2016/17 තරඟ වාරයේ දී මුල් සිව්දෙනා අතරට පැමිණෙමින් පාසල් එක්දින තරඟාවලියට ක්‍රීඩා කිරීමේ වරම් දිනාගැනීම ජනාධිපති විද්‍යාලයේ අරමුණ යි.

පසුගිය ලිපි: ධර්මාශෝකය තරඟාවලියට කරන බලපෑම කෙසේ වේවිද?

ඉතිහාසයෙන් බිඳක්.

1978 දී පාසල ආරම්භ වූයේ ජේ. ආර්. ජයවර්ධන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ටොරින්ටන් හිදී වූවත්, 1983 ජුනි 21 වැනිදා පාසල වර්තමාන බිම්කඩට ගෙන එන ලදී. චින්තක පෙරේරා සහ ප්‍රගීත් ජයසූරිය වැනි 19න් පහල ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළේ මෙම විද්‍යාලය යි. එමෙන්ම දේශීය තරඟ බිමේ ප්‍රකට නාමයක් වන නිමේෂ් පෙරේරාද, ජනාධිපති විද්‍යාලයේ නිෂ්පාදනයකි.

සාන්ත ජෝසප් විද්‍යාලයත් තර්ස්ටන් විද්‍යාලයත් සමඟ ‘D’ කාණ්ඩයෙන් මෙවර තරඟාවලියට එක්වන ජනාධිපති විද්‍යාලය, මුල් කණ්ඩායම් හතර වෙත පැමිණෙන ගමනේදී නමගිය කණ්ඩායම් කිහිපයක් පරාජය කිරීමේ අදහසින් පසුවෙයි. වාර්ෂික තරඟවලදී ලත් පරාජයන් තුනක් සමඟින් මෙවර තරඟාවලිය ඇරඹුවත්, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පැවැත්වුණු සිව්වැනි තරඟය ජයගනිමින්ද, පසුව ලීග් කොටසේදී ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ දෙකක් ද ලබාගනිමින් තරඟාවලියට අවතීර්ණ විය.

දක්ෂ ක්‍රීඩකයින්.

5 වැනි වරටත් පාසල් කණ්ඩායම නියෝජනය කරන කසුන් මාලිංග, මෙතෙක් ඔහුගෙන් බලාපොරොත්තු වූ මට්ටමේ දක්ෂතා නොදැක්වුවත් කණ්ඩායමේ ප්‍රධානත්වයද හොබවන ඔහු විසින් තම අත්දැකීම් වල ප්‍රයෝජන ලබමින් කණ්ඩායම ඉදිරියට ගෙන යාමට සමත් වනු ඇත.

ඔහුට පන්දුකරණයෙන් සහය දක්වන වමත් දඟ පන්දු යවන හසිඳු ප්‍රමුක, පෙර වසරේදී කඩුළු 24ක් බිඳ හෙලන ලද ක්‍රීඩකයෙකි.

තෙවන වසරේ ක්‍රීඩකයෙකු වන හිරුන සිගේරා කඩුළු රකිමින් මැද පෙල පිතිකරණ අංශය ශක්තිමත් කරන අතර මේ වන විට ඔහු අවසන් වසරේ දැක්වූ දක්ෂතා වලට ලඟාවෙමින් සිටින බැවින් එය ජනාධිපති විදුහල වෙනුවෙන් කරන හොඳ ඉඟියකි.

තෙවන වසරේ වර්ණලාභියෙකු වන හෂාන් ඉරංග ද තම අත්දැකීම් වල සම්පූර්ණ සහය කණ්ඩායම වෙත ලබා දීමේ අරමුණින් පසුවෙයි. ඉකුත් තරඟාවලියේ දී ලකුණු 450 සීමාවත් පසුකළ ඔහු මෙවර එම ගණනද පසුකිරීමට බලා සිටියි.

2016/17 ජනාධිපති විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ ඡායාරූප ඇල්මය

පුහුණු කාර්යමණ්ඩලය.

අත්දැකීමෙන් පරිපූර්ණ මදුරංග සොයිසා මෙවර ඔවුන්ගේ පුහුණුකාරීත්වය දරයි. ඔහු BRC කණ්ඩායමේ සහය පුහුණුකරු වශයෙන් ද කටයුතු කොට දේශීය මට්ටමේ අත්දැකීම් රැසක් ඇත්තෙකි. ප්‍රනාම් ශ්‍රී විමුක්ති සහය පුහුණුකාරීත්වය හොබවන අතර ක්‍රිකට් ක්‍රීඩාව භාරව කටයුතු කරන්නේ සමීර කුමාර යි.

අවසන් වශයෙන්.

තරඟාවලියේ ආරම්භයේදී ක්‍රීඩා කරන ලද අයුරු සලකා බැලීමේදී ජනාධිපති විද්‍යාලයට මුල් සිව්දෙනා අතරට පැමිණීමට නම් වැඩ කටයුතු රාශියක් කළ යුතු වෙයි. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව යනු ඕනෑම දෙයක් සිදුවිය හැකි ක්‍රීඩාවක් බැවින් එළඹෙන තරඟ වලදී උපරිම දස්කම් දැක්වීමට ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩකයන් අධිෂ්ඨානයෙන් පසුවෙයි.