මහනුවරින් කිරුළ උදුරන්නට මාන බලනා හැව්ලොක්

460

අනුශූරතාවය, ශූරතාවය බවට පරිවර්තනය කර ගැනීමේ අරමුණ ඇතිව 2017/18 Dialog අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය සඳහා එක්වන හැව්ලොක් ක්‍රීඩා සමාජය මේ වන විටත් තරගාවලියේ සමාරම්භ සතියේ පැවති ප්‍රථම තරගයෙන්ම ජයග්‍රහණය වාර්තා කර ගෙන ඇත. ඒ පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කරමිනි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ශූරතාවය දිනා ගැනීමේ අරමුණින්

2017/18 රග්බි ලීග් තරගාවලිය සඳහා ගුවන් හමුදාව මෙවර අවතීර්ණ වන්නේ ගියවර දිනා ගත්..

අතීතයෙන් බිඳක්

වයස අවුරුදු 12-16ත් අතර පාසල් වයසේ පසු වූ රග්බි ක්‍රීඩකයින් 27 දෙනෙකු එකතු කර ගනිමින් රෝයි ජෝකම් විසින් 1915 වසරේ දී ආරම්භ කරනු ලබන හැව්ලොක් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකාවේ රග්බි පිටිය තුළ විශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන ක්‍රීඩා සමාජයකි. අනතුරුව ඔවුන් 1920 වසරේ දී තරගාකාරී රග්බි පිටියට පිවිසෙන අතර පසුව 1951 වසරේ දී ඔවුන් සිය පළමු ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගන්නට සමත් වේ.

අනතුරුව මෑත කාලයේ දී ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගේ උත්සාහය හමුවේ හැව්ලොක් ක්‍රීඩා සමාජය තුළ විශාල පරිවර්තනයක් සිදුවන අතර මේ වන විට ඔවුන් විදුලි ආලෝකය මධ්‍යයේ ද තරග පැවැත්විය හැකි නව ක්‍රීඩාංගණයකට උරුමකම් කියයි. එමෙන්ම ශ්‍රී ලංකා අන්තර් සමාජ රග්බි පිටිය තුළ දශකයකට අධික කාලයක් මහනුවර ක්‍රීඩා සමාජය රඳවා ගෙන සිටි ආධිපත්‍ය බිඳ දමමින් ඔවුන් 2012 වසරේ දී ලීග් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මේ වන විට හැව්ලොක් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ ලීග් ශූරතා 14කට සහ ක්ලිෆර්ඩ් කුසලාන 13කට හිමිකම් කියනු ලබයි.    

පසුගිය තරග වාරය

පසුගිය තරග වාරයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය ඉතා ඉහළ දක්‍ෂතා දැක්වීමට සමත් වූ නමුත් ඔවුන් මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ සහභාගී වූ තරග දෙකම පරාජයට පත්වීම නිසා ඔවුන්ට තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. එහි දී තරගාවලිය අවසානයේ කණ්ඩායම් දෙකම එකම තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබූ නමුත් මහනුවර ක්‍රීඩා සමාජය ඔවුන්ට වඩා වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමි කර ගැනීමට සමත්ව තිබූ බැවින් ඔවුන් දෙවන ස්ථානයට පත්විය.

නව තරග වාරයේ කැපී පෙනෙන මුහුණු

මෙවර තරග වාරයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ජේසන් මෙල්ඩර් හටයි. ThePapare.com සමඟින් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ තරගාවලියේ සෑම තරගයක්ම සහ සෑම සතියක්ම ඔවුන්ට අතිශය වැදගත් බවත් මෙවර ඔවුන්ගේ බලාපොරොත්තුව තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම බවත් ය.

එමෙන්ම මෙවර තරගාවලියේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා රග්බි පිටිය තුළ සිටින ප්‍රවීණතම පුහුණුකරුවෙක් වන සනත් මාටිස් මහතා යි. ඔහු පසුගිය වසර කිහිපය තුළ දී පාසල් කණ්ඩායම් රාශියක් පාසල් රග්බි ලීග් ශූරතාවය කරා රැගෙන යන්නට සමත් විය.

