මැතිව්ස්; පුරාවෘත්තාන්තයක නිමාව

27
Angelo Mathews

2009 වසරේ ජුලි 4 වැනිදා පාකිස්තානයට එරෙහි ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මංගල ටෙස්ට් වරම් දිනා ගත් ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස් ඊට වසර 16කට පසුව එළැඹි 2025 වසරේ ජුනි 21 වැනිදා තම ටෙස්ට් තරග දිවියේ අවසන් දිනය නිමා කරනවා.

මැතිව්ස් තම ටෙස්ට් ගමන් මඟ අවසන් කරන්නේ මෙරට වැඩිම ටෙස්ට් ලකුණුලාභීන් අතර තෙවැනියා බවට පත් වෙමින් සහ වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයකට සහභාගී වූ ක්‍රීඩකයන් අතර සිව් වැනියා ලෙසිනුයි.

මැතිව්ස් තම ටෙස්ට් තරග දිවිය අවසන් කරන විට ලකුණු 8214ක් ලබා සිටි අතර එම ලැයිස්තුවේ පළමු ස්ථානය ලකුණු 12400ක් ලැබූ කුමාර් සංගක්කාර ද සහ ලකුණු 11814ක් ලැබු මහේල ජයවර්ධන ද රැඳී සිටිනවා.

මැතිව්ස් තරග 120කට සහභාගී වෙමින් ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට මෙරට ටෙස්ට් තරග පිටියේ වැඩිම තරග ප්‍රමාණයකට සහභාගී වූ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ මහේල ජයවර්ධන. එය ප්‍රමාණාත්මක ව 149ක්. ඉන් අනතුරුව කුමාර් සංගක්කාර තරග 134ක් ද සහ මුත්තයියා මුරලිදරන් තරග 132කට ද සහභාගී වෙමින් ටෙස්ට් පිටියට තිත තබනවා.

ඇන්ජලෝ මැතිව්ස් ගේ ටෙස්ට් තරග දිවියේ සුවිශේෂී කඩඉම්

1 : මැතිව්ස් තම මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගී වෙන්නේ කුමාර් සංගක්කාර ගේ නායකත්වය යටතේයි. ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ලට පිටියට පිවිසි මැතිව්ස් ගේ මංගල සහායකයා වූයේ තිලකරත්න ඩිල්ශාන්.

Younis Khan ගේ පන්දුවකට මුහුණ දෙමින් තම මංගල ටෙස්ට් ඉනිම ඇරඹූ මැතිව්ස් තම මංගල ලකුණ, තමන් මුහුණ දුන් 6 වැනි පන්දුවේ දී ලබා ගන්නවා. ඒ Younis Khan ගේ පන්දුවකට ලකුණු 3ක් ලබා ගනිමිනුයි.

4s : එම ඉනිමේ දී ම ඔහු තම මංගල හතරේ පහර ද ලබා ගැනීමට සමත් වෙනවා. ඒ Shoaib Malik ට එරෙහිවයි. එතැන් සිට ගෙවී ගිය ටෙස්ට් තරග දිවියේ දී හතරේ පහර 835ක් තම ලකුණු අතරට එකතු කර ගැනීමට මැතිව්ස් සමත් වෙනවා.

42 : Umar Gul ගේ පන්දුවකට කඩුලු රැකි ක්‍රීඩක Aamran Akmal අතට උඩ පන්දුවක් ලබා දෙමින් මැතිව්ස් තම මංගල ඉනිම අවසන් කරන විට පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටියා.

එම තරගයේ දෙවැනි ඉනිමේ දී ද පන්දුවට පහර දුන් මැතිව්ස් එවර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 27ක්. ඊට පන්දු 34ක් වැය තිබු අතර හතරේ පහර 3ක් ඊට ඇතුලත් ව තිබුණා.

1 : ශ්‍රී ලංකා පන්දු යැවීමේ පළමු ඉනිමේ සිව් වැනියා ලෙසින් පන්දු යැවීම ආරම්භ කරන මැතිව්ස්ගේ පළමු ප්‍රහාරකයා වූයේ Mohammad Yousuf. ඔහු මැතිව්ස් ගේ මංගල පන්දුව පිළිගන්නේ හතරේ පහරකිනුයි.

එම පන්දු වාරයේ පළමු පන්දු ත්‍රිත්වයේ දී ලකුණු 7කින් සංග්‍රහ ලැබූ මැතිව්ස් තමන් විසින් යැවූ අවසන් පන්දුවේ දී තම ටෙස්ට් තරග දිවියේ මංගල කඩුල්ල ලබා ගැනීමට සමත් වෙනවා.

