ඕස්ට්‍රේලියාවේ එංගලන්ත සංචාරය තහවුරුයි!

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020

200

2020 ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ එංගලන්ත සංචාරය කොරෝනා වසංගත තත්වය නිසා දින නියමයක් නොමැතිව කල් ගිය නමුත් එම තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිල වශයෙන් තහවුරු කරන ලදි.

එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය පැවැත්වීම කෙරෙහි ඕස්ට්‍රේලියාවේ වැඩි අවධානය යොමු වූයේ එංගලන්තය බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තාන තරගාවලි දෙක සාර්ථක ලෙස සංවිධානය කර තිබීම නිසාවෙනි.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ සහාය පුහුණුකරු වන අන්ඩ්‍රේ මැක්ඩොනල්ඩ් සංචාරයට පැමිණීමට නොහැක. ඒ ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන නිසාවෙනි.

සැප්තැම්බර් 4 වැනිදා ආරම්භ වන විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය 6 වැනිදා පැවැත්වෙන අතර අවසන් තරගය 8 වැනිදා පැවැත්වේ. විස්සයි විස්ස තරග තුනම සවුත් හැම්ටන් හිදී පැවැත්වෙන අතර සැප්තැම්බර් 11, 13 සහ 16 පැවැත්වෙන එක්දින තරග තුන මැන්චෙස්ටර් හිදී පැවැත්වේ. 

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් මේ වන විට බ්‍රිතාන්‍ය රජයේ පවතින කොරෝනා සම්බන්ධ රෙගුලාසිවලට අනුව ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයකින් මහා බ්‍රිතාන්‍යයට ඇතුළු වන පුද්ගලයින් හට නිරෝධායන කාලයක් අනිවාර්ය නොවන නිසා මෙම තරගාවලියට සහභාගී වන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් හට නිරෝධායන කාලයක සිටීම අවශ්‍ය නොවනු ඇත.

අගෝස්තු 24 වැනිදා එංගලන්තයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් අගෝස්තු 27 වැනිදා සිය කණ්ඩායමේම  ක්‍රීඩකයින් සමඟ පුහුණු එක්දින තරගයකට සහභාගී වන අතර අනතුරුව පුහුණු විස්සයි විස්ස තරග තුනකට ද සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටියි.

“මාර්තු මාසෙන් පස්සේ තමයි අපේ ක්‍රිකට් කණ්ඩායම ආයෙත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එන්නේ. බාධා මැද්දේ වුනත් කොහොම හරි සාර්ථකව තරගාවලිය පවත්වන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. අපේ සංචිතය ඉතාමත් ශක්තිමත්. එංගලන්තයට හොඳ අභියෝගයක් දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ලබන අවුරුද්දේ අපිට ලෝක කුසලානයක් තියෙනවා. ඒ වගේම ලබන අවුරුද්දේ අපිට අළුබඳුන ක්‍රිකට් තරගාවලියකුත් තියෙනවා. ඒ වගේම ඉන්දීය සහ දකුණු අප්‍රිකා සංචාර දෙකකුත් තියෙනවා. ඒක නිසා අපිට මේ තරගාවලිය ක්‍රිකට්වලට නැවත පිවිසෙන්න ගොඩක් වැදගත් වෙනවා” යැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ජස්ටින් ලැන්ගර් මහතා පැවසීය.

තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන 21 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ එක්දින සහ විස්සයි විස්ස තරගාවලි දෙකම වෙනුවෙනි.

ඕස්ට්‍රේලියානු සංචිතය – ආරොන් ෆින්ච් (නායක), ෂෝන් ඇබට්, ඇෂ්ටන් ආගාර්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස් (කඩුලු රකින්නා), ජොෂ් හැස්ල්වුඩ්, මාර්නස් ලබුශේන්, නේතන් ලියොන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, රිලී මෙරඩිත්, ජොෂ් පිලිප්, ඩැනියෙල් සැම්ස්, කේන් රිචඩ්සන්, ස්ටීවන් ස්මිත් , මිචෙල් ස්ටාර්ක්, මාකස් ස්ටොයිනිස්, අන්ඩ්‍රේ ටයි, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සැම්පා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<