තරගාවලිය ආරම්භයේ දී ම සහිරාවන්ට පහසු ජයක්

376

2018 වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ ආරම්භක තරගය ලෙස ඊයේ (04) මරදාන සහිරා විද්‍යාලය සහ කඳාන ද මැසිනොද් විද්‍යාලය අතර සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ගෝල 4-1ක පහසු ජයක් වාර්තා කරගන්නට සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය.

ජාතික සංචිතයට ක්‍රීඩකයින් තිදෙනෙක් නැවත කැඳවයි

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින් තිදෙනෙක් නැවතත්..

ද මැසිනොද් විද්‍යාලය තරගාවලියේ පළමු කාණ්ඩය දක්වා මෙවර උසස් වීමක් ලබා ගත්තේ වසර දෙකකට පසුව ය. ඔවුන් 2016 වසරේ දී දෙවන කාණ්ඩය දක්වා පහත දැමුණු අතර ඉන් අනතුරුව 2017 වසරේ දී දෙවන කාණ්ඩයේ අනුශූරතාවය දිනා ගනිමින් පළමු කාණ්ඩයේ සිය ස්ථානය නැවතත් තහවුරු කර ගැනීමට ඔවුන් සමත් විය. අනෙක් පසින් මරදාන සහිරා විද්‍යාලය පසුගිය වසරේ තරගාවලියේ 4 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වනු ලැබීය.

කණ්ඩායම් දෙකම තරගයේ ආරම්භයේ සිටම තරගයට අවතීර්ණ වූ අතර ගෝලයක් ලබා ගැනීමට පළමු උත්සාහය දැරුවේ ද මැසිනොද් විද්‍යාලයීය ක්‍රීඩකයින් ය. කෙසේ නමුත් ඉන් අනතුරුව තරගයේ 5වන මිනිත්තුවේ දී ද මැසිනොද් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක පවන් නිම්සර අතින් සිදු වූ අතපසුවීමක් ආධාරයෙන් තරගයේ පළමු ගෝලයට හිමිකම් කියන්නට සහිරා ක්‍රීඩකයින් සමත් විය. සහිරා ක්‍රීඩකයෙක් දුර සිට එල්ල කළ පහරක් සුරක්‍ෂිතව රැකගන්නට ඔහු අසමත් වූ අතර ඉන් අනතුරුව එහි දී පන්දුව ලබාගත් හසන් රාසා එය පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරන්නට සමත් විය.

එතැන් සිට තරගය ඉතා උද්වේගකර ස්වරූපයක් ගත් අතර දෙපිළේම ක්‍රීඩකයින් තරමක් දැඩි ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන ආකාරය දිස්විය. එහි දී ද මැසිනොද් ක්‍රීඩකයෙක් රතු කාඩ්පතක් ලද යුතු දරුණු ‘tackle’ කිරීමක් කරනු ලැබුවත් එහි දී තරග තීරකවරයා ඔහුට නිකුත් කරනු ලැබුවේ කහ කාඩ්පතකි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන් අනතුරුව ද මැසිනොද් ක්‍රීඩකයින් හට ගෝලයක් ලබා ගනිමින් තරගයේ ලකුණු තත්වය සමකිරීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඔවුන් ඒවා සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. එහි දී එක් අවස්ථාවක දී බානු ජයකොඩි හට පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් පහසු ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහර කිසිදු පීඩනයකින් තොරව පහසුවෙන් රැක ගන්නට සහිරා විද්‍යාලයීය ගෝල රකින ක්‍රීඩකයා සමත් විය.

පසුව ඉදිරියට පැමිණි පන්දුවක් ලබා ගැනීමට සහිරා විද්‍යාලයීය ගෝල රකින ක්‍රීඩකයා පැමිණියත් එහි දී ඔහුට නිසි පරිදි පන්දුවට ළඟා වීමට නොහැකි වූ අතර ඒ අනුව එහි දී පන්දුව ලබා ගැනීමට ද මැසිනොද් ඉදිරිපෙළ ක්‍රීඩකයා සමත් විය. නමුත් එහි දී ඔහුට නිසි පහරක් ගෝල රාමුව තුළට එල්ල කිරීමට නොහැකි වූ අතර ඒ අනුව පන්දුව සහිරා විද්‍යාලයීය ආරක්‍ෂක ක්‍රීඩකයෙකුගේ වැදී ගෝල රාමුවෙන් ඉවතට යොමු විය. ඉන් අනතුරුව නැවතත් ඔහුට පන්දුව ලැබුනත් එහි දී ඔහු එල්ල කළ පහර පහසුවෙන් රැක ගැනීමට ගෝල රකින ක්‍රීඩකයා සමත් විය.