ඔහුගේ පළමු ගොදුර බවට පත් වෙන්නේ Younis Khan වන අතර ඒ සඳහා කඩුල්ල පිටුපස සිටි තිලකරත්න ඩිල්ශාන් උඩ පන්දුවක් රැක ගනිමින් ඊට දායකත්වය දක්වනවා.

1/26 : ඔහු පළමු පන්දු යැවීම නිමා කරන්නේ 8-2-26-1ක් ලෙසින් වන අතර එම තරගයේ ම 2 වැනි ඉනිමේ දී පන්දු යැවූ ඔහු එවර තම පන්දු යැවීම නිමා කරන්නේ 4-0-13-1ක් ලෙසයි.

64* : මැතිව්ස්ගේ ටෙස්ට් තරග දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා වෙන්නේ එම තරග සංචාරයේ ම පැවැති තෙවැනි තරගයේදීයි. කොළඹ SSC පිටියේදී පැවැති මෙම තරගයේ දෙවැනි ඉනිමේ දී පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 64ක් ලබා ගනිමිනුයි ඔහු එම අවස්ථාව උදා කර ගන්නේ.

6s : මෙම ඉනිමේ දී Saeed Ajmal ගේ පන්දුවකට එල්ල කළ හයේ පහර ඔහුගේ ටෙස්ට් තරග දිවියේ මංගල හයේ පහර ලෙසින් වාර්තා කිරීමට ද මැතිව්ස් සමත් වෙනවා. ඒ අනුව ඔහු ටෙස්ට් තරග දිවිය අවසන් කරන්නේ හයේ පහර 90ක් තම ලකුණු අතරට එකතු කර ගනිමිනුයි.

114 : ඔහු මෙම ඉනිමේ දී නායක කුමාර් සමඟින් එකතු වී 5 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 114ක සබඳතාවක් ගොඩ නගනවා. එය මැතිව්ස්, ටෙස්ට් තරග දිවියේ ශතක සබඳතාවකට එක් වූ පළමු අවස්ථාවයි.

99 : මැතිව්ස්ගේ ටෙස්ට් තරග දිවියේ පළමු අවාසනාවන්ත ඉනිම බවට පත් වෙන්නේ 2009 වසරේ දෙසැම්බර් මස ඉන්දියාව සමඟින් Mumbai හි දී පැවැති තරගයයි. එම තරගයේ දී මැතිව්ස් ලකුණු 99ක් ලබා සිටිය දී දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙනවා.

Sachin Tendulkar හා කඩුලු රැකි MS Dhoni එක් ව ඔහුගේ මංගල ටෙස්ට් ශතකය අහිමි කරද්දී පන්දු 131කට මුහුණ දී සිටි අතර ඊට හතරේ පහර 15ක් ද එක් කර තිබුණා.

100+ : එම තරගයේ දෙවැනි ඉනිමේ දී ලකුණු 5ක් ලබා ගන්නා මැතිව්ස් තම ටෙස්ට් තරග දිවියේ තරගයක ඉනිම් 2 දී ලකුණු 100ක් ලබා ගත් පළමු තරගය ලෙසින් එම තරගය නිමා කළා.

105* : මැතිව්ස් තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කරන්නේ තමන් සහභාගී වූ 16 වැනි ටෙස්ට් තරගයේදීයි. 2011 වසරේ සැප්තැම්බර් මස කොළඹ SSC පිටියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කරන ලද මෙම නොදැවුණ ඉනිම ලකුණු 105ක්. පන්දු 269කින් යුක්ත වූ එම ඉනිමට හතරේ පහර 10ක් ද ඇතුලත් වුණා.

1000 : මැතිව්ස් තම ටෙස්ට් තරග දිවියේ ලකුණු 1000 කඩඉමට පිවිසෙන්නේ 2011 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහි ව Centurion හී පැවැති තරගයේදීයි. ඒ වෙනුවෙන් ඔහු තරග 20ක ඉනිම් 29කට මුහුණ දී සිටි අතර ඒ වෙද්දී ඔහුගේ ලකුණු ලැයිස්තුවේ ඔස්ට්‍රේලියාවට එරෙහි ව ලබා සිටි මංගල ශතකය සහ තවත් අර්ධ ශතක 5ක් ඇතුලත් ව තිබුණා.

