“රෙෆාට හොරා කියන්න කලින් Off Side ඉගෙන ගනිමු”

1117

“ඕෆ් සයිඩ්, රෙෆා හොරා“ මේ ශ්‍රී ලංකා රග්බි පිටියේ මෙන්ම පාපන්දු පිටියේ ද ඉතා සුලබ වදනක්. රග්බි ක්‍රීඩාවටත් වඩා මේ “Off Side” නීතිය පාපන්දු ක්‍රීඩාවේ ප්‍රතිඵලයට දැඩි බලපෑමක් ඇති කරනවා. මේ නීතිය පිළිබඳව ඇති නොදැනුවත්කම නිසාම බොහෝ විට විනිසුරු ප්‍රේක්ෂකයින්ගෙන් බැනුම් අසන අතරම විවිධ ගැටුම් ද මේ නිසා ඇතිවෙනවා. ඇත්තෙන්ම පාපන්දු ක්‍රීඩාවේ Off Side නීතිය පිළිබඳ ඔබ දැනුවත් ද?

ඩයලොග් ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 13 වැනි සති අන්තය උණුසුම් ලෙස අවසන් වූයේ මේ හා සම්බන්ධ සිදුවීමක් සමඟින්. සුපර් සන් ක්‍රීඩා සමාජය හා රිනවුන් ක්‍රීඩා සමාජය අතර තරගය අතහැර දැමීමට වුණේ ගෝලය ලබා දුන් කණ්ඩායම ප්‍රතිවාදී ක්‍රීඩකයා Off Side ස්ථානයක සිට ප්‍රහාරය එල්ල කළ බවට විරෝධය පළ කර පිටියෙන් ඉවත් විමත් සමඟයි.

දෙවැනි අර්ධයේ ප්‍රහාරයෙන් ජයග්‍රහණය කොළඹට

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන සතියේ තරගයක් ලෙස පැවති නේවි සී හෝක්ස් ක්‍රීඩා සමාජය…

මෙම සිදුවීම ඇති වුනේ 69 වැනි මිනිත්තුවේ දීයි. දිමුතු ප්‍රියදර්ෂණ සුපර් සන් ගෝල රාමුව දෙසට දිගු පන්දු යොමු කිරීමක් එල්ල කළ අතර දිලිප් පිරිස් Off Side ස්ථානයක රැඳී සිටියේ පන්දුව ලබා ගැනීමේ අරමුණින්. කෙසේ වෙතත් සුපර් සන් ආරක්ෂක වළල්ලට පිටුපසින් සිටි දිලාන් මදුශංක දිගු දුරක් ධාවනයේ දී සුපර් සන් Off Side ආරක්ෂක උගුල බිඳ දැමූ අතර දුලීප් අසලින්ම ගිය පන්දුව ඔහු විසින් ලබා ගන්නා ලදි.

දිලාන් පන්දුව ලබා ගන්නා අවස්ථාවේ දී ද දුලීප් සිටියේ Off Side අවස්ථාවකයි. දිලාන් පන්දුව සමඟ සුපර් සන් ගෝලය දෙසට ඇදුණේ ගෝලයක් බලාපොරොත්තුවෙන්.

කෙසේ වෙතත් සුපර් සන් ආරක්ෂක ක්‍රීඩකයා දිලාන්ගේ උත්සාහක වැළැක්වීමට සමත් වූ අතර ඔහුගේ වැදී පන්දුව කෙළින්ම පැමිණියේ දිලීප් පිරිස් වෙතටයි. විශේෂම කරුණ නම් දිලීප් ඒ වන විට සිටියේ On Side අවස්ථාවක් හෙවත් නීත්‍යානුකූල අවස්ථාවකයි. දිලීප් තෙවන රිනවුන් ගෝලය වාර්තා කළේ සුපර් සන් ක්‍රීඩකයින්ගේ දැඩි විරෝධය මධ්‍යයේයි.

විනිසුරු හා සහය විනිසුරුවරුන් රැස්වුණේ ගෝලය පිළිබඳ අවසන් තීරණයක් ලබා දීමේ අරමුණින්. ඒ අනුව දිලිප් පීරිස් පළමු පන්දු යොමු කිරීමේ දී “ක්‍රීඩාවට සහභාගී නොවූ “ හෙවත් පන්දුවට බලපෑමක් නොකළ බව සලකමින් රිනවුන් කණ්ඩායමේ ගෝලය ස්ථිර කිරීමට ඔවුන් තීරණය කරන ලදි. ඒ සමඟම සුපර් සන් ක්‍රීඩකයින් ප්‍රබල විරෝධයක් දැක්වූයේ විනිසුරුවරුන් වට කර ගනිමින්.

