සහිරා සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලවලට ජයග්‍රහණ

270
Zahira, Maris Stella cruise past St.Peter’s & Kinniya Central

අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු තරගාවලිය යටතේ ඊයේ (11) පැවති තරගවල දී මරදාන සහිරා විද්‍යාලය ගෝල 4-1ක් ලෙස බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයත්, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ගෝල 3-1ක් ලෙස ත්‍රිකුණාමලය කින්නියා මධ්‍ය මහා විද්‍යාලයත් පරාජයට පත්කරමින් ජයග්‍රහණ වාර්තා කර ගන්නට සමත් විය.

සම්පූර්ණ වාර්තාව: අසේල මදුෂාන් සාන්ත ජෝසප් පිලට විශිෂ්ට ජයක් ගෙනෙයි

සහිරා විද්‍යාලය – සාන්ත පීතර විද්‍යාලය

වැසි සහිත සන්ධ්‍යාවක මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය පුරාවට සිය ආධිපත්‍ය පතුරුවන්නට සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය. තරගයේ ආරම්භයේ සිටම ගෝලයක් වාර්තා කර ගැනීමට ඔවුන් දැරූ උත්සාහය, තරගයේ 11 වෙනි මිනිත්තුවේ දී සාර්ථකත්වයට පත්වූයේ මොහොමඩ් මුෂ්ෆීර් තම කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කර ගැනීමත් සමඟයි. එහි දී පැති පහර අවස්ථාවකින් පිරිනැමුණු පන්දුවට මුෂ්ෆීර් විසින් හිසින් පහරක් එල්ල කිරීමෙන් එම ගෝලය වාර්තා විය.

සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ 26 වෙනි මිනිත්තුවේ දී සිය දෙවන ගෝලය ද වාර්තා කර ගන්නට සමත් විය. එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ මොහොමඩ් අක්තාර් විසිනි. පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපයේ දී ද ඔවුන් සිය සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දියත් කළ නමුත්, වර්ෂාව හේතුවෙන් පිටියේ පැවති තත්වය නිසා ගෝලයක් වාර්තා කිරීම ඔවුන්ට තරමක අපහසු කටයුත්තක් විය.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 2 – 0 සාන්ත පීතර විද්‍යාලය  

තරගයේ දෙවන අර්ධයට ද සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් තරගයේ 53 වෙනි මිනිත්තුවේ දී සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ 3 වන ගෝලය වාර්තා කර ගනු ලැබීය. එහි දී ද පැති පහර අවස්ථාවකින් පිරිනැමුණු පන්දුවට නැවතත් පහරක් එල්ල කළ මුෂ්ෆීර්, තරගයේ සිය දෙවන ගෝලය වාර්තා කර ගත්තේය. ඉන් මිනිත්තු 04කට පසුව සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් සිය 4 වෙනි ගෝලය ද වාර්තා කර ගත් අතර මෙවර එම ගෝලයට හිමිකම් කීවේ හසන් රාසා විසිනි.

ඉන් අනතුරුව සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් විසින් සිය ආරක්‍ෂක විධි විධාන ඉහළ නැංවීමට කටයුතු කළ අතර ගෝල ලබා ගැනීමට උත්සාහයන් කිහිපයක් ද සිදු කළේය. එවන් එක් අවස්ථාවක දී ෂෙහාන් ලියනපතිරණ විසින් ගෝලයක් ලබා ගැනීමට ගත් විශිෂ්ට උත්සාහය සහිරා විද්‍යාලයීය ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ශාකීර් විසින් විශිෂ්ට අන්දමින් වළකාලීමට සමත් විය.

තරගය අවසන් වන්නට මිනිත්තු 3ක කාලයක් ඉතිරිව තිබිය දී සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායමේ ධනංජය සුපුමිත විසින් ඔවුන් තරගයේ දී වාර්තා කර ගත් එකම ගෝලය වාර්තා කර ගනු ලැබීය. ශාකීර් ගෝල රාමුවෙන් ඉදිරියට පැමිණෙනු දුටු ධනංජය පන්දුව ඔහුට ඉහළින් ගෝල රාමුව තුළට යොමු කරමින් එම ගෝලය වාර්තා කළේය.

සම්පූර්ණ කාලය: සහිරා විද්‍යාලය 4 – 1 සාන්ත පීතර විද්‍යාලය  

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් මුෂ්ෆීර්

ගෝල ලාභීන්

  • සහිරා විද්‍යාලය – මොහොමඩ් මුෂ්ෆීර් 11’ සහ 53’, මොහොමඩ් අක්තාර් 26’, හසන් රාසා 57’
  • සාන්ත පීතර විද්‍යාලය – ධනංජය සුපුමිත 87’

කහ කාඩ්පත්

  • සහිරා විද්‍යාලය – මොහොමඩ් මුෂ්ෆීර් 14’, අහමඩ් අතීක් 67’
  • සාන්ත පීතර විද්‍යාලය – ෂෙහාන් ලියනපතිරණ 73’, ධනංජය සුපුමිත 80’

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – කින්නියා මධ්‍ය මහා විද්‍යාලය

2015 වසරේ පළමු කාණ්ඩයේ තරගාවලියේ ශූරතාවය දිනාගත් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ 2016 වසරේ දෙවන කාණ්ඩයේ තරගාවලියේ ශූරයින් බවට පත්වූ ත්‍රිකුණාමලය කින්නියා මධ්‍ය මහා විද්‍යාලය අතර මෙම තරගය පැවතියේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ය.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ 4 වන මිනිත්තුවේ දී ලකුණු ලබා ගැනීම ආරම්භ කළ අතර එහි දී ගෝලය වාර්තා කර ගනු ලැබුවේ කණ්ඩායම් නායක නිසල් තරින්ද සිල්වා විසිනි.

මිනිත්තු කිහිපයකින් අනතුරුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායමේ රනිෂ්ක ප්‍රනාන්දු විසින් කණ්ඩායමේ දෙවන ගෝලය ද වාර්තා කර ගත්තේ ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි. නමුත් තරගයේ පළමු අර්ධය වෙනුවෙන් කින්නියා මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කර ගන්නට මොහොමඩ් ෆහීම් සමත් විය.

පළමු අර්ධය: මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය 2 – 1 කින්නියා මධ්‍ය මහා විද්‍යාලය

තරගයේ දෙවන අර්ධයේ දී කණ්ඩායම් දෙකම ගෝලයක් රැස්කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ අතර ඒ අනුව දෙවන අර්ධය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. කෙසේ නමුත් එම උත්සාහය තරගයේ 63 වෙනි මිනිත්තුවේ දී සාර්ථක කර ගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායම් නායක නිසල් තරින්ද විසින් සිය දෙවන ගෝලය වාර්තා කර ගත්තේ කණ්ඩායමට 3 වන ගෝලය හිමි කර දෙමිනි.

සම්පූර්ණ කාලය: මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය 3 – 1 කින්නියා මධ්‍ය මහා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – නිසල් තරින්ද

ගෝල ලාභීන්

  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – නිසල් තරින්ද 04’ සහ 63’, රනේෂ් ප්‍රනාන්දු 17’
  • කින්නියා මධ්‍ය මහා විද්‍යාලය – මොහොමඩ් ෆහීම් 36’

කහ කාඩ්පත්

  • කින්නියා මධ්‍ය මහා විද්‍යාලය – මොහොමඩ් රිස්වි 78’

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට