පාපන්දු ලොව ජයගැනීමට සිය ජීවිතය සමඟ සටන් වදින නෙදර්ලන්ත තරුව

161
Netherlands Football star Abdelhak Nouri awake from coma

මුළු පාපන්දු ලෝකයේම අවධානය දිනාගත් නැගී එන පාපන්දු ක්‍රීඩකයෙකුගේ සිට ජීවිතය සමඟ සටන් වදින කෝමා තත්වයකට පත්වීම දක්වා Abdelhak Nouriගේ ඉරණම සැබවින්ම කණගාටුදායක එකකි. 

ඒ 2017 වසරේ ජූලි මස 08 වන දින යි. යුරෝපය පුරා පාපන්දු සමාජ එළඹෙන තරග වාරයට සූදානම් වීම සඳහා සුපුරුදු පරිදි සුහද තරග පැවැත්වීමට මෙම කාලසීමාව යොදා ගනු ලැබූ අතර ඒ යටතේ පැවති AFC Ajax සහ Werder Bremen අතර තරගය කරට කර තරගයක් විය. එහිදී 72 වන මිනිත්තුවේ දී කවුරුත් නොසිතූ පරිදි Ajax යොවුන් ක්‍රීඩක Abdelhak Nouri ක්‍රීඩාංගණය තුළ බිමට ඇද වැටුනි. 

යුරෝපයේ නැගී එන පාපන්දු ක්‍රීඩකයින් අතර Nouriට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබුනේ ඔහු ඉතා කුඩා වයසක සිටම දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙනි. ඔහු ඒ වන විට නෙදර්ලන්ත ජාතික කනිෂ්ට හා යොවුන් කණ්ඩායම් වෙනුවෙන් සිය දක්ෂතා ප්‍රදර්ශනය කර තිබුනි. බොහෝ විශ්ලේෂකයින් අනාවැකි ද පළකර සිටියේ ඔහු නුදුරු අනාගතයේ දීම පාපන්දු ලොව සිටින දක්ෂතම ක්‍රීඩකයින් අතර සිය ස්ථානය ස්ථාපනය කරගනු නොඅනුමාන බවයි. කෙසේ නමුත් මෙම සිදුවීම හරහා ඔහුගේ පාපන්දු දිවිය එතකින් අවසන් වූවා පමණක් නොව ඔහුට සිය ජීවිතය වෙනුවෙන් ද දැඩි සටනක නිරත වන්නට සිදුවිය. 

AFC Ajax පාපන්දු සමාජය නෙදර්ලන්තයේ ඇති ප්‍රබලතම පාපන්දු සමාජ අතරින් එකකි. ජර්මනියේ Werder Bremen කණ්ඩායමට එරෙහිව පැවති මෙම සුහද තරගය පවත්වනු ලැබුවේ බෙල්ජියමේ Watermaal-Bosvoorde ප්‍රදේශයේ ඇති ‘Drie Lindenstadion ක්‍රීඩාංගණයේ දීය. සුපුරුදු පරිදි කණ්ඩායම් දෙකම හොඳින් ක්‍රීඩා කරමින් හොඳ තරගයක නිරත වූ අතර එහි පළමු අර්ධය අවසන් වන විට Ajax ක්‍රීඩකයින් ගෝල 1 – 0ක් ලෙස පෙරමුණේ පසුවන්නට සමත් විය. 

ඔවුන් දෙවන අර්ධය සඳහා තරගයට පිවිසියේ Hakim Ziyech වෙනුවට ඒ වන විට 19 වන වියේ පසුවූ තරුණ ක්‍රීඩකයෙකු වූ Abdelhak Nouri ආදේශ කරමිනි. ඒ වන විටත් ඉහළ දක්ෂතා අතර සිටි ඔහු මෙම තරගයේ දීද සිය සුපුරුදු පරිදි දක්ෂතා දක්වන්නට සමත් වූ අතර අනෙක් පසින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් ගෝල 2ක් ද රැස්කර ගන්නට සමත් විය. 