පොලිස් පිල පරදවමින් හැව්ලොක් කණ්ඩායමට විශිෂ්ට ජයක්

2017/18 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය ආරම්භ කරමින් පළමු දිනයේ දෙවැනි…

එමෙන්ම පසුගිය අවුරුදු කිහිපය තුළ හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ‘fly half’ ස්ථානයේ ක්‍රීඩා කරමින් සුවිශාල දායකත්වයක් සැපයූ දුලාජ් පෙරේරා, මේ වන විට ඔහුගේ ආබාධයෙන් සුවය ලබා ඇති අතර ඔහුගේ දක්‍ෂතා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත. එමෙන්ම තරුණ ක්‍රීඩකයින් දෙපළක් වන නිෂෝන් පෙරේරා සහ කෙවින් ඩික්සන්ගේ සේවය ද කණ්ඩායම තවත් ශක්තිමත් කරයි.

තවදුරටත් 2015/16 තරග වාරයේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා වූ ප්‍රසාත් මදුෂංක සහ නායක ජේසන් මෙල්ඩර්ගේ ක්‍රීඩා විලාශය ද ප්‍රබල කණ්ඩායම් හමුවේ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය තීරණය කිරීමට තීරණාත්මක සාධකයක් වනු නොඅනුමානයි.

පාසල් පිටියේ දක්‍ෂයින් සමඟ පෙරට

පාසල් ක්‍රීඩකයින් එක්කර ගැනීමේ දී ඉදිරියෙන්ම සිටි ක්‍රීඩා සමාජය ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය හඳුනාගත හැක. ඒ අනුව ඔවුන් පාසල් තරග වාරයේ දී ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම සේවය එක්කර ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව පසුගිය තරග වාරයේ සාන්ත අන්තෝනි විද්‍යාලයේ නායකත්වය දැරූ දිනුක් අමරසිංහ සහ පසුගිය තරග වාරයේ වැඩිම ලකුණු ලාභියා වූ සාන්ත ජෝසප් විද්‍යාලයේ සචිත් සිල්වා කණ්ඩායමට එක්කර ගැනීමට ඔවුන් සමත්ව ඇත. තවදුරටත් සාන්ත ජෝසප් විද්‍යාලයේ ගිහාන් මදුෂංක, වෙස්ලි විද්‍යාලයේ ඩෙනිස්ටර් ගුණතිලක සහ ඉසිපතන විද්‍යාලයේ රැන්ඩි සිල්වා යන ක්‍රීඩකයින්ව ද ඔවුන් මෙවර එක්කරගෙන ඇත.    

බලාපොරොත්තුව

මෙවර ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය සඳහා එක්වන හැව්ලොක් ක්‍රීඩා සමාජ කණ්ඩායම, ඉහළ දක්‍ෂතා දක්වන ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඉතා සමබර කණ්ඩායමකි. එමෙන්ම ඔවුන් පාසල් පිටිය තුළ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් රැසක් එක්කර ගැනීමට ද සමත් ඇත. තවදුරටත් ප්‍රවීණ පුහුණුකරු සනත් මාටිස් මහතා පුහුණුකරු ලෙස එක්කර ගැනීමෙන් ඔවුන් මෙවර නිසැකවම තරගාවලියේ ශූරතාවය සඳහා තරග වදින බව පසක් කර ඇත.

ඒ අනුව ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය ගියවර තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගනිමින් ඉගෙන ගත් පාඩම් සමඟින්, මෙවර ඉන් ඔබ්බට ගොස් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමේ පැහැදිලි අරමුණ ඇතිව තරගාවලිය සඳහා එක්වේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

2017/18 – Havelock SC රග්බි සංචිතය

[a-team-showcase-vc ats_team_id=”2210800″]