Ronaldoව පෙන්නන්න බැරි ක්‍රීඩකයන් පස්දෙනෙක්

218
Players Who Hate Ronaldo

Cristiano Ronaldo මේ වන විට පාපන්දු ක්‍රීඩාවේ නිරත වන විශිෂ්ටතම ක්‍රීඩකයින් අතරින් කෙනෙකු බව ඔහු වසර ගණනාවක් පුරාවට අඛණ්ඩව දැක්වූ දක්‍ෂතා හරහා ලොවට විදහා දක්වා ඇත. 

වෙනත් පාපන්දු ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, විශ්ලේෂකයින් මෙන්ම පාපන්දු ලෝලීන් ද රැසක් ඔහු මේ වන විට පාපන්දු ක්‍රීඩාවේ නිරත වන දක්ෂතම ක්‍රීඩකයා ලෙස හඳුන්වන විට පාපන්දු ඉතිහාසය තුළ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයින් අතළොස්ස අතරට ඔහු අයත් වන බවට ද මත ඉදිරිපත් වී ඇත. UEFA Champions League ශූරතා 5ක්, පෘතුගාල ජාතික කණ්ඩායමට නායකත්වය දෙමින් ඔවුන් සමඟ UEFA යුරෝපා කුසලානයක් සහ UEFA Nations League කුසලානයක්, වසරේ හොඳම ක්‍රීඩකයාට පිරිනැමෙන Ballon dOr සම්මාන 5ක් සහ තවත් වසර ගණනාවක දී ඔහු ක්‍රීඩා කළ ලීග් තරගාවලි වල ශූරතාවයත් ඇතුළු තවත් කණ්ඩායම් හා තනි සම්මාන රැසක් ඔහු දිනා ගැනීමට ද සමත්ව ඇත්තේ ඔහු පිළිබඳව ඉදිරිපත් වී ඇති මත සනාථ කරමිනි. 

තවදුරටත් Manchester United කණ්ඩායම සමඟ එංගලන්තයේ Premier League, Real Madrid කණ්ඩායම සමඟ ස්පාඥ්ඥයේ La Liga සහ Juventus කණ්ඩායම සමඟ ඉතාලියේ Serie A යන සෑම ලීග් තරගාවලියකම විශිෂ්ට දක්ෂතා දක්වමින් එම සෑම ලීග් කිරුළක්ම දිනා තිබීම ඔහුගේ විශේෂත්වයකි. මේ වන විට තම පාපන්දු දිවිය තුළ සමස්ත ගෝල 725ක් වාර්තා කර ගෙන ඇති ඔහු, යුරෝපයේ සාර්ථකම පාපන්දු සමාජයක් වන Real Madrid කණ්ඩායමේ වැඩිම ගෝල ලාභියාට හිමි වාර්තාව ද තමන් සතුකර ගෙන සිටින්නේ ඔවුන් වෙනුවෙන් තරග 438ක දී ගෝල 450ක් වාර්තා කර ගනිමිනි

ස්වභාවයෙන්ම පිටිය තුළ දැඩි තරගකාරී ස්වරූපයක් පෙන්නුම් කරන ඔහු සමහර අවස්ථා වලදී තරමක් කලහකාරී විය හැකි අතර තවදුරටත් තරග අතරතුර ‘dive’ කිරීමට අදාළව ඔහුට නිරන්තර චෝදනා එල්ල වී ඇත. ඒ අනුව විවිධ හේතූන් මත Ronaldoට අකමැති ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම හඳුනාගත හැකි අතර මේ එවන් ක්‍රීඩකයින් 5 දෙනෙකු පිළිබඳව කෙරුනු සොයා බැලීමකි. 

5. Jorge Resurreccion Merodio (Koke)

Ronaldoට අකමැති ක්‍රීඩකයින් අතර ස්පාඥ්ඥ මැදපෙළ ක්‍රීඩක Kokeට විශේෂ තැනක් හිමි වේ. Koke තම වෘත්තීය පාපන්දු දිවිය පුරාවට Atletico Madrid කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර අනෙක් පසින් Ronaldo වසර 9ක කාලයක් පුරාවට නියෝජනය කරනු ලැබුවේ Real Madrid කණ්ඩායම යි. ස්පාඥ්ඥයේ Madrid අගනුවර කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කර ඇති මෙම පාපන්දු සමාජ දෙක අතර පැවැත්වෙන තරග ‘Madrid Derby’ යන නාමයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත. ඒ අනුව ඔවුන් අතර ඉතිහාසයේ සිට දැඩි තරගකාරීත්වයක් පැවතීම හේතුවෙන් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් එකිනෙකාට අකමැති වීම සාමාන්‍ය දෙයකි. 

2016 වසරේ දී La Liga ලීග් තරගාවලිය යටතේ පැවති ‘Madrid Derby’ තරගයක දී Ronaldo ගෝල ත්‍රිත්වයක් වාර්තා කර ගනිමින් Real Madrid කණ්ඩායමට ගෝල 3-0ක පහසු ජයක් හිමිකර දෙන්නට සමත් වූ අතර එහිදී Koke විසින් Ronaldo හට ‘faggot’ (සමලිංගික පිරිමියා) යනුවෙන් ආමන්ත්‍රණය කරමින් අපහාස කර ඇත. එහිදී Ronaldo එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ; 

“සමලිංගිකයෙක් වුනත් ගොඩක් පෝසත්, b*****d.” යනුවෙනි. 

ඒත් සමඟ කෝපයට පත් Koke සහ Ronaldo අතර ගැටුමක් ඇති වූ අතර එය විසඳන්නට කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් හට ද මැදිහත් වන්නට සිදුවිය. 

අනතුරුව එම තරගය පුරාවටත්, ඊට පසුව පැවති තරග තුළදීත් ඔවුන් දෙදෙනා අතර වරින් වර ගැටුම් ඇති වූ අතර ඊට අමතරව ක්‍රීඩාංගණයෙන් පිටත දීත් ඔවුන් දෙදෙනා දෙදෙනාට අපහාස කරගත් අවස්ථා ගණන රැසකි. 

4. Dani Alves

පාපන්දු ලොව ඉහළම තරගකාරීත්වයක් ඇති ‘El Clasico’ යන විරුදාවලිය ලත් FC Barcelona සහ Real Madrid කණ්ඩායම් අතර තරග ස්වභාවයෙන්ම දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගනියි. එබැවින් ඉහත දී මෙන් මෙම කණ්ඩායම් දෙක අතර ක්‍රීඩකයින් ද එකිනෙකා කෙරෙහි දැඩි කැමැත්තක් නොදැක්වීම ඉතා සාමාන්‍ය දෙයකි. Barcelona ක්‍රීඩකයින් අතරින් Ronaldoට කැමැත්තක් නොදක්වන ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස, පාපන්දු ක්‍රීඩාවේ සිටින දක්ෂතම ‘rightback’ ක්‍රීඩකයෙකු වන බ්‍රසීල ජාතික Dani Alves හඳුනාගත හැක. 

Alves විසින් Ronaldoගේ නිතර පැමිණිලි කිරීමේ ස්වභාවය පිළිබඳව අවස්ථාවන් ගණනාවක දීම විවේචනය කර ඇත. 2015 වසරේ නොවැම්බර් මාසයේ දී පැවති ‘El Clasico’ තරගය Barcelona ක්‍රීඩකයින් ගෝල 4-0ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කළ අතර එහිදී එක් අවස්ථාවක දී Alves විසින් Ronaldoව අල්ලා ගනිමින් ඔවුන්ගේ ඉක්මන් අවස්ථාවක් වළකාලන්නට උත්සාහ දැරීමේ දී Ronaldo ඔහුට වැලමිටෙන් පහරක් එල්ල කර ඇත. එම තරගය අවසානයේ Alves අදහස් දක්වමින් පැවසුවේ

“ඔහු ජයග්‍රහණය කළාම හැමෝම කතා කරන්නේ ඔහු ගැන. නමුත් ඔහු පුරුදු විය යුතුයි පරාජයත් එක විදිහට භාරගන්න.” 