Werder Bremen කණ්ඩායමට එරෙහි සුහද තරගයේ දී Nouri ක්‍රීඩා කරමින්.

අනතුරුව තරගයේ 72 වන මිනිත්තුවේ දී සිදුවූයේ කවුරුත් බලාපොරොත්තු නොවූ සිදුවීමකි. තරගය පැවැත්වෙමින් තිබූ අතරතුර Nouri කෙමෙන් කෙමෙන් පිටියට පතිත වන්නට විය. මේ සිදුවීම ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරනු ඇතැයි ඒ මොහොතේ කාටවත්ම හෝ සිතෙන්නට නැතුව ඇත.  

සුළු මොහොතකට අනතුරුව මෙය දුටු තරග විනිසුරුවරයා තරගය නවත්වා වහාම Nouri වෙත පැමිණ පසුව වෛද්‍ය කණ්ඩායම් පිටියට කැඳවන්නට විය. කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් ද මේ වටා රැස් වූ අතර මිනිත්තු 3ක පමණ කාලයක් ඔහුට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මෙය සාමාන්‍ය තත්වයක් නොවන බව වෛද්‍යවරුන්ට වැටහිනි. 

ක්‍රීඩා පිටියේ ඇදවැටුනු Nouri හට වෛද්‍යවරුන් ප්‍රතිකාර කරමින්.

ඒ අනුව ඔහුට එහිදී ‘cardiac arrest’, එසේත් නැත්නම් ‘cardiac arrhythmia attack’ තත්වයක් ඇතිවී ඇති බව වෛද්‍ය කාර්ය මණ්ඩලයට තේරුම් ගියේය. මෙය කෙනෙකුගේ හෘද ස්පන්දනය අක්‍රමවත් වීමත් සමඟ හෘද ක්‍රියාකාරීත්වය බිඳ වැටීම හරහා ඇතිවන තත්වයකි. ඒ අනුව එම ප්‍රදේශයේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ සහයෝගය ද ඇතිව ‘defibrillator’ ආධාරයෙන් නැවතත් ඔහුව සාමාන්‍ය පරිදි හුස්ම වැටෙන තත්වයට ගන්නට සමත් විය. අනතුරුව ඔහුව හෙලිකොප්ටරයක් ආධාරයෙන් වහාම Innsbruck ප්‍රදේශයේ රෝහලක් වෙත රැගෙන යන්නට කටයුතු කෙරිනි. 

එහිදී ‘induced coma’ තත්වයකට ලක්කර සිටි ඔහුට ආරම්භයේ දී මොළය සහ හෘදය ප්‍රදේශ ආශ්‍රිතව සිදුකරන ලද පරීක්‍ෂණ වල සැලකිය යුතු සංකූලතාවයක් නොතිබුනත් දින කිහිපයක් යත්ම පරීක්‍ෂණ වල ප්‍රතිඵල නරක අතට හැරෙන්නට විය. ඒ අනුව පසුව හෙළිවුනේ ඔහුගේ මොළයට මෙම තත්වය හරහා දරුණු මෙන්ම ස්ථිර හානි ද සිදුවී ඇති බවයි. ඒත් සමඟම ඔහු ඉදිරියේ දී සාමාන්‍ය තත්වයට පත්වීමට ඇති අවස්ථා ඉතා අඩු බවත්, කෙදිනකවත් පාපන්දු ක්‍රීඩාවේ යෙදීමට හැකියාවක් නොමැති බවත්  අනාවරණය විය. 

Nouriට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඔහුගේ පවුලට සහය දැක්වීමට ඔවුන්ගේ නිවස ඉදිරිපිට එක්රැස් වූ Amsterdam නුවර ජනතාව.

