ආදරවන්තයන් මේ වසරේත් විසඳුමක් නැතිව වෙන්වෙයි

121st Battle of the Lovers

4
121st Battle of the Lovers - Day 3

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර 121 වැනි වරටත් පැවැත්වෙන ආදරවන්තයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (21) විසඳුමකින් තොරව නිමා වූවා.

>>ගාලු ආදරවන්තයෝ නැවත හමුවෙයි<<

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගාල්ල මහින්ද විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 315ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 332ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවා ප්‍රතිවාදීන්ට නැවත පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන් අතර තරගය අවසන් වන විට රිච්මන්ඩ් විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 83ක් ලබා සිටියා.

තරගය 3 වැනි දිනයට ආරම්භ වෙන්නේ මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 90ක් ලබා සිටියදීයි. ඔවුන්ගේ අද ඉනිමේ දී දිනෙත් පැහැසර පන්දු 201කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 124ක් ලබා ගත්තා.

ඊට අමතර ව මානිත රාජපක්ෂ පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 58ක් ද සහ රන්දුල මාබරණ පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 50ක් ද ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී මිනග ආරියදාස ලකුණු 105කට කඩුලු 4ක් දවා ගත් අතර නෙතුජ බාසිත් ලකුණු 65කට කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 17ක් පසු පස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ දී රිසිනු රපින්ගේ පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 37ක් ද සහ රවිඳු රන්දිනු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 37ක් ද ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට නොදැවී ලකුණු 55ක සබඳතාවක් එක් කරනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දැවී 315 (131.2) රවිඳු රන්දිනු 85, අමීෂ රසාංජන 81, ටෙනුශ නිම්සර 26, නෙතුජ බාසිත 34, පුනාල් හංසජිත් 21, සදෙව් නෙත්මිණ 2/45, කවිඳු නිම්සර 2/47, මානිත රාජපක්ෂ 5/96
  • මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 332 (104.2) දුල්සිත් දර්ශන 22, රන්දුල් මාබරණ 50, දිනෙත් පැහැසර 124, ගෙසඳු බිසස් 26, මානිත රාජපක්ෂ 58, මිනඟ ආරියදාස 4/105, නෙතුජ බාසිත් 3/65
  • රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 83 (22.0) රසිනු රපින්ගේ නොදැවී 37, රවිඳු රන්දිනු නොදැවී 37

තරගයේ විසඳුමක් නෑ.

තරගයේ දක්ෂතම පන්දු රකින්නා – රවිනු රන්දිනු (රිච්මන්ඩ් විද්‍යාලය)

 

තරගයේ දක්ෂතම පන්දු යවන්නා – මිනඟ ආරියදාස (රිච්ම්න්ඩ් විද්‍යාලය)

 

තරගයේ දක්ෂතම පිතිකරු – දිනෙත් පැහැසර (මහින්ද විද්‍යාලය)

 

තරගයේ වීරයා – මානිත රාජපක්ෂ (මහින්ද විද්‍යාලය)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<