0 : මැතිව්ස් තම ටෙස්ට් තරග දිවියේ ලකුණු නොලබා දැවී ගිය පළමු අවස්ථාව වූයේ 2012 වසරේ පාකිස්තානය සමඟින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැති එම තරග සංචාරයේ පළමු තරගයේදීයි.

එහි දී ඔහුගේ ඉනිම තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම අවසන් කිරීමට Saeed Ajmal සමත් වෙන්නේ ඔහු වෙත ම ආ උඩ පන්දුව රැක ගැනීමෙනුයි. ඒ වෙද්දී මැතිව්ස් ටෙස්ට් ඉනිම් 36ක් ක්‍රීඩා කර තිබූ අතර ලකුණු 1219ක් ලබා සිටියා.

200*: මැතිව්ස් ගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වෙන්නේ 2020 වසරේ ජනවාරියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව Harare හි දී පැවැති ටෙස්ට් තරගයේදීයි.

එම තරගයේ දී මැතිව්ස්, ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී පන්දු 468කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 200ක් වාර්තා කරනවා.

69* : අංක 69 පැළඳ සිටින මැතිව්ස්, තම ටෙස්ට් තරග දිවියේ එම ඉලක්කමෙන් එකඳු හෝ අවස්ථාවක දැවී නොයෑමට වග බලා ගන්නවා. නමුත් ඔහුගේ මෙම නිමා වූ තරග ඉතිහාසයේ 2021 වසරේ නොවැම්බර් මාසයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් හා සමඟ පැවැති තරගයේ දී ඔහුට එම අංකය හිමි ලකුණෙන් නොදැවී පිටියේ රැඳී සිටීමට සිදු වෙනවා.

එම තරගයේ 2 වැනි ඉනිමේ දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ව තිබිය දී අත්හිටුවීමේ දී මැතිව්ස් ඉන් ලකුණු 69ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියා. පන්දු 84ක් වැය ව තිබු එම ඉනිමේ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ද ඇතුලත් ව තිබුණා.

199 : මැතිව්ස් ගේ ටෙස්ට් තරග දිවියේ තවත් අවාසනාවන්ත දැවී යෑමක් වාර්තා වෙන්නේ 2022 වසරේ දී බංග්ලාදේශයට එරෙහි ව Chattogram හි දී පැවැති තරගයේදීයි. එහි පළමු ඉනිමේ දී අංක 4 ස්ථානයෙන් පිටියට පිවිසි මැතිව්ස් ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 397කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 199ක් ලබා සිටියා.

එම අවාසනාව ඔහු වෙත ගෙන එන්නේ Nayeem Hasan වන අතර Shakib Al Hasan උඩ පන්දුවක් රැක ගනිමින් ඊට දායකත්වය ලබා දෙනවා.

1601 : මැතිව්ස් තම ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ප්‍රහාරයකට ලක් කළ කණ්ඩායම බවට පත් වෙන්නේ පාකිස්තානයයි. ඔහු පාකිස්තානය සමඟින් තරග 23ක ඉනිම් 42කට එක් වෙමින් මෙම දක්ෂතාව සිදු කරනවා.

මේ අතරට Abu Dhabi ක්‍රීඩාංගණයේ දී නොදැවී ලබා ගන්නා ලද ලකුණු 157ක් සහ පල්ලෙකැලේ දී ලබා ගන්නා ලද ලකුණු 122ක් සමඟින් තවත් අර්ධ ශතක 9ක් ද ඊට ඇතුලත්. ඔවුන්ට එරෙහි මැතිව්ස් ගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 50.03ක රැඳී පවතිනවා.

1160 : මැතිව්ස් තම තරග දිවියේ වසරක් තුළ ලබා ඇති වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නේ 2014 වසරේදීයි. තරග 11ක ඉනිම් 20ක දී වාර්තා වූ එම ලකුණු අතරට එංගලන්තයට එරෙහි ව Leeds (160) හි දී සහ Lord’s (102) හි දී ලබා ගන්නා ලද ශතක ද්විත්වයක් ද පාකිස්තානයට (2), බංග්ලාදේශයට (1), දකුණු අප්‍රිකාවට (3) නවසීලන්තයට (2) බැගින් ලබා ගත් අර්ධ ශතක 8ක් ද ඇතුලත් අතර එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 77.33ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඔහු සමත් වුනා.