ඔහු දිගින් දිගට ම ‘coma’ තත්වයේ සිටි අතර එම සිදුවීමට අදාළ පරීක්‍ෂණ කටයුතු ද සිදුවිය. ඒ හරහා හෙළිවූයේ Nouri ක්‍රීඩාංගණයේ ඇදවැටුනු අවස්ථාවේ දී වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔහුට ලබා දුන් ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන බවයි. මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් Ajax පාපන්දු සමාජයේ විධායක අධ්‍යක්ෂ Edwin van der Sar ප්‍රකාශ කර සිටියේ; 

“සිදුකරනු ලැබූ පරීක්‍ෂණ වලින් ලැබුන අලුත් සාක්‍ෂි හරහා හෙළිවෙලා තියෙනවා, Nouri ක්‍රීඩාංගණයේ ඇදවැටුනු අවස්ථාවේ දී ඔහුට ලබා දුන් ප්‍රතිකාර ප්‍රමාණවත් නෑ කියලා. අදාළ වෛද්‍ය කාර්ය මණ්ඩලය හෘද ස්පන්දනය සහ රුධිර වහනය වගේම එය සාමාන්‍ය තත්වයට ගන්න යොදලා තියෙන අවධානය මදි. ඒ වගේම ‘defibrillator’ ඊට කලින් භාවිතා කළ යුතුයි. මේ දේවල් හරියට වුනා නම් Nouri මීට වඩා හොඳ තත්වයකින් මේ සිදුවීමෙන් එළියට එන්න අවස්ථාවක් තිබුනා. ඒක නිශ්චිත නෑ, අවස්ථාවක් විතරයි. නමුත් ඒ අවස්ථාව ඉවත දාන්න අපි සූදානම් නැහැ. ඒ නිසා මේ සිදුවීමට අදාළ සම්පූර්ණ වගකීම වගේම ප්‍රතිඵලත් අපි භාර ගන්නවා.”

UEFA (Union of European Football Associations) විසින් නිකුත් කර ඇති නිර්දේශයන් වලට අනුව ද මෙවන් අවස්ථාවක දී ‘cardiac arrest’ තත්වයක් පළමුව වෛද්‍යවරුන් විසින් උපකල්පනය කර ඊට ප්‍රතිකාර කළ යුතුව තිබුන ද මෙහිදී වෛද්‍යවරුන් විසින් ඊට පිටතින් කටයුතු කර ඇත. ඒ අනුව ඒ වන විට Ajax හි ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ Don de Winter එම ධූරයෙන් පහකිරීමට ද කටයුතු කෙරිනි. 

තවද එම තරගයට පෙර ඔහු උදරය ප්‍රදේශයේ ඇති වේදනාවක් පිළිබඳව ද පැමිණිලි කර ඇති අතර ඊට පෙර දිනයේ දී ඔහුට නිදාගැනීමට ද අපහසු වී ඇත. එදින කාලගුණ තත්වය දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන ඇති අතර ඔහුව එම තරගයට ඇතුළත් කර තිබුනේ ද මේ  සියල්ල මධ්‍යයේය. 

තවද 2014 වසරේ අප්‍රේල් මාසයේ දී Ajax වෛද්‍යවරුන් විසින් ක්‍රීඩකයින්ගේ සිදුකරනු ලැබූ සාමාන්‍ය පරීක්‍ෂණ කිහිපයක් හරහා ඔහුගේ හෘදයේ සුළු ගැටළුවක් ඇති බව අනාවරණය වී ඇතත් ඔවුන් එය අනතුරුදායක නොවන තත්වයක් බව නිගමනය කර ඇත. පසුව හෙළිවූයේ මෙම තත්වය පිළිබඳව ඔහුගේ දෙමාපියන් දැනුවත් කිරීමට පාපන්දු සමාජය විසින් කිසිඳු පියවරක් ගෙන නොමැති බවත්, එය එම අනතුරෙන් පසුව ඔහුගේ වෛද්‍ය පරීක්‍ෂණ වලට අදාළ ලිපිලේඛන පරීක්‍ෂා කිරීමේ දී පමණක් ඔවුන් දැනගත් බවත්ය. 

Nouriට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින්.

මේ අනුව ඔහුගේ ප්‍රතිකාර සඳහා වැයවන මුදල් පාපන්දු සමාජය විසින් දැරුවත් මෙම සිදුවීමට අදාළ වන්දි මුදල් ලබා ගැනීමේ කටයුතු තරමක් අසීරු වී ඇති බව Nouriගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ John Beer පවසා සිටියි. 

