වර්ෂ 1914දී සාන්ත සෙබස්තියන් ඉංග්‍රීසි විද්‍යාලය ලෙස ආරම්භ කල, වර්තමානයේදී ද මැසිනොද් විද්‍යාලය ලෙස හඳුන්වනු ලබන ප්‍රසිද්ධ කතෝලික පසලක් වන මෙම පාසල ද ලාසාල් සහෝදරතුමන්ලාගේ පාලනයට 1931දී යටත් වීමත් සමඟ වර්තමානයේදී පවතින ස්ථානයේ පිහිටුවන ලදී.

පසුගිය ලිපි: ජනාධිපති විද්‍යාලය, මුල් සිව්දෙනා අතරට පිවිසීමේ අදිටනින්

මැසිනෝද් විදුහල වැඩි වශයෙන්ම ප්‍රසිද්ධියට පත් වූයේ මෑත ඉතිහාසයේදී පාසල් පාපන්දු තරඟ වලදී වලදී පෙන්නුම් කරන ලද ප්‍රභල තරඟ රටාවන් හේතුවෙනි. ඊට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද ප්‍රභල ස්ථාවරත්වයක් තහවුරු කර ගැනීමට කඳාන ද මැසිනොද් විදුහල සමත් වී සිටින්නේ වර්තමානයේදී 19න් පහළ පළමු කාණ්ඩය යටතේ ක්‍රීඩා කරමිනි.

දකුණත් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්, වේග පන්දු යවන ක්‍රීඩක දිල්හාර ප්‍රනාන්දු හා නවක ඳඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් මෙම පාසලෙන් බිහි වූ ජාතික කණ්ඩායමේ නියෝජනයන් වේ.

2016/17 තරග සමය

පසුගිය තරඟ වාරයේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හමුවේ පමණක් අසාර්ථක වෙමින් අර්ධ අවසන් පූර්ව තරඟ වටයට සුදුසුකම් ලැබූවද, මෙවර  මැසිනොද් විද්‍යාලය D කාණ්ඩයේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමඟ යම්කිසි අරගලකාරි තත්වයකට මුහුණ පා සිටී.

කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව ක්‍රිෂාන් සන්ජුලගේ අනර්ඝ ඉනිමත් සමඟ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමඟ හොඳ ආරම්භයකට එළඹි මැසිනෝදිය මේ වන විට තරඟ 7ක් ක්‍රීඩා කර ඇත්තේ තරඟාවලි 4ක් හා සාම්ප්‍රදායික තරඟ 3ක් ලෙසිනි. එනමුත් ඔවුන් මෙවර වාර්තා කර ගැනීමට සමත්ව ඇත්තේ තරඟ 3ක ප්‍රථම ඉනිම් ජයග්‍රහණ 3ක් පමණි. තවද කොළඹ තර්ස්ටන් විදුහල හමුවේ පරාජයට පත් වීමටද ඔවුන්ට සිදු විය.

ප්‍රභල ක්‍රීඩකයින්

නායක ක්‍රිෂාන් සන්ජුල කණ්ඩායමේ ප්‍රධානතම ජයග්‍රහණයේ නියමුවා බවට පත්ව ඇත්තේ වසර 5ක පළමු පෙළ අත්දැකීම් සම්භාරයක් සහිතවය. ඔහුගේ එම තරඟ අත්දකීම් වලදී ලකුණු 900 ඉක්මවා ලබා ගැනීමට සමත් වූයේ පසුගිය තරඟ වාරයේදී  ශතක 3ක් ද වාර්තා කරමිනි. මෙම කඩුලු රකින පිතිකරුවා මලියදේවයට එරෙහිව පන්දු 249කින් ලකුණු 253ක් වාර්තා කරමින් දැක්වූ විශිෂ්ඨ තරඟ රටාවේ අඩුව ඊළඟ තරඟ කිහිපයේදී තදින්ම මැසිනොද් කණ්ඩායමට දැනෙන්නේ 19න් පහළ ආසියානු කුසලානය නියෝජනය කරන ජාතික කණ්ඩායමත් සමඟ ඔහු තරඟ සංචාරයකට සහභාගි වීම නිසාය.

කණ්ඩායමේ උපනායක එරෝශ් ද සිල්වා පසුගිය තරඟ වාරයේදී ලකුණු 500ක් තම ගිණුමට බැර කරමින් නායක ක්‍රිෂාන්ගේ අඩුව පුරවමින් කණ්ඩායමට නායකත්වය දෙන මැසිනොද් කණ්ඩායම වෙනුවෙන් වදගත් කාර්යභාරයක් ඉටු කරන ක්‍රීඩකයෙකි.

දේෂාන් ප්‍රනාන්දු යනු මැසිනොද් කණ්ඩායම නියෝජනය කරන අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වේ. පස් වසරක අත්දැකීම් සහිත වන දේෂාන් ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරමින් පසුගිය තරඟ වාරයෙන් ලකුණු 650ක් සිය පිත්තෙන් වාර්තා කිරීමට සමත් විය.

කඩුලු 22ක් සඳහා හිමිකම් කී දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක මිටිල ගීත් හා පසුගිය වසරෙන් ලකුණු 250ක්  සඳහා හිමිකම් කියන නදුන් ඩිල්ෂාන් යන දෙදෙනාම කණ්ඩායමේ තවත් වැදගත් පුරුක් දෙකක් වේ.

තවත් වසර 5ක් සඳහා කණ්ඩායම නියෝජනය කළ හැකි අවු.14ක් වන රකිත ප්‍රනාන්දු හට පැහැදිලිවම සුභ අනාගතයක මංපෙත් පෙන්නුම් කරයි.

සශාන් දිනෙත් හා රෝහිත සෙනෙවිරත්න කණ්ඩායමට එක් වූ නවක ක්‍රීඩකයන් වේ. මීට පෙර හලාවත සාන්ත මරියා කණ්ඩායමට මොවුන් දෙදෙනා ක්‍රීඩා කරන ලදී.

2016/17 මැසිනෝද් විද්‍යාලීය ක්‍රිකට් සංචිතයේ ඡායාරූප ඇල්බමය

පුහුණුකරු හා කාර්යමණ්ඩලය

1997 සාන්ත ජෝසප් කණ්ඩායම් නායකයා වූ හා වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා වන ඇන්ජලෝ මතිව්ස්ගේ සොහොයුරු ට්‍රෙවීන් මැතිව්ස් මැසිනොද් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දෙවන වර්ෂය සඳහාද කටයුතු කරයි.

ට්‍රෙවින් මැතිව්ස්ගේ සහයට සහයක පුහුණුකරු ලෙස රනේශ් පෙරේරා කටයුතු කරයි. ඔහුද හිටපු ජෝසප් නායකයෙකු වේ.

මලික් කීර්ති මහතා මෙවරද විෂය භාර ලෙස පාසල තුළ කටයුතු මෙහෙයවයි.

මෙවර තරඟාවලියේ ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමට නම් තවත් එක් ප්‍රථම ඉනිම ජයක් පමණක් තමා සතු කරගෙන සිටින මැසිනෝදියානුවන්ට සැබවින්ම ප්‍රාතිහාර්යක් කිරීමට සිදු වේ.