ජාවා ලේන් පාපන්දු කණ්ඩායම පරාජය කළ කොළඹ පාපන්දු සමාජය මෙවර සිටි ලීග් සභාපති කුසලාන ශූරතාවය දිනා ගැනීමට ඊයේ (8) සමත්විය. සිටි ලීග් පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ දී කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් වාර්තා කළ ද, දඬුවම් පහර මගින් 4-3ක් ලෙස ඉදිරියෙන් සිටි කොළඹ පාපන්දු සමාජයට අවසානයේ දී ජය හිමි වූයේ ශූරතා කුසලානයේ පහස ලැබීමට මග විවර කර දෙමිනුයි.

සෙරන්ඩිබ් හා සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජ වලට තියුණු ජයක්

එෆ්. ඒ. කුසලානය සඳහා පැවැත්වෙන පාපන්දු තරගාවලියේ සුපිරි 64 දෙනාගේ වටයේ තවත් තරග කිහිපයක්ම අවසන් විය…

පසුගිය වසරේ පැවති ඩයලොග් ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයෙන් රිනවුන් කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා ගත් කොළඹ පාපන්දු සමාජය, පසුගිය සතියේ පැවති අවසන් පූර්ව තරගයෙන් ද ගෝල 2-1ක් ලෙස රිනවුන් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

ජාවා ලේන් කණ්ඩායම අවසන් පූර්ව තරගයෙන් ගෝල 2-0ක් ලෙස මොරගස්මුල්ල කණ්ඩායම පරාජය කරමින් මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. කෙසේ වෙතත් ඊයේ රාත්‍රිය උදාවනවාත් සමගම මෙතෙක් කලක් තමන් සතුව තිබූ මෙරට පාපන්දු ආධිපත්‍ය යලිත් වරක් තහවුරු කර ගැනීමට කොළඹ පාපන්දු සමාජය සමත්වූයේ තාමත් තම කණ්ඩායමට නිසි අභියෝගයක් එල්ල කිරීමට තරම් සමතෙක් මෙරට නොමැති බව පසක් කරමිනි.

ඊයේ (8) පැවති අවසන් මහා තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ඉතා හොඳින් තරගයට අවතීර්ණ වූ අතර, ප්‍රතිවාදීන්ට ලෙහෙසියෙන් ජය පැන් බොන්නට අවස්ථාව උදා නොවන බව නම් කණ්ඩායම් දෙකේම ප්‍රේක්ෂකයන්ට ඉක්මනින්ම අවබෝධ වූයේ කණ්ඩායම් දෙකේම ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශය නිසාවෙනි. තරගය ආරම්භ වීමටත් මත්තෙන් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරි ගොස් තිබූ අතර, ක්‍රීඩාංගණයට අවතීර්ණ වීමට තිබූ කිව් පොයින්ට් මාර්ගය ද අතුරු සිදුරු නැතිව පිරි තිබුනේ අවසන් මහා තරගයේ ජය කාට දැයි දැන ගැනීමට තිබූ ප්‍රේක්ෂක උන්මාදය නිසාවෙනි.

ජාවා ලේන් කණ්ඩායමේ මොහොමඩ් අබ්දුල්ලා විසින් ක්‍රීඩා පිටියේ දකුණු අන්තයෙන් සාර්ථකව ඉදිරියට ගෙනා පන්දුව කොළඹ පාපන්දු සමාජයේ දැල් රකින්නා වන මොහොමඩ් ඉම්රාන් සාර්ථකව මැඩපැවැත්වීමට උත්සහ කළ ද, අබ්දුල්ලා ලබා දුන් පන්දුවට සිය හිසෙන් පහර දීමෙන් දැල තුලට යොමු කරමින් තරගයේ වාර්තා වූ ප්‍රථම ගෝලය තමාගේ නමින් ලියා ගැනීමට ජාවා ලේන් කණ්ඩායමේ නවීන් ජූඩ් සමත් විය. එම ගෝලය වාර්තා වූයේ 9 වන මිනිත්තුවේදීය.

කණ්ඩායම් දෙකම සිය කණ්ඩායමේ ජය වෙනුවෙන් ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර, ජාවා ලේන් කණ්ඩායමට ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම සාර්ථකව වළක්වාලීමට තරගය ඉතා හොඳින් පාලනය කළ සර්වාන්ට හැකිවිය.

ජාවා ලේන් කණ්ඩායමේ දැල් රකින ක්‍රීඩක ධම්මික සෙනරත් අවස්ථා කීපයක්ම සර්වාන්ට ලබා දුන් අතර, ඒවායින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට සර්වාන්ට නොහැකි විය.