“වන්දි මුදල් ලබා ගැනීමට අදාළව යන සාකච්ඡා ලේසි නැහැ. Nouriගේ පවුලේ සාමාජිකයින්ට නිසි පරිදි වන්දි මුදල් ලබා දීම සිදුවෙන්නේ නෑ කියලා කියන්න පුළුවන්. මොන අවස්ථාවක දී හරි අපිට මේ ගැටළුව අධිකරණයක් හෝ බේරුම්කරණ කමිටුවක් වෙත රැගෙන යන්න වෙයි.” 

කුඩාකල සිටම මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස ඉහළ දක්ෂතා දැක්වූ ඔහු, වයස අවුරුදු 18ක් තරම් තරුණ වයසක දී Ajax කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගය ක්‍රීඩා කිරීමට වරම් ලැබූ අතර මෙම අනතුර වන විට ඔවුන් වෙනුවෙන් ඔහු ක්‍රීඩා කර තිබූ නිල තරග සංඛ්‍යාව 9කි. එමෙන්ම ඒ වන විට ඔහු එහි පළමු පෙළ කණ්ඩායමේ සිය ස්ථානය ස්ථාපිත කර ගනිමින් සිටි අතර Manchester United සහ Arsenal වැනි ප්‍රබල ක්‍රීඩා සමාජවල අවධානය ද ඒ වන විට ඔහු වෙත යොමුව තිබුනි. ඊට අමතරව ඔහු වයස අවුරුදු 16න් පහළ, 17න් පහළ, 18න් පහළ හා 19න් පහළ නෙදර්ලන්ත ජාතික පාපන්දු කණ්ඩායම් ද නියෝජනය කරමින් ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. 

Nouri නෙදර්ලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරමින්.

මෙම දක්ෂතා හමුවේ ඔහු පුහුණුකරුවන්ගේ, පාපන්දු විශ්ලේෂකයින්ගේ මෙන්ම පාපන්දු ලෝලීන්ගේ ද දැඩි පැසසුමට ලක්වන්නට වූ අතර 2016 වසරේ දී ‘Sportsmail’ වෙබ් අඩවිය විසින් පළ කෙරුනු ලෝක පාපන්දුවේ දක්ෂතම යොවුන් ක්‍රීඩකයින් 10 දෙනාගේ ලැයිස්තුවට ද ඔහුගේ නම ඇතුළත්ව තිබුනි. ඔහු Ajax පාපන්දු සමාජය නියෝජනය කරමින් 2016-17 තරගවාරයේ UEFA Europa League තරගාවලියේ අනුශූරතාවයත්, එම තරගවාරයේම නෙදර්ලන්තයේ දෙවන කාණ්ඩයේ පාපන්දු ලීගය වන Eerste Divisie තරගවාරයේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය සහ 2014 වසරේ AEGON Future Cup තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයත් දිනා ගන්නට සමත් විය. තවද 2016 වසරේ වයස අවුරුදු 19න් පහළ UEFA යුරෝපා කුසලාන තරගාවලියේ ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමට ද මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ නම ඇතුළත් විය. 

අනෙක් පසින් ඔහු අනෙක් ක්‍රීඩකයින්ගේ දැඩි පැසසුමට මෙන්ම ඔවුන්ගේ ආදරය ද දිනා සිටියේය. සෙසු ක්‍රීඩකයින් ඔහුව හැඳින්වූයේ ‘Appie’ යන අනුවර්ත නාමයෙනි. ඔහු පිළිබඳව අදහස් දක්වමින් ඔහුත් සමඟ Ajax කණ්ඩායමේ ක්‍රීඩාකළ ඔහුගේ හොඳම මිතුරෙකු වූ, මේ වන විට Barcelona කණ්ඩායම නියෝජනය කරන සුපිරි මැදපෙළ ක්‍රීඩක Frenkie De Jong ප්‍රකාශ කර සිටියේ ඔහු ඉදිරියේ දී ක්‍රීඩාකළ යුතු පාපන්දු සමාජය තෝරාගත නොහැකිව සිටි මොහොතක Nouriගේ අදහස් Barcelona කණ්ඩායම ඔහුට තෝරාගැනීමට බෙහෙවින් ඉවහල් වූ බවයි. 

