මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ඊයේ (13) පැවති සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් තරගයකින් ජයග්‍රහණය වාර්තා කරන්නට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. ඔවුන් අතින් නිජ බිමේදීම ලකුණු 34-26ක් ලෙස පරාජය වූයේ සහිරා විද්‍යාලයයි.

අවසන් මොහොතේ ධර්මරාජ හදවත් සසල කළ රාජකීය මෙහෙයුම

වර්ෂාව හේතුවෙන් මඩ ගොහොරුවකට සමාන තත්ත්වයකට පත්වූ නිත්තවෙල ක්‍රීඩාංගණයේ මිනිත්තු 80ක් පුරා දෙපසට දෝලනය වූ තරගයක..

තරගය, ආරම්භයේ සිටම දෙපසට ඇදෙන තරගකාරී බවකින් යුක්ත වූ අතර වර්ෂාව හේතුවෙන් තෙතබරිත වූ ක්‍රීඩාංගණය තුළ හොඳින් ක්‍රීඩා කිරීමට කණ්ඩායම් දෙකම මඩෙහි සටන්වදිමින් උත්සාහ කළේය. පාසල් රග්බි පළමු කාණ්ඩයට මේ වසරේ අලුතින් එක් වූ සහිරා විද්‍යාලය, ප්‍රබල ත්‍රිත්ව විද්‍යාලය හමුවේ ක්‍රීඩා කළ විලාශය ප්‍රශංසනීය ය.

සුපුරුදු පරිදි දිලුක්ෂ දන්ගේ, තම වේගය භාවිතා කරමින් ත්‍රිත්වයන් ඉදිරියට ගෙන ගියේය. (ත්‍රිත්ව 07-00 සහිරා). සයිඩ් සිංහවංස විසින් වාර්තා කළ උත්සාහක දිනුමක් සමඟින් සහිරා විදුහල ලකුණු සම කළේය. (ත්‍රිත්ව 07-07 සහිරා).

පසුව ලෂේන් විජේසූරියගේ සහයත් සමඟ සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කළ දන්ගේ, ත්‍රිත්වයන් ලකුණු 12ක් දක්වා ඉදිරියට ගෙන ගියේය. සහිරාවන් පසුපසට යනු දුටු යුස්රාන් ලන්ත්‍රා, අද්විතීය ධාවනයක යෙදෙමින් ත්‍රිත්ව ආරක්ෂකයන් දෙදෙනෙකු වටා දිවගොස් උත්සාහක දිනුමක් වාර්තා කළේය.

ඊට පිළිතුරු ලබා දෙමින් ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයන් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර ඉන් එකක් ලෂේන්ගේ පාදයෙන් ප්‍රවර්තනය විය.

පළමු අර්ධය – ත්‍රිත්ව විද්‍යාලය 24 (4T 2C) – 12 (2T 1C) සහිරා විද්‍යාලය

වර්ෂාව දැඩිව ඇදහැලෙමින් තිබිය දී සහිරා නායක මොහොමඩ් ඉර්ෆාන්, උත්සාහක දිනුමක් වාර්තා කළේ දැඩි පරිශ්‍රමයක් දරමිනි. සිංහවංසගේ ප්‍රවර්තනය සාර්ථකයි. (ත්‍රිත්ව 24-19 සහිරා).

පසුව ත්‍රිත්වයන් අන්ද මන්ද කරමින් උපායශීලීව දිව ගිය සිංහවංස උත්සාහක දිනුමක් රැස් කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමත් සමඟින් තරගයේ පෙරමුණ හිමි වූයේ සහිරා විදුහලටයි. (ත්‍රිත්ව 24-26 සහිරා).

ත්‍රිත්ව පිලට යම් භීතිකාවක් ඇතිවෙමින් තිබිය දී ඔවුන් ලකුණු 5කින් ඉදිරියට ගෙන ගිය ගෞරව බණ්ඩාර, පිටියේ වම් අන්තයෙන් දිවගොස් උත්සාහක දිනුමක් වාර්තා කළේය. (ත්‍රිත්ව 29-26 සහිරා).

ලකුණු 3ක පරතරයක් සහිතව ඉදිරියට ගිය උද්වේගකර තරගය, ත්‍රිත්ව කණ්ඩායම වෙත නතු කළ වොරන් වීරකෝන් සහ අකිත් සකලසූරිය විසින් අනුක බෝයගොඩට ඉදිරියට යාමේ අවස්ථාව සපයා දුන් අතර එය උත්සාහක දිනුමක් බවට පරිවර්තනය විය. (ත්‍රිත්ව 34-26 සහිරා).

උණුසුම් තරගයක අවසානය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සටහන් කරමින් ත්‍රිත්ව විදුහලට ජය අත් වූයේ සහිරා විද්‍යාලයට ගෞරවනීය පරාජයක් හිමිකර දෙමිනි. සුළු අතපසුවීම් කිහිපයක් සිදු නොවූයේ නම් ලකුණු තත්වය සැබවින්ම වෙනස් වන්නට ද ඉඩ තිබුණි.

සම්පුර්ණ කාලය: ත්‍රිත්ව විද්‍යාලය 34 (6T 2C) – 26 (4T 3C) සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: දිලුක්ෂ දන්ගේ (ත්‍රිත්ව).        

ලකුණු රැස් කළ ක්‍රීඩකයන්

  • ත්‍රිත්ව විදුහල – දිලුක්ෂ දන්ගේ 2T, ලෂේන් විජේසූරිය 1T 2C, හසිරු වැලිවත්ත 1T, ගෞරව බණ්ඩාර 1T, අනුක බෝයගොඩ 1T.
  • සහිරා විදුහල – සයිඩ් සිංහවංශ 2T 3C, යුස්රාන් ලන්ත්‍රා 1T, මොහොමඩ් ඉර්ෆාන් 1T.         
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<