අනතුරුව 2016 වසරේ දී Ballon d’Or සම්මානය Ronaldo විසින් දිනා ගනු ලැබූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් Alves පවසා සිටියේ; 

“මට තේරෙන්නේ නැහැ Ronaldo මේ Ballon d’Or වේදිකාවේ ඉන්නේ ඇයි කියලාවත්.” 

එහි ප්‍රතිඵලයක් ලෙස Ronaldo එම සම්මාන උත්සවයේ දී Alvesව මඟහරින්නට වූ අතර ඔවුන් දෙදෙනා අතර එකිනෙකා පිළිබඳව ඇති අකමැත්ත ඉන් අනතුරුව පැවති තරග වලදී ද දැක ගැනීමට හැකි විය. 

3. Gerard Pique

Ronaldo කෙරෙහි දැඩි අකමැත්තක් දක්වන තවත් Barcelona ක්‍රීඩකයෙකු වන්නේ ‘centerback’ ක්‍රීඩක ස්පාඥ්ඥ ලෝක ශූර Pique ය. ඔහු Ronaldoගේ දක්ෂතාවයන් පිළිබඳව පැසසුම් කර සිටියත් අනෙක් පසින් ඔහු නිතරම ‘dive’ කිරීමට අදාළව Ronaldoව විවේචනය කර සිටී. 

Ronaldo නිතරම තරග වලදී ‘dive’ කරනවා. ඒක හරිම කරදරකාරීයි.” 

Ronaldoගේ දක්ෂතා හමුවේ, විශේෂයෙන්ම ‘El Clasico’ තරග වලදී Pique දැඩි අපහසුතාවයට ලක්වූ අවස්ථාවන් ගණනාවක් ඇති නමුත් ඔහු Ronaldo පිළිබඳව හාස්‍යජනක ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් ලැබුනහොත් එය මඟහැර සිටින්නේ නැත. 

2016 වසරේ දී Pique විසින් Ronaldoගේ සැමරුම අනුකරණය කරමින් ඔහුව හාස්‍යයට ලක්කළ අතර තවදුරටත් 2018 තරග වාරය අවසානයේ Ronaldo විසින් Juventus වෙත කණ්ඩායම් මාරුවක් සිදුකළ අවස්ථාවේ දීද ඔහු එය හාස්‍යයට ලක්කර ඇත. 

2. Arturo Vidal

මෙම ලැයිස්තුවේ සිටින තවත් Barcelona ක්‍රීඩකයෙකු වන්නේ Chile රාජ්‍යයේ මැදපෙළ ක්‍රීඩක Arturo Vidal ය. Vidal මේ වන විට Barcelona කණ්ඩායම නියෝජනය කරනු ලැබුවත් ඔහු 2018 වසරේ ඔවුන් සමඟ එක්වන විටම Ronaldo විසින් Real Madrid කණ්ඩායමේ සිට Juventus වෙත මාරුවක් ලබා ගත්තේය. ඒ අනුව මොවුන් දෙදෙනා හට ‘El Clasico’ තරග වලදී එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කරන්නට අවස්ථාවක් ලැබුනේ නැත. 