34 : මැතිව්ස් තමන් සහභාගී වූ ටෙස්ට් තරග 120න් තරග 34ක දී ශ්‍රී ලංකා නායකත්වයේ කටයුතු කරනවා. ඉන් තරග 13ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් වෙන ඔහු අනෙක් තරග අවසන් කරන්නේ පරාජිත තරග 15ක් සහ නොවිසඳුණ තරග 6ක් ලෙසයි.

2013 වසරේ මාර්තු මස 08 වැනිදා බංග්ලාදේශයට එරෙහි ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පළමු වරට ශ්‍රී ලංකා නායකත්වයේ කබාය පැළඳ ගන්නා මැතිව්ස් එම තරගය විසඳුමකින් තොරව අවසන් කර ගන්නවා.

එම තරගාවලියේ ම 2 වැනි තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේ දී පැවැත්වෙන අතර එම තරගය කඩුලු 7ක ජයග්‍රහණයක් කරා රැගෙන යමින් තම නායකත්වයේ මංගල ජයග්‍රහණය ලබා ගැනීමට මැතිව්ස් සමත් වෙනවා.

ඒ අනුව තරග 2කින් යුත් මැතිව්ස් ගේ නායකත්වයෙන් යුත් මංගල ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ද ඔහුට හැකි වෙනවා.

2802 : තමන්ගේ නායකත්වයේ දී සාර්ථක පිතිකරුවෙක් බවට පත් වීමට ද මැතිව්ස් සමත් වෙනවා. ඔහු නායකත්වයේ කබාය පැළඳ ඉනිම් 64කට පිටියට පිවිසෙන අතර එහි දී ශතක 6ක් සහ අර්ධ ශතක 15ක් එක් කිරීමට සමත් වෙනවා. මේ අතුරින් ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ 2013 වසරේ දී පාකිස්තානයට එරෙහි ව Abu Dhabi ක්‍රීඩාංගණයේ දී පන්දු 343කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලබා ගන්නා ලද ලකුණු 157යි.

33 : දකුණතින් මඳ වේග පන්දු යැවූ මැතිව්ස් නිමා වූ ටෙස්ට් තරග දිවියේ දී පන්දුවාර 663.0ක් යවමින් ලකුණු 1798කට කඩුලු 33ක් දවා ගන්නවා.

4/44 : ටෙස්ට් තරග දිවියේ ඔහුගේ හොදම පන්දු යැවීම බවට පත් වෙන්නේ එංගලන්තයට එරෙහි ව 2014 වසරේ ජුනි මාසයේ දී Leeds හි දී ලකුණු 44කට ලබා ගන්නා ලද කඩුලු 4යි.

එම තරගයේ දී දෙවැනි ඉනිමේ දී ද පන්දු යවන ඔහුට එකඳු හෝ කඩුල්ලක් හිමි නොවන අතර ලබා දුන් ලකුණු සංඛ්‍යාව 16ක් ඒ අනුව එම තරගය නිමා වන විට ලකුණු 60කට කඩුලු 4ක් දවාගත් මැතිව්සේ ගේ එම දත්තයන් තරගයක හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබ වූ මැතිව්ස් 2 වැනි ඉනිමේ දී පන්දු 249කට මුහුණ දෙමින් හතරේ පහර 25ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 160ක් ලබා ගන්නවා. එම දක්ෂතාත් සමඟින් එම තරගයේ වීරයා ලෙසින් ද මැතිව්ස් නම් කෙරෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 100කින් ජයගත් මෙම තරගය ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ 21 වැනි සියවසේ ශ්‍රේෂ්ඨතම තරග අතර 2 වැනි ස්ථානයට පත් තරගය ලෙසින් ද ඉතිහාසයට එක් වුණා. එහි පළමු ස්ථානය හිමි වූයේ මත විමසුමෙන් 77.4%ක් ලබා ගත් Chennai හී පැවැති ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයටයි. ශ්‍රී ලංකාව ජයග්‍රහණයෙන් නිමා කළ මෙම තරගයට 22.6%ක ප්‍රතිශතකයක් ලැබී තිබුණා.

10 : මැතිව්ස් තම ටෙස්ට් තරග දිවියේ ලබා ගන්නා ලද වැඩිම කඩුලු සංඛ්‍යාව වාර්තා කරන්නේ පාකිස්තානයට එරෙහිවයි. එහි දී ඔහු තරග 23ක ඉනිම් 23ක දී පන්දුවාර 185.0ක් යවනවා.

එහි ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ 2015 වසරේ ජුනි මස කොළඹ P. Sara Oval පිටියේ දී ලකුණු 15කට දවා ගත් කඩුලු 2යි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<