ශ්‍රී ලංකාව ලකුණු 165ක් පිටුපසින්

Sri Lanka A Tour of Australia 2025

19
Sri Lanka A Tour of Australia 2025

ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව් දින නිල නොලත් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය (15) අවසන් වන විට තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 165ක් පිටුපසින් පසුවෙනවා.

Darwin හී Marrara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ අද (14) දිනය ආරම්භ වෙන්නේ තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටි සත්කාරක ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 241ක් ලබා සිටියදීයි. ඔවුන් තම පළමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 486ක් ලබා ගන්නේ සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 272ට පිළිතුරු ලෙසිනුයි.

පෙර දිනයේ 5 වැනි කඩුල්ල සඳහා නොදැවුණ ලකුණු 114ක සබඳතාවක් එක් කළ Nathan McSweeney සහ Liam Scott ගේ සබඳතාව ඒ තැන ම ලොප් කරමින් තරගයේ 3 වැනි දිනය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ දිනයේ පළමු පන්දුවේ දී ම Nathan McSweeney දවා ගැනීමත් සමඟිනුයි.

ඔහු දැවී යන විට පන්දු 220කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 94ක් ලබා සිටියා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නොදැවී පිටියේ රැදී සිටි Liam Scott ට Josh Philippe එක් වූ අතර ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 98ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Liam Scott ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 221කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 94ක් ලබා සිටියා.

අනතුරු ව 7 වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් එක් කිරීමට Josh Philippe සහ Mitchell Perry සමත් වෙන අතර, 8 වැනි කඩුල්ලට ලකුණු 60ක් එක් කිරිමට Zanden Jeh සහ Mitchell Perry සමත් වෙනවා.

එහි දී Josh Philippe පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 85ක් ද, Mitchell Perry පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ද සහ Zanden Jeh පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සොනාල් දිනූෂ ලකුණු 97කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව ප්‍රමෝද් මදුශාන් ලකුණු 82කට කඩුලු 3ක් ද, නිශාන් පිරිස් කඩුලු 2ක් ද සහ මොහොමඩ් ශිරාස් කඩුල්ලක් ද දවා ගත්තා.

ලකුණු  214ක් පිටු පස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ 3 වැනි දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 49ක් ලබා සිටියා. දැවී ගිය පිතිකරු බවට පත් වූයේ ලහිරු උදාර. ඔහු පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා සිටියා.

තරගය නතර කරන විට කමිල් මිෂාර පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද සහ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 22කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 4ක් ද ලබා සිටියා.

ඉනිමේ දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය Henry Thornton සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකාA ක්‍රිකට් කණ්ඩායම– පළමු ඉනිම සියලුම දෙනා දැවී 272 (82.0) නුවනිඳු ප්‍රනාන්දු 34, පසිඳු සූරියබණ්ඩාර 20, සොනාල් දිනූෂ නොදැවී 105, විශාද් රන්දික 27, ඉසිත විජේසුන්දර 33, Liam Scott 2/27, Henry Thornton 2/31, Nathan McSweeney 2/51
  • ඔස්ට්‍රේලියාA ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිමසියලුම දෙනා දැවී 486 (161.4) Jake Weatherald 54, Nathan McSweeney 94, Liam Scott 94, Josh Philippe 85, Mitchell Perry 61, Zanden Jeh 27, නිශාන් පීරිස් 2/137, ප්‍රමෝද් මදුශාන් 3/82, සොනාල් දිනූෂ 4/97
  • ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම –දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 49 (13.0)කමිල් මිෂාර නොදැවී 26

හෙට (16) මෙම තරගයේ සිව් වැනි සහ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ උණුසුම් තරග තොරතුරු මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<