Liverpool හඬවා තෙවැනි වරටත් ජය Real Madrid කණ්ඩායමට

ඊයේ දිනයේ දී යුක්‍රේනයේ NSC Olimpiyskiy ක්‍රීඩාංගණයේ දී පැවති..

ඉන් අනතුරුව තරගයේ 34 වැනි මිනිත්තුවේ දී සිය දෙවැනි ගෝලය ද වාර්තා කර ගන්නට සහිරා ක්‍රීඩකයින් සමත් විය. එම අවස්ථාවේ දී ද ද මැසිනොද් ගෝල රකින ක්‍රීඩකයා අතින් සිදු වූ අතපසුවීමකින් උපරිම ප්‍රයෝජන ලබා ගත් අබ්දුල් රසාක් පහසුවෙන් පන්දුව ගෝල රාමුව තුළට යොමු කිරීමට සමත් විය.

පසුව තරගයේ 36 වන මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කර ගැනීමට ද මැසිනොද් ක්‍රීඩකයින් සමත් විය. එහි දී එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ ප්‍රමෝද් දිල්ෂාන් විසිනි.

ඉන් අනතුරුව ද ඔවුන්ට ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුනත් එහි දී ද මැසිනොද් ක්‍රීඩකයා එල්ල කළ පහරට හිසින් පහරක් එල්ල කරමින් පන්දුව ගෝල රාමුවෙන් ඉවතට යොමු කරමින් ඔවුන්ට එම අවස්ථාව අහිමි කරන්නට සහිරා විද්‍යාලයීය ආරක්‍ෂක ක්‍රීඩකයෙක් සමත් විය.

පසුව තරගයේ පළමු අර්ධය අවසන් වන්නට තත්පර කිහිපයක් ඉතිරිව තිබිය දී රාසා සහිරා විද්‍යාලය වෙනුවෙන් තරගයේ සිය දෙවැනි ගෝලය වාර්තා කර ගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය තවත් ඉහළ නංවා ගැනීමට සමත් විය.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 3 – 1 ද මැසිනොද් විද්‍යාලය    

තරගයේ දෙවන අර්ධයේ දී කණ්ඩායම් දෙකම කරට කර තරගයක නිරත වෙමින් ගෝලයක් ලබාගැනීමට උත්සාහ දැරුවත් දෙපිළේම ආරක්‍ෂක ක්‍රීඩකයින් ප්‍රතිවාදීන් ගෝලයක් ලබාගැනීමෙන් වළකාලන්නට සමත් විය. කෙසේ නමුත් එක් අවස්ථාවක දී සහිරා ක්‍රීඩකයෙක් දුර සිට ගෝල රාමුව තුළට පහරක් එල්ල කළත් එහි දී පන්දුව ගෝල රාමුවේ වැදී ඉවතට ඇදී ගියේය.

අනතුරුව තරගයේ 75 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් සජීඩ් සහිරා විද්‍යාලය වෙනුවෙන් ඔවුන්ගේ 4 වැනි ගෝලය වාර්තා කර ගනු ලැබූ අතර ඒ අනුව මෙම තරගයෙන් ගෝල 4-1ක පහසු ජයක් තහවුරු කරගන්නට සහිරා විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ කාලය: සහිරා විද්‍යාලය 4 – 1 ද මැසිනද් විද්‍යාලය    

ThePapare.com තරගයේ වීරයා – හසන් රාසා (සහිරා විද්‍යාලය)

ගෝල ලාභීන්

  • සහිරා විද්‍යාලය – හසන් රාසා 5’ & 45+2’, අබ්දුල් රසාක් 34’, මොහොමඩ් සජීඩ් 75’
  • ද මැසිනොද් විද්‍යාලය – ප්‍රොමෝද් දිල්ෂාන් 36’

කහ කාඩ්පත්

  • ද මැසිනද් විද්‍යාලය – අවිශ්ක ජීවන්ත 23’
  • සහිරා විද්‍යාලය – එන්. නබීල් 58’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<