ඉන්පසුව කණ්ඩායමේ කළමනාකාරිත්වය හා විනිසුරුවරුන් අතර බහින්බස් වීමක් ඇතිවූ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන්ට හා ආරක්ෂක නිලධාරීන්ට, ඇති වූ උණුසුම් තත්වය මධ්‍යයේ විනිසුරුවරුන් ආරක්ෂා කිරීමට ද සිදු විය.

සුපර් සන් කළමනාකාරිත්වය පවසා සිටියේ ඔවුන්ට තරගය දිගටම පවත්වා ගෙන යෑමට උවමනාවක් නොමැති බවයි. තරගය නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් කොතෙක් උත්සහ දැරුවත් ඔවුන්ගේ එම උත්සාහක ගඟට කැපූ ඉනි බවට පත් කරමින් තරගය අතහැර දමන්නට සිදු විය.

Video – “Final එකක් ආවොත් මම අනිවාර්ය‍යෙන් goal ගහනවා” – අසිකූර්

2018 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන තරගය ලෙස පැවති ඩිෆෙන්ඩර්ස්…

මේ මෙවන් සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව නොවන අතර පාසල් තරගවල පවා මෙම Off Side නීතිය පිළිබඳව නොදැනුවත්කම නිසා ගැටලු රැසක් ඇතිවෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හරිහැටි නොදන්නා පාපන්දු නීති පොතේ 11 වන නීතිය හෙවත් Off Side නීතිය ThePapare.com ඔබට කියා දෙන්නට සිතුවා.

පාපන්දු ක්‍රීඩාව සඳහා නීති රීති නිර්මාණය කරන්නේ හා වැඩි දියුණු කරන්නේ ජාත්‍යන්තර පාපන්දු සංගම් මණ්ඩලයයි (International Football Association Board). එම මණ්ඩලය නිර්මාණය වී ඇත්තේ පාර්ශව පහක සහභාගීත්වයෙන්. එංගලන්ත පාපන්දු සංගමය, වේල්ස් පාපන්දු සංගමය, ස්කොට්ලන්ත පාපන්දු සංගමය, උතුරු අයර්ලන්ත පාපන්දු සංගමය හා FIFA එම පාර්ශව පහයි.

ජාත්‍යන්තර පාපන්දු සංගම් මණ්ඩලයේ නීති රීති මාලාවේ Off Side නීතිය සඳහන් වන්නේ මෙසේයි

ක්‍රීඩකයෙක් Off Side ස්ථානයක සිටින අවස්ථා,

  • ක්‍රීඩකයෙකුගේ හිස, ඇඟ හෝ පාද ප්‍රතිවාදීන්ගේ අර්ධයේ තිබීම. (any part of the head, body or feet is in the opponents’ half (excluding the halfway line) and) – මෙහි දී ප්‍රතිවාදී අර්ධය යනු පිටියේ මධ්‍ය රේඛාවෙන් බෙදෙන අර්ධය නොවේ.
  • ක්‍රීඩකයෙකුගේ හිස, ඇඟ, හෝ පාද අවසන් ප්‍රතිවාදියාට පෙර ප්‍රතිවාදියාට වඩා ප්‍රතිවාදී ගෝල සීමාවට ආසන්න වීම. (any part of the head, body or feet is nearer to the opponents’ goal line than both the ball and the second-last opponent.  The hands and arms of all players, including the goalkeepers, are not considered.)

මේ අවස්ථා දෙකේ දී ම ක්‍රීඩකයින්ගේ අත් හා ගෝල රකින්නන්ගේ අත් පිහිටන ස්ථානය සැලකිල්ලට ගන්නේ නැත.

ක්‍රිස්ටල් පැලස්, බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයෙන් සමාව ඉල්ලයි

පසුගිය දා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී ඇතිවූ සිදුවීම් මාලාවකට ගම්පොල ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම කළමනාකරු හිල්මි සලීම් මහතා…

ක්‍රීඩකයෙකු පහත අවස්ථාව ලදී Off Side අවස්ථාවල නැතැයි සැලකේ,

  • අවසන් ප්‍රතිවාදියාට පළමු ප්‍රතිවාදියාට සම මට්ටමේ සිටීම (second-last opponent)
  • අවසන් ප්‍රතිවාදීන් දෙදෙනාට සම මට්ටමේ සිටීම (last two opponents)

සිය කණ්ඩායමේ ක්‍රීඩකයෙකු විසින් පන්දුව ස්පර්ශ කරන අවස්ථාවේ යම් ක්‍රීඩකයෙකු Off Side ස්ථානයක සිටීම වැරැද්දක් වනුයේ පහත අවස්ථාවල ඔහු සක්‍රීයව ක්‍රීඩාවට සහභාගී වීමෙන් පමණි.