කොළඹ පාපන්දු සමාජයේ සාර්ථකව මැද පෙළ ක්‍රීඩා කළ මොමාස් යාපෝ සහ අෆිස් ඔලයෙමි යන විදෙස් ක්‍රීඩකයන් දෙදෙනාම නොමැතිව තරමක් අපහසුවෙන් ක්‍රීඩා කළ කොළඹ පාපන්දු සමාජය ජාවා ලේන් කණ්ඩායමට එල්ල කළ අභියෝගය නම් සුළු පටු නොවීය. ජනක චමින්ද සහ මොහොමඩ් රිස්ඛාන් ඔවුන් දෙදෙනාගේ අඩුව නොදැනෙන ලෙස එම ස්ථානයේ ඉතා සාර්ථකව ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමට ජය මාවත විවර කලෝය. සිය කණ්ඩායමට ලකුණු එකතු කිරීමට තිබූ අවස්ථා කිහිපයක් මොහොමඩ් අලීම් අතින් මගහැරී ගියේය.

ප්‍රථම අර්ධය – ජාවා ලේන් 1 – 0 කොළඹ පාපන්දු සමාජය

තරගයේ දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයකින්ම සිය ප්‍රථම ගෝලය වාර්තා කරමින් තරගය සම තත්වයට පත්කිරීමට කොළඹ පාපන්දු සමාජයේ සර්වාන් ජොහාර් සමත් විය. නිරාන් කනිෂ්ක හරස් පහරක් මගින් ලබා දුන් පන්දුව ඩිලාන් කෞශල්‍ය විසින් සාර්ථකව පාලනය කරමින් සර්වාන්ට ලබා දුන් අතර සර්වාන් මොහොතකින් එය ගෝලයක් බවට පරිවර්තනය කරන ලදි.

තරගයේ දෙවන අර්ධයේ දී තවත් එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට ඉන් අනතුරුව කණ්ඩායම් දෙකටම අවස්ථාවක් හිමි නොවූයේ කණ්ඩායම් දෙකේම ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශය හේතුවෙනි. එනමුත් ගෝලයක් ලබා ගැනීමට නොහැකිවීම නිසා දෙපිලේම ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් ද සිටියේ මහත් නොඉවසිල්ලෙනි.

තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී ජාවා ලේන් කණ්ඩායමට නිදහස් පහර මගින් ලකුණු රැස් කිරීමට තිබූ අවස්ථා කිහිපයක්ම මඟහැරී යාම ද ඔවුන්ට මහත් අවාසියක් විය.

සම්පුර්ණ කාලය – ජාවා ලේන් 1 – 1 කොළඹ පාපන්දු සමාජය

ලකුණු සමවෙමින් දෙවන අර්ධය නිමා වීම හේතුවෙන් දඬුවම් පහර අවස්ථාව සඳහා කණ්ඩායම් ද්විත්වයම පිවිසි අතර එහිදි ප්‍රථමයෙන්ම ජාවා ලේන් ක්‍රීඩක මාලක පෙරේරා දඬුවම් පහර සාර්ථක කර ගත් අතර කොළඹ සමාජයේ අෆිස් ඔලයෙමි ද ප්‍රථම අවස්ථාව සාර්ථක කර ගන්නා ලදි. දෙවැනි අවස්ථාවේ දී ජාවා ලේන් ක්‍රීඩක ලක්මාල් පෙරේරා විසින් දඬුවම් පහර සාර්ථක කර ගත් අතර කොළඹ සමාජයේ මොමාස් යාපො ද සාර්ථකව පන්දුව දැල තුලට යොමු කරන ලදි.

තෙවැනි අවස්ථාවේ දී ජාවා ලේන් ක්‍රීඩක මොහොමඩ් අලීම් සාර්ථකව වුවත්, ප්‍රතිවාදී පිලේ නායක රවුමි මොහිදීන්ගේ පන්දුව සාර්ථකව වළක්වා ගැනීමට ජාවා ලේන් ගෝල රකින්නා වන ධම්මික සෙනරත් සමත් විය.

ඒත් සමඟින් පෙරමුණට පැමිනි ජාවා ලේන් සමාජයේ සිව්වැනි අවස්ථාව මොහොමඩ් රිස්කාන් විසින් ලබා ගත් නමුත් කොළඹ සමාජයේ ගෝල රකින්නා වූ ඉම්රාන් සාර්ථකව එය වැළැක්විය. කොළඹ සමාජයත් සිව්වැනි අවස්ථාවේ දී අසමත් වූයේ මොහොමඩ් රමීස් විසින් පන්දුව නිවැරදිව එල්ල කිරීමට අසමත් වීම නිසාවෙනි.

