නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික විරුවා

455
ඡායාරූපය: Getty Images

“1981 වසරේ පෙබරවාරි පළමු වැනිදා සවස 5.42ට සිදු වූ එම සිදුවීම මම අදටත් විශ්වාස කරන්නේ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වූ හොඳම දේ කියල. එය සැබවින්ම වෙස්වලාගත් ආශීර්වාදයක්.”

1981 වසරේ ඕස්ට්‍රේලියානුවන් සමඟ මෙල්බර්න්හී පැවති එක්දින තරගයක් ජය ගැනීමට නවසීලන්තයට අවසන් පන්දුවෙන් ලකුණු හතක් ලබා ගැනීමට සිදු වුනා. එවෙලේ පන්දු යවමින් සිටියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ට්‍රෙවෝ චැපල්. පන්දුවට පහර දීමට නවසීලන්තයේ බ්‍රයන් මැකෙන්සි සූදානම්ව සිටියා. එවෙලේ වහාම ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියානු නායක ග්‍රේග් චැපල් තම සොයුරා වන ට්‍රෙවෝට උපදෙස් දෙන්නේ පන්දුව අත යටින් යවන ලෙසයි. මෙම සිදුවීම ක්‍රිකට් ලොව බොහෝ දෙනා ඉතා පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කළා. නමුත් ඇතැම් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් අද මෙම සිදුවීම දෙස බලන්නේ වෙනස්ම කෝණයකින්. ශ්‍රීමත් රිචර්ඩ් හැඩ්ලිත් එවැන්නෙක්. එදා තරගයේ මතකය ශ්‍රීමත් හැඩ්ලි තවදුරටත් ගෙන එන්නේ මේ ආකාරයෙන්.

“මම ඇතුළු බොහෝමයක් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් තමන්ගේ ජීවිත කාලයම කැපකළේ ක්‍රිකට් කියන ක්‍රීඩාව නවසීලන්ත ජනතාවට සමීප කරන්න. නමුත් එවැන්නක් සාර්ථක කරගැනීමට අපට කිසිම ආකාරයක හැකියාවක් තිබුණේ නැහැ.

නවසීලන්ත ජාතිකයින් සෑම විටකම රගර් ක්‍රීඩාව මුල් තැනෙහි තබා සිටි ජාතියක්. අපිට ලොකු උවමනාවක් තිබුණා ක්‍රිකට් කියා ක්‍රීඩාවකුත් නවසීලන්තයේ පවතින බව ඔවුන්ට හඟවන්න. අප සෑහෙන කාලයක සිට විවිධාකාරයෙන් එයට උත්සහ කළා. නමුත් ග්‍රේග් චැපල් නම් ඕස්ට්‍රේලියානු නායකයා තත්පර ගණනකින් ඒ සියලු බලාපොරොත්තු මල්ඵල ගැන්වූවා. එම සිද්ධියෙන් අනතුරුව බොහෝ නවසීලන්ත ජාතිකයින් ක්‍රිකට් ක්‍රීඩාව පිටුපසින් එක්රොක් වුනා.

මා දන්නා පරිදි ග්‍රේග් චැපල් එම පන්දුව අත යටින් යැවීමේ සිද්ධිය ගැන ආඩම්බර වන්නේ නැහැ. නමුත් මම ඔහු මුණගැහුණාම සෑම විටම සිනාමුසු පවසනවා නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කළ සේවය මිල කළ නොහකි බව.

මට ටෙස්ට් වරම් ලැබෙන්නේ 1973 වසරේ සංචාරක පාකිස්තානු කණ්ඩායමට එරෙහිව වෙලින්ටන් නුවර දී. මට එම තරගයේ දී දවා ගත හැකි වූයේ කඩුලු දෙකක් පමණයි. පිත්තෙන් ලකුණු 46ක් රැස්කළත් ඊළඟ ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන්නට එම දස්කම් ප්‍රමාණවත් වූයේ නැහැ. ටෙස්ට් ක්‍රීඩාවේ මා මුලින්ම යැවූ පන්දුව ෆුල්ටොස් පන්දුවක්. එය කෙළින්ම නතර වුනේ හතරේ සීමාවෙන් එපිට. ඒ ආකාරයෙන් ආරම්භ වූ මගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය අවසාන වුනේ මා යැවූ අවසාන පන්දුවටත් කඩුල්ලක් දවා ගනිමින්.

1978 වසරේ මම එංගලන්තයේ නොටිංහැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පැමිණියා. එය මගේ ක්‍රීඩා ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක්. වේගපන්දු යැවීම සඳහා වැඩි දුරක් දිව ඒමට අවශ්‍ය නැති බව මම තේරුම් ගත්තේ එංගලන්ත ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කිරීමෙන්. ඉන්පසු නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරද්දිත් මා පන්දු යැවීමට දිව ආවේ කෙටි දුරක්. නමුත් එයට සෑහෙන විවේචන එල්ල වුනා. සමහර මගේ සහෝදර ක්‍රීඩකයින් පවා චෝදනා කළා මගෙන් සියයට සීයක් පන්දු යැවීමෙන් කණ්ඩායමට නොලැබෙන බවට.

1985 ඕස්ට්‍රේලියානු සංචාරය මට කිසිසේත් අමතක කරන්න බැරි තරගාවලියක්. එම තරගාවලියේ ගැබා ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයේ දී මම කඩුලු 15ක් දවා ගත්තා. මගේ ක්‍රීඩා ජීවිතයේ උච්චතම අවස්ථාව එයයි. ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ කඩුලු නමයක් දවා ගන්න මට හැකියාව ලැබුණා. ඉතිරි කඩුල්ල දවා ගැනීමට උඩපන්දුව රැකගත්තේත් මා විසින්. වෝන් බ්‍රවුන්ගේ පන්දුවකට ජෙෆ් ලෝසන් එල්ල කළ පහරක් මිඩ් විකට් කලාපයේ සිට පිටුපසට දිවගොස් මා ඒ අසීරු උඩපන්දුව රැක ගත්තේ. කඩුලු දහයම දවා ගැනීමට ඔබට අවස්ථාව තිබිය දී එවැනි අසීරු උඩපන්දුවක් රැකගත්තේ ඇයි ද කියා මගෙන් බොහෝ දෙනෙකු පසුව විමසුවා. නමුත් එය සුපිරිසිදු ක්‍රිකට් නොවේ. ක්‍රීඩකයින්ගේ පෞද්ගලික වාර්තාවලට වඩා වටින්නේ කණ්ඩායම් ජයග්‍රහණයයි. අනික් කාරණාව එය වෝන් බ්‍රවුන්ගේ මංගල තරගය. මා ලෝසන්ගේ උඩපන්දුව රැකගැනීම නිසා බ්‍රවුන්ට ඔහුගේ මංගල කඩුල්ල ලැබුණා. ඒ අතින් බැලුවාම ඒ කඩුල්ල මට වඩා ඔහුට වටිනාකමක් තිබෙනවා.

1990 වසරේ එංගලන්ත සංචාරයේ ලෝඩ්ස්’හි පැවති දෙවැනි ටෙස්ට් තරගය අතරතුර මා නයිට් පදවියෙන් පිදුම් ලැබුවා.  සක්‍රීයව ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුට නයිට් පදවිය ලැබුණේ ප්‍රථම වතාවටයි. එමෙන්ම මුල්ම වතාවටයි එය පන්දු යවන්නෙකුට ලැබෙන්නේත්.

මම ක්‍රීඩාවට සමු දුන්නේ 1990 ජූලි මස නමවැනිදා. හරියටම ඊට වසරකට පසු මම හිටියේ රෝහලක ඇඳක් මත වැතිරී ජීවිතයත් මරණයත් අතර. එය හදවත් සැත්කමක්. මා මගේ ජීවිතයේ මුහුණ දුන් විශාලම පරීක්ෂණය එය විය හැකියි.

ක්‍රිකට් ක්‍රීඩාව නිසා මට හමු වූ විවිධාකාර ප්‍රතිවාදීන් සිටිනවා. ඩීන් ජෝන්ස් කියන්නේ මගේ ක්‍රීඩා ජීවිතයේ හමු වූ අපූරු ප්‍රතිවාදීන්ගෙන් කෙනෙක්. මා ඉතාම සාමාන්‍ය තත්වයේ පන්දු යවන්නෙකු බව ප්‍රකාශ කළ එකම ක්‍රීඩකයා ඔහුයි. ඩීන් ජෝන්ස් සමඟ පිටියේ ක්‍රීඩා කළ අවස්ථාවන්හි මා සාර්ථක වූ අවස්ථා වැඩියි. නමුත් ඩීන් ජෝන්ස් ටෙස්ට් ක්‍රිකට් දිවියේ දවා ගත් එකම කඩුල්ල මා වීම සමාව දිය නොහැකි කාරණාවක්.

මගේ පියා වෝල්ටර් නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ අයෙක්. කුඩා කල සිටම මා ඇතුළු සහෝදරයින් හැදී වැඩුණේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පරිසරයක. ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනාකම් ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩාවේ යෙදිය යුතුබව මම වටහා ගත්තේ එවන් ක්‍රීඩාශීලී වටාපිටාවක් කුඩා කාලයේ තිබූ නිසා.

අවසානයේ කියන්න අවශ්‍යයි කිසිම ක්‍රීඩකයෙකු සමස්ත ක්‍රීඩාවට වඩා විශාල වන්නේ නැහැ. ඔබ මුළු හදවතින්ම සහ වටිනාකම් අවබෝධ කරගනිමින් ක්‍රීඩාවේ යෙදුනහොත් ඔබේ නම සැමදා අමරණීය ආකාරයෙන් ක්‍රීඩාවත් සමඟ කියවේවි.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<