  • සිය කණ්ඩයමේ ක්‍රීඩකයෙකු යොමු කළ හෝ ස්පර්ශ කළ පන්දුවක් තමන් ද ස්පර්ශ කිරීම (interfering with play by playing or touching a ball passed or touched by a team-mate )
  • ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට පන්දුව ලබා ගැනීමට/ ක්‍රීඩා කිරීමට ඇති අවස්ථාව අහිමි කරමින් පැහැදිලි ලෙස බාධා කිරීම (preventing an opponent from playing or being able to play the ball by clearly obstructing the opponent’s line of vision)
  • පැහැදිලිවම ප්‍රතිවාදියෙකුට ආසන්නයේ ඇති පන්දුව ක්‍රීඩා කිරීම නිසා ප්‍රතිවාදීන්ට ක්‍රීඩා කිරීමට ඇති අවකාශය අවහිර වීම/ ක්‍රීඩාවට බාධා වීම (clearly attempting to play a ball which is close to him when this action impacts on an opponent)
  • ප්‍රතිවාදියාට පන්දුවට ක්‍රීඩා කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීමට පැහැදිලි ලෙස බාධා කිරීම (making an obvious action which clearly impacts on the ability of an opponent to play the ball )
  • Off Side අවස්ථාවක සිට ගෝල රාමුවේ, විනිසුරුගේ හෝ ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ වැදී එන පන්දුව යළි ක්‍රීඩා කිරීම (rebounded or been deflected off the goalpost, crossbar, match official or an opponent)
  • Off Side ස්ථානයට සිටින ක්‍රීඩකයෙකු පන්දුව ස්පර්ශ කිරීමේ අරමුණින් පන්දුව දෙසට ගමන් කිරීමේ දී ඔහු පන්දුව ළඟා වීමට පෙර ප්‍රතිවාදියෙකු විසින් ඔහුට නීති විරෝධී ලෙස බාධා කිරීම යන අවස්ථාවේ දී Off Side වරදට පෙර නීති විරෝධී බාධා කිරීමට දඬුවම් පහර ලබා දෙනු ලැබේ. (a player in an offside position is moving towards the ball with the intention of playing the ball and is fouled before playing or attempting to play the ball, or challenging an opponent for the ball, the foul is penalized as it has occurred before the offside offence)
  • Off Side අවස්ථාවක සිට ක්‍රීඩකයෙකු පන්දුව ලබා ගත් හෝ පන්දුව ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවක නීති විරෝධී බාධා කිරීමක් සිදු වුවහොත් Off Side වරද පළමුව සිදුවීම නිසා එම වරදට දඬුවම් පහර ලබා දෙනු ලැබේ. (an offence is committed against a player in an offside position who is already playing or attempting to play the ball, or challenging an opponent for the ball, the offside offence is penalized as it has occurred before the foul challenge)

කිසි ලෙසකටවත් Off Side වරදක් විය නොහැකි අවස්ථා.

  • ක්‍රීඩකයින් සිය අර්ධයේ දී Off Side වරදකට හසු විය නොහැක.
  • පන්දුව පිටියට විසි කිරීම, කෝනර් අවස්ථාවක දී හා ගෝල රකින්නා පන්දුවට පා පහර දීමේ අවස්ථාවක දී. (goal kick)
  • ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු විසින් පන්දුව සිතා මතා ක්‍රීඩා කරන අවස්ථාවක දී ආක්‍රමණශීලී ක්‍රීඩකයෙකු Off Side ස්ථානයක සිටිය නොහැක. (If the ball is deliberately played by a member of the opposing team, an attacker cannot be offside)
  • යම් ක්‍රීඩකයෙකු ප්‍රතිවාදී කණ්ඩායමේ ගෝල සීමාවට එපිටින් සිටී නම් (ගෝල රාමුවට පිටුපසින්) ගෝල සීමාව Off Side රේඛාව ලෙස සලකයි, විනිසුරුගේ අවසරයකින් තොරව පිටියේ සීමාවෙන් ඉවතට ගමන් කිරීම වරදක් වුවත් ක්‍රීඩාව පවත්වා ගෙන යාම සඳහා එසේ කිරීමට ගැටලුවක් නැත. (A player who is behind the other team’s goal line is considered to be on the goal line for the purposes of offside. It is an offence to leave or re-enter the field of play without permission but not if it is part of a natural playing movement)
  • ක්‍රීඩකයෙකු, පන්දුව ක්‍රීඩා කරද්දී එම ස්ථානයට පසුපසින් සිටී නම් ඔහු හෝ ඇය කෙසේ වත් off Side වරදට හසු විය නොහැක (If the player is behind the ball when it is played, he or she cannot be offside.)
  • යම් ආක්‍රමණශීලී ක්‍රීඩකයෙකු, දෙවැනියට අවසාන ආරක්ෂක ක්‍රීඩකයාට සම මට්ටමේ සිටියි නම් ඔහු Off Side අවස්ථාවක හසු විය නොහැක. (An attacker who is exactly in line with the 2nd last defender or the ball is not considered to be offside)
  • ක්‍රීඩකයෙකු Off Side ස්ථානයට සිටියත් ඔහු ක්‍රීඩාවට සම්බන්ධ නොවේ නම් ඔහු Off Side වරදට හසු නොවේ.

නව වෙනස්කම්වලට අනුව;

යම් ක්‍රීඩකයෙකු Off Side ස්ථානයක සිට On Side ස්ථානයකට පැමිණ ක්‍රීඩාවට එකතු වන අවස්ථාවක දී, ඔහු පන්දුවට ළඟා වීමට පෙර වෙනත් ක්‍රීඩකයෙකු පන්දුව හා ක්‍රීඩා නොකරයි නම් ඔහු Off Side වරදට හසුවේ.

මෙම නව නීති ඉතා සංකීර්ණ බැවින් නිසා බොහෝ ක්‍රීඩකයින්, ප්‍රේක්ෂකයින් මෙන්ම ඇතැම් පුහුණුකරුවන්ට ද මේවා නිසි ලෙස අවබෝධ කර ගැනීම ඉතා අපහසු වීම ගැටලු රැසකට මුල් වී තිබේ.

මෙම නව නීතිය ස්ථාපිත කළේ වරින් වර බාධා කිරීමෙන් තොරව ක්‍රීඩාව ඉදිරියටම පවත්වා ගෙන යාමටය. ඒ අනුව Off Side ස්ථානයක සිටින ක්‍රීඩකයෙකු දෙසට පන්දුව යොමු වුනත් ඔහු පන්දුවට ක්‍රීඩා කිරීමට උත්සහ නොකරන තාක් Off Side වරදට හසු නොවේ.

ලා ලීගා හා Serie A තරගාවලිවල දී VAR තාක්ෂණය භාවිතා වන්නේ වඩාත් නිවැරදි තීරණ ලබා දීමටයි. එංගලන්ත FA කුසලාන පාපන්දු තරගාවලියේ දී ද මේ වන විට VAR තාක්ෂණය භාවිතා වන අතර නිමා වූ ලෝක කුසලානයේ දී VAR තාක්ෂණය වඩා කතාබහට ලක්වූයේ තරගාවලිය පුරා වාර්තාගත දඬුවම් පහර ප්‍රමාණයක් කණ්ඩායම්වලට හිමි වීම නිසයි. කෙසේ වෙතත් Off Side සිදුවීමක් පමණක් පරික්ෂා කිරීම සඳහා VAR තාක්ෂණය භාවිතා කළ නොහැක.

VAR භාවිතා කළ හැකි අවස්ථා ත්‍රිත්වයකි.

  • ගෝලයක් වාර්තා වූ අවස්ථාවක්
  • දඬුවම් පහරක් ලබා දුන් අවස්ථාවක් හෝ ඉල්ලීමක් කළ අවස්ථාවක්
  • ක්‍රීඩකයෙකු/ සිදුවීමක් වරදවා හඳුනා ගත් අවස්ථාවක්.

යම් කණ්ඩායමක් ගෝලයක් වාර්තා කළ අවස්ථාවක දී VAR කණ්ඩායමට Off Side අවස්ථාවක් පිළිබඳ සැක සහිත තත්වයක් තිබේ නම් ප්‍රධාන විනිසුරු හරහා එම ගෝලය නැවත විමසා බැලිය හැකියි. මේ සඳහා ක්‍රීඩා පිටිය ආසන්නයේ විශේෂිත විද්‍යුත් දර්ශන තිරයක් සකසා තිබේ. අවසන් තීරණය ලබා දෙන්නේ ප්‍රධාන විනිසුරු බැවින් ඇතැම් අවස්ථාවල දී මේ පියවර නිසා ද යම් යම් ගැටලු ඇති වී තිබේ.

අධික වියදමක් වැය වන VAR තාක්ෂණය මෙරට පාපන්දු පිටියේ භාවිතා කිරීම එතරම් ප්‍රායෝගික නැත. කෙසේ වෙතත් ප්‍රේක්ෂකයින්, පුහුණුකරුවන් මෙන්ම විනිසුරුවරුන් ද නිසි ලෙස නීතිරීති පිළිබඳ අවබෝධයකින් තරගය නරඹන්නේ නම් ක්‍රීඩාවට නුසුදුසු සිදුවීම් රැසකින් දේශීය පාපන්දු පිටියට හානි වීම නවතිනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<