“මම ඔහු සමඟ පසුගිය ග්‍රීෂ්ම සෘතුවේ ගොඩක් කතා කළා. මම ඔහු ළඟ දවසක් වාඩි වුනාම ඔහුගේ අම්මා ළඟට ඇවිත් ඔහුගෙන් ඇහුවා ‘Appie, Frenkie මොන පාපන්දු සමාජයට ද යන්න ඕනේ? Barcelona?’ කියලා. ඒක ඇය අහපු ගමන් ඔහුගේ ඇහිබැමි සතුටින් ඉහළ ගියා. ඒක මගේ ජීවිතයේ ගොඩක් විශේෂ අවස්ථාවක්.” 

Nouri සහ Frenkie De Jong.

ඔහු පිළිබඳව අදහස් දක්වමින් හිටපු නෙදර්ලන්ත ක්‍රීඩක මෙන්ම Ajax යොවුන් ක්‍රීඩකයින් භාරව කටයුතු කරන Wim Jonk ප්‍රකාශ කර සිටියේ; 

“ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔබ කවදා හරි Ajax තරගයක් බැලුවා නම් තේරෙන්න ඇති හැමෝම කතා කරන්නේ Appie ගැන. මොකද ඔහුගේ හැකියාවන් අනෙක් සෑම ක්‍රීඩකයෙක්ට ම වඩා වෙනස්.” 

ඔහුට සිදුවූ මෙම අනතුරෙන් පසුව ඔහුට ගෞරව කිරීමක් ලෙස Ajax කණ්ඩායමේ ඔහු සමඟ ක්‍රීඩාකළ, මේ වන විට ඉතාලියේ AS Roma පාපන්දු සමාජය නියෝජනය කරන Justin Kluivert විසින් අංක 34 තෝරාගනු ලැබුවේ Nouriගේ ‘Jersey’ අංකය වූ 34 සිහිපත් කිරීම උදෙසා යි. 

“මම ක්‍රීඩා කරන්නේ අංක 34 මගේ ‘Jersey’ එකේ පිටුපස තියාගෙන. ඒ මගේ යාළුවා වෙනුවෙන්. ඒක මේ සිදුවීම සම්බන්ධයෙන් අපිට දැනෙන දේ, ඔහුට ඇති ගෞරවය වගේම ආදරය පෙන්නන විදිහක්. Appie හරිම ආචාරසම්පන්න, ගෞරව සහිත, පාපන්දු ක්‍රීඩාවට සම්පූර්ණයෙන්ම ආදරය කරපු පුද්ගලයෙක්. ඉතින් කවුරුහරි කෙනෙක් ඒ වගේ විශේෂ වුනාම අපිට කවදාවත් ඔහුව අමතක වෙන්නේ නැහැ.” 

Kluivert විසින් Nouriට ගෞරව එක්කරමින්.

Appie සමඟ ක්‍රීඩාකළ තවත් ක්‍රීඩකයෙකු වූ Van de Beek විසින් පසුගිය වසරේ UEFA Champions League තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දෙවන අදියරේ තරගයේ දී ගෝලයක් වාර්තා කරගනු ලැබූ අතර එහිදී ඔහු ඔහුගේ ‘Jersey’ ඒක පසුපස අංකය පෙන්වමින් Nouri හට ආචාර කරන්නට ද විය. 

“මම ‘screen’ එක දිහා බැලුවම දැක්කා මගේ ගෝලය වාර්තා වෙලා තියෙන්නේ 34 වන මිනිත්තුවේ දී කියලා. ඒ ඔහු විය යුතුම යි කියලා මට හිතුනා එවෙලේ.”

