මෙවර Roy-Tho සූරියවැවේ දී

549

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව සංවිධානය කරන “නිල් මහා සටන” (Battle of the Blues) වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමේ 142 වැනි අදියර මෙවර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, මහා ක්‍රිකට් ගැටුමේ තුන් දින තරගය අප්‍රේල් මස 8, 9 සහ 10 යන දිනවල දීත්, එක්දින තරගය අප්‍රේල් මස 12 වැනිදාත් පැවැත්වීමට සැලසුම් කර ඇත.

පවතින කොරෝනා වසංගත තත්වය යටතේ අවිනිශ්චිත තත්වයකට පත්ව තිබූ මෙම ක්‍රිකට් ගැටුම සියලු සෞඛ්‍යාරක්ෂිත නීති අනුගමනය කරමින් සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්මාණය කරන ජෛව ආරක්ෂිත බුබුලකට අනුගත වෙමින් පැවැත්වීමට සූදානම් බව බලධාරීන් විසින් තහවුරු කර ඇත.

ඒ අනුව රාජකීය විද්‍යාලයේ සහ සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයින් සහ තරගය සඳහා සහභාගී වන නිලධාරීන් සියල්ල ක්‍රීඩාංගණය අසල තිබෙන හෝටලයක දී සතියක කාලයක් නිරෝධායනය වීමට නියමිත අතර එම බුබුලට ඇතුළු වීමෙන් පසු සෞඛ්‍ය නීති අනුව ඔවුන්ට පිටතට ඒම තහනම් වේ.

එමෙන්ම මෙවර තරග සියල්ලම ප්‍රේක්ෂකයන් රහිතව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරගාවලිය කොළඹින් පිටතට ගෙන යාමට එය ද ප්‍රධාන හේතුවක් වූ බව බලධාරීන් තහවුරු කරන ලදි.

ක්‍රිකට් ගැටුම සඳහා සහභාගී වන ක්‍රීඩකයන් හට විභාග කටයුතුවලට සහ පුහුණුවීම් කටයුතුවලට සහභාගී වීමට ඉඩ ලබා දීමේ අරමුණින් මහා සංග්‍රාමය මාර්තු මාසයේ පැවැත්වීමේ සැලසුම් අතහැර දැමීමට සංවිධායකයින් මීට පෙර තීරණය කර තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්: 

“නිල් මහා සටන” වාර්ෂික ක්‍රිකට් ගැටුම මෙරට ජනප්‍රියතම මහා ක්‍රිකට් සංග්‍රාමයක් මෙන්ම ලොව දෙවනුවට දීර්ඝතම ක්‍රිකට් ඉතිහාසයක් සහිත තරගාවලිය ද වේ. එය දෙවැනි වන්නේ මෙයට වඩා වසරක් පමණක් පැරණි ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන St. Peter’s College, Adelaide සහ Prince Alfred College, Adelaide අතර මහා සංග්‍රාමයට පමණි.

පසුගිය වසරේ පැවති 141 වැනි නිල් මහා සටන ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් 2019 වසරේ ලැබූ ජයග්‍රහණය නිසාවෙන් D. S. Senanayake අනුස්මරණ කුසලානය තම පාසලේ රඳවා ගැනීමට සාන්ත තෝමස් ක්‍රීඩකයන් සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<