පස්වැනි අවස්ථාවේ දී ජාවා ලේන් ක්‍රීඩක නවීන් ජූඩ් විසින් එල්ල කළ පන්දුව සාර්ථකව ග්‍රහණය කර ගැනීමට ඉම්රාන් සමත් වූ අතර කොළඹ සමාජයෙන් අහමඩ් ශස්නි එල්ල කළ පන්දුව කෙලින්ම දැල තුලට යොමූ වූයේ 3-3ක් ලෙස ලකුණු සම වීම හේතුවෙන් 6 වැනි අවස්ථාවකට මඟ පාදා දෙමිනි.

තීරණාත්මක වූ 6 වැනි අවස්ථාවේ දී ජාවා ලේන් ක්‍රීඩක රෙවීන් කුමාර් විසින් එල්ල කළ පන්දුවට ගෝලය තුළට යෑමට ඉම්රාන් ඉඩ ලබා දුන්නේ නැත. නමුත් කොළඹ සමාජයේ දක්ෂ ක්‍රීඩකයෙකු වූ සර්වාන් ජොහාර් නිවැරදි ඉලක්කය බලා එල්ල කළ පහර ගෝල රකින්නා පසු කරමින් දැල තුලට පිවිසියේ 4-3ක් ලෙස කොළඹ සමාජයට ජය හිමි කර දෙමිනි.

ThePapare.com තරගයේ වීරයා – සර්වාන් ජොහාර්

ජාවා ලේන් සහකාර පුහුණුකරු මක්සි ලේටර්න් සිය පරාජය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“අද දිනය තුල ඉතා හොඳින් ක්‍රීඩා කළ අපේ ක්‍රීඩකයන් තිදෙනෙක් පිළිබඳව අපට ආඩම්බර වෙන්න පුළුවන්. ඒ චන්දු (ජනක චමින්ද), ඇලීම් සහ අබ්දුල්ලා යන ක්‍රීඩකයිනුයි. අපි ඇත්තටම ඉතා හොඳින් ක්‍රීඩා කළා. එමෙන්ම අවසන් මොහොතේ දී අපිට ජයග්‍රාහී දඬුවම් පහර මග හැරුණ නිසා තරගය අපෙන් ගිලිහුනා. එනමුත් දුක් වෙන්න දෙයක් නෑ. ඔතන ඉන්නවා දක්ෂ තරුණ ක්‍රීඩකයෝ ටිකක් FA කුසලානය වෙනුවෙන්.”

මොහොමඩ් රූමි සිය ජයග්‍රහණයෙන් පසු මෙසේ අප හා අදහස් දැක්වීය.

“එ්ක ඉතාම හොඳ තරගයක්. ඔවුන් ඉක්මනින්ම ලකුණු ලබා ගනී කියලා මම දැනගෙන හිටියා. අපිට කිසි පීඩනයක් තිබුනේ නැහැ. නමුත් අවස්ථාවන් කිහිපයක්ම මග හැරුණා. එසේ නොවූවා නම් අපිට මිට වඩා බොහොම ලේසියෙන් තරගය දිනන්න තිබුනා. ප්‍රේක්ෂකයන්ට ඉතා හොඳ තරගයක් බලා ගැනීමට අවස්ථාව ලබා දෙන්න අපිට පුළුවන් වුනා. සර්වාන් ඉතා හොඳින් තමාගේ දක්ෂතා අතරට පැමිණුනා. ජාතික කණ්ඩායමට ඔහු ගැන සිතා බැලීමට මේක හොඳ අවස්ථාවක්. නාගුර්ගේ ආබාධය නිසා මෙම තරගයට ක්‍රීඩා කළේ නැහැ. මදුශංක ( ධනුෂ්ක) ඔහුගේ කාර්යය ඉතා හොඳින් ඉටු කළා. ජාවා ලේන් කණ්ඩායම ශූරතා කුසලානයෙන් අනතුරුව ඉතා හොදින් ක්‍රීඩා කළා.”

  • හොඳම දැල් රකින්නා – ධම්මික සෙනරත්
  • තරගයේ වීරයා – සර්වාන් ජොහාර්
  • හොඳම කණ්ඩායම – කොළඹ පාපන්දු සමාජය

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්

  • ජාවා ලේන් – නවින් ජූඩ් 9’
  • කොළඹ පාපන්දු සමාජය – සර්වාන් ජොහාර් 53’

කහ කාඩ්පත්

  • ජාවා ලේන් – ෆාහිම් නිසාම්දින් 60’
  • කොළඹ පාපන්දු සමාජය – අහමඩ් සස්නි 84’, අෆිස් ඔලයෙමි 90+2’

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට