චාමරටත් මිල්කාටත් ඔලිම්පික්වල ලොකු වගකීමක්

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල - 2020

272

ජපානයේ ටෝකියෝ නුවර දී මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා ධජය ගෙන යාමේ වගකීම ජූඩෝ ක්‍රීඩක චාමරට නුවන්ට සහ ජිම්නාස්ටික ක්‍රීඩිකා මිල්කා ගෙහානි හට හිමිව ඇත.

මේ පිළිබඳව නිල නිවේදනයක් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව විසින් ඊයේ (06) දින නිකුත් කර තිබුණා.

සිය දෙවැනි ඔලිම්පික් තරගාවලිය ලෙස මෙවර ඔලිම්පික් උළෙල සඳහා තේරී පත්වූ චාමර නුවන් ධර්මවර්ධන ජූඩෝ කිලෝග්‍රෑම් 73 බර පන්තිය යටතේ තරග වැදීමට නියමිතව ඇත. චාමර 2016 ඔලිම්පික් උළෙල ද එම බර පන්තිය යටතේ නියෝජනය කරමින් අවසන් 16 අතරට පිවිසීමට සමත් වුනා.

මෙවර ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන දෙවන ළාබාලතම ක්‍රීඩිකාව වන මිල්කා ගෙහානි Artistic Gymnastics ඉසව්ව යටතේ තරග වැදීමට නියමිතව ඇත.

මීට පෙර ද ජාත්‍යන්තර තලයේ තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කළ මිල්කා 2018 යොවුන් ඔලිම්පික් උළෙලේ දී කලාපීය වාර්තාවක් බිඳ හෙළීමට සමත් වූ අතර ඇය ජපානයේ ටෝකියෝ නුවර වාසය කරමින් පුහුණුවීම් සිදු කරයි.

මෙවර ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගී වීමට නියමිතව ඇති අතර ඔලිම්පික් උළෙල ජූලි 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<