Ajax කණ්ඩායමේ ඔහු සමඟ ක්‍රීඩාකළ ඔහුගේ තවත් හොඳ මිතුරෙකු වූ Timothy FosuMensah ඔහු පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඔහු ඉතා විශිෂ්ට ගණයේ ක්‍රීඩකයෙකු වන බවයි. 

“ඔහු හොඳ මිතුරෙක්. ඇත්තටම අපි හැමෝටම සහෝදරයෙක් වගේ. අපි පොඩි වයසේ ඉන්න කොට තරගාවලි ගොඩක් තිබුනේ වෙනත් රටවල් වල. ඒ හැම තරගාවලියකම වගේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ Appie. ඔහු කණ්ඩායමේ ඉඳපු හොඳම ක්‍රීඩකයා, නැත්නම් හොඳම ක්‍රීඩකයින් අතරින් කෙනෙක්.” 

තවදුරටත් ඔහු සමඟින් ක්‍රීඩාකළ ක්‍රීඩකයින් වූ Philippe Sandler, Amin Younes සහ Kevin Diks නව පාපන්දු සමාජ සමඟ එක්වූ විට Nouriට ගෞරවයක් ලෙස අංක 34 ඔවුන්ගේ ‘Jersey’ අංකය ලෙස තෝරා ගනු ලැබූ අතර ඔහුගේ මිතුරෙකු වූ Barcelona ක්‍රීඩක Ousmane Dembele අනතුර සිදුවූ දින සිට ඔහුට ගෞරවයක් ලෙස ඔහුගේ නම සිය සපත්තුවේ සටහන් කර ගනිමින් ක්‍රීඩා කරනු ලබයි. 

Dembele විසින් Nouriට ගෞරවයක් ලෙස සිය ‘boot’ එකේ ඔහුගේ නම සඳහන් කරමින්.

ඊට අමතරව ලොවපුරා පාපන්දු ක්‍රීඩකයින්, කණ්ඩායම් මෙන්ම පාපන්දු ලෝලීන් ද මෙම සිදුවීමෙන් අනතුරුව ඔහුට ගෞරවය එක්කරන්නට වූ අතර ඒ සියල්ල මධ්‍යයේ Ajax කණ්ඩායම පසුගිය තරග වාරයේ දී ඔවුන්ගේ 34 වන ලීග් කිරුළ ජයග්‍රහණය කරනු ලැබීය. 

Ajax තරගයක් අතරතුර Nouriට ගෞරවය එක්කළ Ajax ක්‍රීඩා ලෝලීන්.

එහිදී එම කුසලානය පිරිනැමීමේ උත්සවය සඳහා Nouriගේ පියාට සහ සහෝදරයාට ආරාධනා කර තිබූ අතර එම ශූරතාවය ඔහු වෙනුවෙන් පිරිනමන ලදී. මෙහිදී අදහස් දැක්වූ එවිට Ajax නායක Matthijs de Ligt ප්‍රකාශ කර සිටියේ;  

Amsterdam, Ajacieden! අපි මේ කුසලානය Nouri වෙනුවෙන් වෙන්කරනවා, අපේ Abdelhak Nouri වෙනුවෙන්! මේ ඔබ වෙනුවෙන්!” 

34 වන ලීග් කිරුළ ජයග්‍රහණය කළ සැමරුමට Nouriගේ පියා සහ සොහොයුරා එක්වෙමින්.

කෙසේ නමුත් Nouri පසුව 2018 වසරේ අගෝස්තු මාසයේ දී ‘coma’ තත්වයෙන් සුවය ලැබුවත් ඔහුව දිගටම රෝහලේ තබන්නට කටයුතු කෙරුනු අතර ඔහුට නිසිපරිදි සිහිය තිබුනේ ද නැත. 

