත් වීරරත්න එක් ව පළමු කඩුල්ලට ලකුණු 110ක සබඳතාවක් දක්වා එම ඉනිම රැගෙන ගියා.  එහි දී දුල්නිත් සිගේරා පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ද සහ සිනෙත් වීරරත්න පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ද ලබා ගත්තා.  

එක ළඟ දැවී ගිය ඔවුන් දෙදෙනාගේ ඉනිම්වලින් පසුව චාමික හීනටිගල පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 69ක් ලබා ගනිමින් මහානාම ඉනිම ගෞරවනීය තත්ත්වයකට පත් කළා.  

චාමික හීනටිගල 6 වැනි කඩුල්ලට ගිමන්ත දිසානායක හා එක් ව ලකුණු 60ක සබඳතාවක් ගොඩ නැගීමට ද දායක වෙනවා. ගිමන්ත දිසානායක පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා. 

ඔහුට අමතර ව ඒශාන් විතානගේ පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.   

කඩුලු දවා ගැනීමේ දී ඩිලාෂ් කුමාරනායක, චිතුම් බද්දගේ සහ ශනෙල් බිනුෂ්ක කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර බිහාන් ගමගේ ද කඩුල්ලක් සතු කර ගත්තා.  

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 258ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලය තරගය අවසන් වන විට තම 2 වැනි ඉනිමට ලබා සිටියේ කඩුලු 8ක් දැවී ලකුණු 127ක් පමණයි.  

එම ඉනිම ඒ තරමින් අසරණ කිරීමේ දී නායක අනුක් විජේවර්ධන ලකුණු 44කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව සිතුම් විහඟ සහ ගිමන්ත දිසානායක කඩුලු ද්විත්වය බැගින් ද දුල්නිත් සිගේරා කඩුල්ලක් ද දවා ගත්තා.  

ඩී. එස්. සේනානායක ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 6 දී දැවී යන අතර ඊට පසු 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට ජනිඳු රණසිංහ සහ ශනෙල් බිනූෂ්ක සමත් වෙනවා.  

එම සබඳතාව බිඳී යන්නේ ජනිඳු රණසිංහ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා. අනතුරු ව ඩී. එස්. සේනානායක ඉනිමට තවත් ලකුණු 8ක් පමණක් එක් වෙද්දී ශනෙල් බිනූෂ්කට ද ඉනිම හැර යන්නට සිදු වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ලකුණු 9ක් තුළ තවත් කඩුලු 3ක් දවා ගැනීමට මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ වෙද්දී ඩී. එස්. සේනානායක ඉනිම කියැවුණේ ලකුණු 73කට කඩුලු 6ක් ලෙසයි.  

එතැන් සිට ඩී. එස්. සේනානායක ඉනිම ගලවා ගැනීමේ මෙහෙයුමක නිරත වීමට රන්දීෂ බණ්ඩාරනායකට සිදු වුනා. ඔහු තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් සිටිය දී තවත් කඩුලු ද්විත්වයක් එක ළඟ පන්දු 3ක දී දැවී යෑමත් සමඟින් ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 95ක් ලෙසින් දැක් වුනා.  

එපමණකින් තම ඉනිමේ කඩුලු වැටීම නවතා ගැනීමට රන්දීෂ බණ්ඩාරනායක සහ චිතුම් බද්දගේ සමත් වූ අතර ඔවුන් දෙදෙනා එක් ව තරගය නතර කරන විට 9 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 32ක සබඳතාවක් එක් කළා. ඔවුන් දෙදෙනා ඒ වෙනුවෙන් ප්‍රතිවාදීන් යැවූ පන්දුවාර 14කට මුහුණ දුන්නා.  

එහි දී රන්දීෂ බණ්ඩාරනායක පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 38ක් සහ චිතුම් බද්දගේ පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.   

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • මහානාම විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 235 (78.0)  වෙනුර කවිත්‍ර 22, තවිරු පෙරේරා 77, ගිමන්ත දිසානායක 56, දැහැම් නිර්මාල් 2/27, ඩිලාෂ් කුමාරනායක 2/21, ශනෙල් බිනුෂ්ක 5/65
  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (72.2) බිහාන් ගමගේ 29, චනුල් අතලෙ 73, දැහැම් නිර්මාල් 20, ඩිලාෂ් කුමාරනායක 29, චිතුම් බද්දගේ 48, සිතුම් විහඟ 4/67, අනුක විජේවර්ධන 2/60
  • මහානාම විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 271 (54.0) දුල්නිත් සිගේරා 65, සිනෙත් වීරරත්න 50, චාමික හීනටිගල නොදැවී 69, ඒශාන් විතනගේ 29, ගිමන්ත දිසානායක 21, ශනෙල් බිනුෂ්ක 2/57, ඩිලාෂ් කුමාරනායක 2/21, චිතුම් බද්දගේ 2/45
  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 127 (49.0) ජනිඳු රණසිංහ 24, ශනෙල් බිනුෂ්ක 30, රන්දීෂ බණ්ඩාරනායක 38, සිතුම් විහඟ 2/12, අනුක් විජේවර්ධන 3/44, ගිමන්ත දිසානායක 2/07

තරගයේ විසඳුමක් නෑ.  

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – චනුල් අතලගේ (ඩී. එස්. සේනානායක විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – ශනෙල් බිනුෂ්ක (ඩී. එස්. සේනානායක විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – තවිරු පෙරේරා (මහානාම විද්‍යාලය)
  • තරගයේ වීරයා – ශනෙල් බිනුෂ්ක (ඩී. එස්. සේනානායක විද්‍යාලය)

දෙවිදුහල් අතර 16 වැනි වරටත් පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 18 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. නිමා වූ එක්දින තරග ඉතිහාසයේ අවස්ථා 11ක් මහානාම විද්‍යාලය විසින් ද අවස්ථා 4ක් ඩී. එස්. සේනානායක විද්‍යාලය විසින් ද ජයග්‍රහණය කර තිබෙනවා.  

රන් සටන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 1 නාලිකා අංක 62 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා. 

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<