Dhawanගෙන් ඉන්දීය සරණාගත කඳවුරකට තෑග්ගක්

218

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Shikhar Dhawan විසින් පසුගිය දා එරට නවදිල්ලි අගනුවර සිටින සරණාගතයින් පිරිසක් බැලීමට ගොස් ඔවුන් වෙත ක්‍රිකට් ආම්පන්න සහ වෙනත් ඔවුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය රැසක් බෙදා දී ඇත. 

ඒ අනුව පසුගිය සෙනසුරාදා (04) නවදිල්ලි නුවර Majlis Park Metro Station ආසන්නයේ පිහිටා ඇති සරණාගත කඳවුරක් වෙත ගිය Dhawan එහි දී ඔවුන්ට අවශ්‍ය ක්‍රිකට් කට්ටල, ජංගම වැසිකිළි, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ ඇඳ ඇතිරිලි ආදී භාණ්ඩ රැසක් ලබා දීමට කටයුතු කර ඇත. පාකිස්තානයේ සිට පැමිණි හින්දු ජාතිකයින් පිරිසක් එම කඳවුරේ සරණාගතයින් ලෙස වාසය කරන අතර ඔවුන්ව Delhi Riding Club පදනම විසින් රැකබලා ගනු ලබයි. 

“මම කැමතියි සමාජයට සේවයක් කරන්න. ඉතින් මට මේක ගොඩක් හොඳ අත්දැකීමක් වුනා. Delhi Riding Club පදනම මෙතැන ලොකු සේවයක් ඉටු කරනවා. ඉතින් ඔවුන් එක්ක එකතු වෙන්න ලැබීම මටත් ලොකු සතුටක්. මම මේ වෙනකොට මේ වගේ දේකට දායකත්වයක් දෙන්න පුළුවන් තැනක ඉන්නේ. ඉතින් මේක හරහා මට ලොකු සතුටක් වගේම මානසික සුවයක් ලැබුණා” Dhawan මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය. 

එම සරණාගත කඳවුරේ වාසය කරන ජනතාව Dhawanගේ පැමිණීම පිළිබඳව කිසිවක් දැන නොසිටි අතර ඒ හේතුවෙන් මෙය ඔවුන්ට විශාල පුදුමයක් වන්නට විය. ඒ හරහා ඔහුගේ පැමිණීම ඔවුන් හට ඉතා සුවිශේෂී අවස්ථාවක් විය.

“මුලින් ඔවුන් ගොඩක් පුදුමයට පත්වුණා. ඒත් මම ආපු එක ගැන ඔවුන් ගොඩක් සතුටෙන් හිටියේ. ඒ වෙලාවේ ඔවුන්ගේ ඒ සතුට මටත් හොඳටම දැනුණා. ඔවුන් මගෙන් මගේ උඩු රැවුල ගැන ඇහුවා. ඒ වගේම මට ‘thigh fives’ (Dhawanටම ආවේණික වූ සැමරීමේ ක්‍රමය) කරන්න කියලත් කිව්වා. ඔවුන් මම ක්‍රීඩා කරන විදිහෙන් වගේම මම සමරන විදිහෙනුත් විනෝදයක් ලබනවා කියලත් ඔවුන් එහි දී මට කියා සිටියා”  ඔහු තවදුරටත් පැවසීය. 

තවත් කියවන්න;

මෙහි දී Dhawan එම ජනතාව සමඟ කතාබහ කරමින් සහ විනෝද වෙමින් ද කාලය ගතකිරීමට කටයුතු කළ අතර තවදුරටත් ඔවුන්ව ධෛර්යමත් කිරීමට ද ඔහු මෙහි දී අමතක කළේ නැත. අවසාන වශයෙන් Dhawan ඔවුන් සමඟ ඡායාරූප ලබාගැනීමට ද කටයුතු කරනු ලැබීය. 

අවසාන වශයෙන් ඔහු මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේ ඔහු පරිත්‍යාග කළ ක්‍රිකට් කට්ටල හරහා එම දරුවන් හට ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට මෙන්ම වඩාත් හොඳින් පුහුණුවීම් කටයුතු වල නිරත වීමටත් මගපෑදෙනු ඇති බවට ඔහු විශ්වාස කරන බවයි. 

“ඔවුන්ට ජීවිතයෙන් ඉදිරියට යන්න පුළුවන් දිශාවන් ගැන අපි කියලා දිය යුතුයි. ඒ අනුව ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන එක ගොඩක් වැදගත්. ක්‍රිකට් ක්‍රීඩාව හරහා ඒ මුළු සමාජය ම එකමුතු කෙරෙනවා. ඒ හරහා එකිනෙකා අතර බැඳීම ඉහළ නැංවෙනවා. මොකද ක්‍රිකට් ක්‍රීඩාව හරහා බෙදාහදා ගැනීම, තමන්ගේ අවස්ථාව එනතුරු බලා සිටීම වගේ දේවල් පුරුදු කෙරෙනවා. මේ වගේ සුළු සුළු දේවල් ජීවිතයට ගොඩක් වැදගත් වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<