WPL වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15ක්!

Women's Premier League 2023

1582

ලබන මාර්තු මාසයේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීගය (WPL) සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ක්‍රීඩිකා වෙන්දේසියේ ලැයිස්තුව ඊයේ (07) ප්‍රකාශයට පත් කළා.

පළමු WPL තරගාවලිය ලබන මාර්තු 4 සිට 26 තෙක් පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති අතර එම තරගාවලියේ සියලු තරග ඉන්දියාවේ Brabourne සහ D.Y. Patil ක්‍රීඩාංගණ දෙක කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම එම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩිකාවන් කණ්ඩායම්වලට තෝරා ගැනීම සඳහා පවත්වන ක්‍රීඩිකා වෙන්දේසිය මෙම මස 13 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් ක්‍රීඩිකාවන් 1525 දෙනෙකු ලියාපදිංචි වී තිබුණා.

නමුත් වෙන්දේසිය සඳහා ඉන් ක්‍රීඩිකාවන් 409 දෙනෙකු තෝරා ගෙන ඇති බව ඊයේ WPL මාධ්‍ය කමිටුව සඳහන් කළ අතර එම ක්‍රීඩක ලැයිස්තුව ද ප්‍රකාශයට පත් කළා.

එම ක්‍රීඩිකාවන් 409 දෙනා අතරින් 264 දෙනෙක් ඉන්දීය ක්‍රීඩිකාවන් වන අතර, විදෙස් ක්‍රීඩිකාවන් 163 දෙනෙකු ද ඒ අතර වනවා. මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් 15 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා.

ඔවුන්ගේ නම් මෙසේයි; චමරි අතපත්තු, අනුෂ්කා සංජීවනී, ඉනෝකා රණවීර, නිලක්ෂි ද සිල්වා, හර්ශිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, මල්ෂා ශෙහානි, කවීෂා දිල්හාරි, ඕශදී රණසිංහ, අචිනි කෞශල්‍යා, උදේෂිකා ප්‍රබෝධනී, තාරිකා සෙව්වන්දි, සුගන්දිකා දසනායක, ඉනෝෂි ප්‍රනාන්දු

එමෙන්ම එම ක්‍රීඩිකාවන් 409 දෙනා අතරට ICC නිල සාමාජිකත්වය නොලද රටවලින් ක්‍රීඩිකාවන් 8 දෙනෙකු ද එක් වී තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් පහක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඒ කණ්ඩායම් පහ වෙනුවෙන් වෙන්දේසියේ දී ක්‍රීඩිකාවන් 90 දෙනෙකු තෝරා ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඉන් 30 දෙනෙකු විදෙස් ක්‍රීඩිකාවන් බවත් WPL මාධ්‍ය අංශය සඳහන් කරනවා.

මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩිකාවන් ලබා දී ඇති වැඩිම මූලික වෙන්දේසි මුදල (Base Price) ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් වන අතර, ක්‍රීඩිකාවන් 24 දෙනෙක් එම ඉහළතම වටිනාකම සමග වෙන්දේසියට පෙනී සිටිනු ඇත.

එම ක්‍රීඩිකාවන් අතර ඉන්දියානු නායිකා Harmanpreet Kaur, Smriti Mandhana, Deepti Sharma මෙන්ම මෙවර 19න් පහළ ලෝක කුසලානය ඉන්දියාවට දිනා දීමට නායකත්වය දුන් Shafali Varma යන අය ද ඇතුළත් ව සිටින අතර, විදෙස් ක්‍රීඩිකාවන් ලෙස Ellyse Perry, Sophie Devine වැනි අය ද සිටිනවා.

ශ්‍රී ලංකාවෙන් මෙම වෙන්දේසියට ඉදිරිපත් වූ සියලුම ක්‍රීඩිකාවන්ගේ මූලික වෙන්දේසි මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ 30ක් ලෙස සටහන් වී තිබෙනවා.

ක්‍රීඩිකා වෙන්දේසිය මෙම මස 13 වැනිදා සවස 2.30ට ආරම්භ වීමට නියමිතයි.

WPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<