තවත් කියවන්න;  

නමුත් පසුගිය දිනෙක ඔහුගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් සුබදායක පුවතක් දැනගන්නට ලැබීමත් සමඟ පාපන්දු ලෝලීන් බොහෝ සතුටට පත්විය. ඒ පසුගියදා ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ‘De Wereld Draait Door’ වැඩසටහනට පැමිණ අදහස් පළකරමින් Nouri මේ වන විට රෝහලේ සිට ඔවුන්ගේ නිවසට ගෙනැවිත් ඇති බවත් ඔහු කෙමෙන් කෙමෙන් සුවය ලබමින් සිටින බවත් ප්‍රකාශ කළ පුවතයි. 

“ඔහු ගෙදර ඇවිත් ඉන්නේ ගොඩ කාලයකට පස්සේ. අපි ඔහුව හොඳින් බලා ගන්නවා. ඔහු දැන් ගෙදර ඉන්න නිසා මම හිතනවා ඔහුට ඒක කලින් රෝහලේ හිටියට වඩා හොඳ වෙයි කියලා. ඔහුට තේරෙනවා ඔහු ඉන්නේ ගෙදර සුපුරුදු පරිසරයක ඔහුගේ පවුලේ අයත් එක්ක කියලා. ඒ අනුව ඔහු දැන් කෝමා තත්වයේ නෙමෙයි ඉන්නේ.” 

තවදුරටත් ඔහු මුහුණේ චර්යා හරහා සමහර අවස්ථා වල පවුලේ සාමාජිකයින් සමඟ සන්නිවේදනය කරන බවත්, තවමත් ඔහුට ඇඳෙන් නැගිටීමට හැකියාවක් නොමැති බවත් එහිදී ඔහුගේ සොහොයුරා අනාවරණය කරනු ලැබීය.  

“ඔහුට තාමත් ඇඳෙන් නැගිටින්න හැකියාවක් නෑ. තාම ඔහු දිගටම ඇඳේ ඉන්න නිසා අපි ඔහුට ඔක්කොම වැඩ ටික කරලා දෙන්න ඕනේ. සමහර හොඳින්ම ඉන්න දවස් වලට ඔහු ඇහිබැමි හරහා වගේම පොඩි සිනහවකින් අපිත් සමඟ අදහස් හුවමාරු කරගන්නවා. ඒත් ඔහුට ගොඩක් වෙලා ඒක තියන් ඉන්න තාම අමාරුයි.” 

තවත් විශේෂාංග ලිපි;

එමෙන්ම ඔහු පාපන්දු තරග ද දැඩි සතුටකින් නරඹන බව ඔහු පැවසීය. 

“අපි ඔහුට කතා කරනවා ඔහු අසනීපයෙන් නෙමෙයි ඉන්නේ වගේ. අපි අපේ කතාබහ වලට ඔහුව පුළුවන් විදිහට හවුල් කරගන්නවා. ඒ වගේම අපි සාලයේ පාපන්දු තරග නරඹනවා. ඒකෙන් ඔහු ලොකු සතුටක් ලබන බව ඔහුගේ මුහුණෙන් අපිට පේනවා.” 

කෙසේ නමුත් ඔහුට ඉදිරියේ දී පාපන්දු ක්‍රීඩා කිරීමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශ වීමත් සමඟ මේ වන විට ඔහු වෘත්තීය පාපන්දු දිවියෙන් විශ්‍රාම ගන්වා අවසන් ය. එමෙන්ම ඔහු මේ තත්වයෙන් සම්පූර්ණ සුවය ලබන අවස්ථා ඉතා අවම බව වෛද්‍ය මතය වුවත් ඔහුගේ පවුලේ සාමාජිකයින් දැඩි විශ්වාසයකින් පසුවන්නේ නුදුරු අනාගතයේ දීම ඔහුට මෙම තත්වයෙන් සම්පූර්ණ සුවය ලැබීමට හැකිවනු ඇති බවයි. ඒ අනුව ඔහු සම්පූර්ණ සුවය ලබා නැවතත් පාපන්දු පිටියට පිවිසෙනු දැකීමට ඔහුගේ පාපන්දු සඟයින් මෙන්ම ලොව පුරා පාපන්දු ලෝලීන් ද ප්‍රාර්ථනා කරනු ඇති බව නම් නොඅනුමානය. 

#StayStrongAppie 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<