කෙසේ නමුත් ඔහු මේ ආකාරයට Barcelona කණ්ඩායම සමඟ එක්වන විටම Ronaldo විසින් Juventus කණ්ඩායම සමඟ එක්වීම පිළිබඳ සිදුවීම හාස්‍යයට ගනිමින් Vidal විසින් Ronaldo හට අපහාස වන අයුරින් ප්‍රකාශ කර සිටියේ

“මම ගොඩක් ආසයි ඔහුට එරෙහිව ක්‍රීඩා කරන්න. නමුත් කණගාටුයි, මොකද මම Barcelona සමඟ එක්වෙනවා කියලා දැනගත්ත ගමන් ඔහු ඉතාලියට පැනලා ගියා.” 

තවද 2017 වසරේ දී Vidal විසින් Ronaldo පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ; 

Ronaldo කියන්නේ මෝඩයෙක්. මට නම් ඔහුගේ කිසිම වටිනාකමක් නැහැ.” 

ඊට අමතරව තවත් අවස්ථා ගණනාවක දීම Vidal විසින් Ronaldo හට අපහාස වන ආකාරයට සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ අදහස් පළකර ඇත. 2017 වසරේ UEFA Champions League තරගාවලියේ දී Real Madrid හට තරග විනිසුරුවරුන් සහාය දැක්වූ බවට Vidal විසින් සිදුකළ ප්‍රකාශයක් විවේචනය කරමින් Ronaldo ප්‍රතිචාර දැක්වීමත් සමඟ මොවුන් දෙදෙනා අතර මෙම විරසකය උත්සන්න වූ බව වාර්තා වේ. 

තවත් කියවන්න: 

1. Gonzalo Higuain

Ronaldo හට අකමැති ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ ඉහළම ස්ථානය හිමිකර ගෙන සිටින්නේ මේ වන විට ඔහුත් සමඟම Juventus කණ්ඩායමේ ක්‍රීඩා කරනු ලබන ඉදිරිපෙළ ක්‍රීඩක ආජන්ටිනා ජාතික Higuain විසිනි. ඔහුගේ මතය වී ඇත්තේ Ronaldo අන් අය පවසන තරමේ දක්ෂ ක්‍රීඩකයෙකු නොවන බවයි. 

“ඔහු හොඳටම අහංකාරයි. ඔහු තමයි හොඳම ක්‍රීඩකයා කියලා ඔබ කිව්වේ නැත්නම් ඔබ ඔහුගේ යාළුවෙක් නෙමෙයි. ඔහු (Ronaldo) හිතන් ඉන්නේ එයා තමයි ලෝකයේ හොඳම ක්‍රීඩකයා කියලා. නමුත් ඔහු ඒ හිතන් ඉන්න තරම් දක්ෂ ක්‍රීඩකයෙක් නෙමෙයි.” 

තවත් විශේෂාංග ලිපි;

ඔවුන් දෙදෙනා වසර 4ක පමණ කාලයක් Real Madrid කණ්ඩායමේ එකට ක්‍රීඩා කරනු ලැබූ අතර 2013 වසරේ දී Higuain හට එය හැරයාමට හේතුවී ඇත්තේ ද Ronaldo බවට වාර්තා වේ. අනතුරුව 2018 වසරේ දී Ronaldo විසින් Juventus සමඟ එක්වන විට Higuain එම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් සිටි අතර Ronaldo පැමිණි වහාම ඔහු ඉතාලියේම AC Milan පාපන්දු සමාජය වෙත තාවකාලික මාරුවක් ලබා ගත්තේය. 

අනතුරුව එම කණ්ඩායම් දෙක අතර පැවති තරගයක දී Higuain හට රතු කාඩ්පතක් නිකුත් වූ අතර එහිදී කෝපයට පත් ඔහු විශේෂයෙන් Ronaldo සමඟ ගැටුමක් ඇතිකර ගත්තේය.  

කෙසේ නමුත් ඔවුන් දෙදෙනා මේ වන විට එකම කණ්ඩායමේ ක්‍රීඩා කරනු ලැබුවත් තවමත් ඔවුන් දෙදෙනා දැඩි විරසකයයෙන් පසුවන බව වාර්තා වේ. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<