ඩයලොග් ලීග් තරගාවලියේ දී පොලිස් ක්‍රීඩා සමාජයට සුවිශාල අභියෝගයක්

359

2017/2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සඳහා පොලිස් ක්‍රීඩා සමාජය ජයංග සිල්වාගේ නායකත්වය යටතේ මේ වන විට හොඳ සූදානමකින් පසු වේ. ඒ අනුව පසුගිය තරග වාර 2 පුරාවට ඔවුන් පෙන්නුම් කළ පසුගාමී ක්‍රීඩා විලාශයෙන් මිදී, මෙවර තරගාවලියේ දී ඉදිරියට පැමිණෙන්නට තරුණ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමට හැකිවෙයි ද?

තරගාවලියට අභියෝග කරමින් මහනුවර සටනට

මෙවර ඩයලොග් ලීග් රග්බි තරගාවලියට තරග වදින කණ්ඩායම් අතර සිය නාමය ඉහළින්ම රඳවා සිටින ප්‍රබල කණ්ඩායමක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය හැඳින්විය හැක.

අතීතයෙන් බිඳක්

පොලිස් රග්බි ක්‍රීඩා සමාජය ආරම්භ කරනු ලබන්නේ 1926 වසරේ දී ය. අනතුරුව 1961 වසරේ සිට ඔවුන්ට අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වේ.   පසුව වසර 6ක කාලයකින් අනතුරුව ඔවුන් තරගාවලියේ A කාණ්ඩය දක්වා උසස් වීමක් ලබන අතර එහි දී ඔවුන් සිය පළමු ලීග් ශූරතාවය ජයග්‍රහණය කිරීමට 1979 වසරේ දී සමත් වේ. අනතුරුව 1980 වසරේ දී ද නිමල් ලූකේගේ නායකත්වය යටතේ ඔවුන් නැවතත් තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරනු ලබයි.

1980 වසර සිට 1989 දක්වා කාලය ඔවුන්ගේ රග්බි ඉතිහාසයේ ස්වර්ණමය යුගය වන අතර එහි දී ඔවුන් පිට පිට ශූරතා දිනා ගැනීමට සමත් විය. 1989 වසරේ දී ඔවුන් හෆීස් මාසොගේ නායකත්වය යටතේ රග්බි ශූරතා ත්‍රිත්වයම දිනාගනු ලැබීය.

පසුගිය තරග වාරය

කෙසේ නමුත් පසුගිය තරග වාර 2 දී ම පොලිස් ක්‍රීඩා සමාජය ඉහළ දක්‍ෂතා දැක්වීමට අපොහොසත් විය. 2015 වසරේ දී ඔවුන් 5වන ස්ථානයට පත්වූ අතර අනතුරුව පසුගිය 2016 වසරේ තරග වාරයේ දී ඔවුන් සිය වාර්තාගත පහළම ස්ථානය වන 7වන ස්ථානය දක්වා පසුබැස්සේය.

නව තරග වාරයේ කැපී පෙනෙන මුහුණු

මෙවර පොලිස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ අත්දැකීම් සහිත ක්‍රීඩකයෙක් වන රසිත් ජයංග සිල්වා හටයි. ‘Hooker’ ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු ThePapare.com සමඟ අදහස් දක්වමින් පවසා සිටියේ වසර 3ක දිගුකාලීන සැලැස්මක් සහිතව තරගාවලියට එක්වන ඔවුන්ගේ බලාපොරොත්තුව තරගාවලියේ පළමු ස්ථාන 4 අතරට පැමිණීම බවයි.

පොලිස් කණ්ඩායම පසුගිය වසරේ දී දැක්වූ දුර්වල ක්‍රීඩා රටාවෙන් මුදවා ගැනීමේ වගකීම මෙවර පැවරී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ට ගණයේ පුහුණුකරුවෙක් වන ශම්ලි නවාස් හටයි. ThePapare.com සමඟින් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ කණ්ඩායම පුහුණුවීම් කටයුතුවල දී හොඳ වර්ධනයක් පෙන්නුම් කළ බවත්, ඒ අනුව මෙවර තරග වාරය සඳහා ඔවුන් හොඳ සූදානමකින් පසුවන බවයි.

කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන ලහිරු ගුරුසිංහ සහ රෝම්ෂ් ආරච්ච්ගේ යන ක්‍රීඩකයින්ගේ දායකත්වය තරගාවලිය තුළ දී ඔවුන්ට අතිශය වැදගත් වනු ඇත.

පාසල් පිටියේ දක්‍ෂයින් සමඟ පෙරට

මෙවර පොලිස් ක්‍රීඩා සමාජය පාසල් රග්බි පිටියේ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම සේවය එක්කරගෙන ඇත. ඒ අතරට සංදේශ් ජයවික්‍රම, වජීඩ් ෆවුමි සහ සුරංග ලක්මාල් ඇතුළත් වේ. ඔවුන් තිදෙනාම මෙම වසරේ දී පැවති වයස අවුරුදු 20න් පහළ ආසියානු රග්බි ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.  

තවදුරටත් මරදාන සහිරා විද්‍යාලයේ සයීඩ් සිංහවංසගේ එක්වීම ද කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත.

බලාපොරොත්තුව

මෙවර තරගාවලිය සඳහා පොලිස් ක්‍රීඩා සමාජය කොන්ත්‍රාත් ක්‍රීඩකයින් රහිතව ක්‍රීඩා කිරීම ඔවුන්ට විශාල අභියෝගයක් වනු ඇත. ඒ අනුව ඔවුන් මෙවර තරගාවලිය සඳහා එක්වන්නේ පොලිස් ක්‍රීඩකයින්ගේ සේවය පමණක් ලබා ගනිමිනි.

කෙසේ නමුත් තරුණ ක්‍රීඩකයින්ගේ ජවයත් සමඟ තරගාවලියේ පළමු ස්ථාන 04 අතරට පැමිණීමේ බලාපොරොත්තුව සහිතව තරගාවලියට එක්වන පොලිස් කණ්ඩායමේ පළමු අරමුණ වනුයේ පසුගිය වසරේ ඔවුන් හිමිකරගත් 7 වන ස්ථානයෙන් ඉහළට පැමිණීමයි.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට  

2017/18 – Police SC රග්බි සංචිතය

[a-team-showcase-vc ats_team_id=”2209972″]