රාජකීයයන් දෙදෙනෙකු මූලික සංචිතයට

1666

පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වනු ලැබූ, ‘සුදුස්සන් තෝරා ගැනීමේ තරගවල’ අවසන් අදියර අද (05) කොළඹ මාස් රාජකීය බොක්සිං කවයේ දී අවසන් විය. එහි දී පැවැත්වුණු තරගවල වැඩි ගෞරවය දිනා ගන්නට සමත් වූයේ කොළඹ රාජකීය විද්‍යාලයීය බොක්සිං ක්‍රීඩකයන්ය.

ශූරතාවය විද්‍යාරතනයට; රාජකීයයන්ට දෙවැනි තැන

කනිෂ්ඨ ජාතික බොක්සිං ශූරතාවලියේ අවසන් තරග ඊයේ (04) මාස් රාජකීය බොක්සිං කවයේ දී පැවති අතර එහි දී පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට හොරණ විද්‍යාරතන විද්‍යා පීඨය සමත් විය.

දින තුනක් පුරාවට තෝරා ගැනීමේ තරග පැවැත්වුණු අතර අද පැවති තරගවල ජයග්‍රාහකයන් එක්කොට සකස් කෙරෙන මූලික සංචිතයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකුට පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග නියෝජනය කිරීමේ වරම හිමි වනු ඇත.

පළමු තරගය පැවැත්වුණේ පිරිමි, කි.ග්‍රෑ. 46-49 (ලයිට් ෆ්ලයි වෙයිට්) බර පන්තිය වෙනුවෙනි. එහි අවසන් තරගය වෙත සුදුසුකම් ලබා තිබුණේ රාජකීය විද්‍යාලයේ ඒ. අල්තාෆ් සහ ධීරානන්ද විද්‍යාලයේ එස්. බණ්ඩාර ය.

සුදුස්සන් තේරීමේ තරගාවලියේ පළමු දිනයේ දී නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ එස්. ධර්මසිරිව සහ දෙවන දිනයේ දී එම විද්‍යාලයේම බී. අබේරත්න පරාජය කරමින් අල්තාෆ් මෙම වටයට සුදුසුකම් ලබා සිටියේය. බණ්ඩාර අතින් පරාජය වී තිබුණේ හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයේ ජේ. කුමාර යි.

තම සුපුරුදු තාක්ෂණික බොක්සිං දස්කම් ප්‍රකට කරමින් අල්තාෆ් පළමු වටයට එක්වූවත් බණ්ඩාර එය කිසිසේත්ම මායිම් නොකොට පහර දෙන්නට විය. දෙදෙනාම පහර පිට පහර දෙන එක මොහොතක දී අල්තාෆ්ගේ නාසය බිඳී ලේ ගලන්නට වූ අතර ඉන් ඔහුගේ මනෝ ශක්තිය ද බිඳී ගිය බවක් දිස්විය. එහි වාසිය සැණින් තමා වෙතට නතුකරගත් බණ්ඩාර, විනිසුරු විසින් තරගය නතර කරන තෙක්ම ප්‍රතිවාදියා වෙත පහර එල්ල කරන්නට විය. තාක්ෂණයෙන් පිරිපුන් අල්තාෆ්ට තරගය අවසානයේ දී හිමිව තිබුණේ පරාජයයි.

දෙවන තරගය පැවැත්වුණේ පිරිමි, කි.ග්‍රෑ. 52 (ෆ්ලයි වෙයිට්) බර පන්තිය වෙනුවෙනි. එහි දී, ස්ටබ්ස් පලිහ තරගාවලියේ ද්විත්ව රන් පදක්කම් ලාභියෙකු වන රාජකීය විද්‍යාලයේ කෙවින් ප්‍රියසිංහ සහ සාන්ත ජෝන් විදුහලේ එස්. හේමජිත් තරග වැදිණි.

හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයේ වයි. ජයලත් පරාජය කළ බැවින් කෙවින් මෙම තරගයට සුදුසුකම් ලැබූ අතර හොරණ විද්‍යාරතනයේම ඩී. තාරක පරාජය කළ බැවින් හේමජිත් මෙම තරගය සඳහා සුදුසුකම් ලැබුවේය.

කැපී පෙනෙන සුචල්‍ය (agility) දක්ෂතා සහ ප්‍රහාරයන් සමඟින් ප්‍රථම වටයේ දී ම නරඹන්නන්ගේ අවධානය දිනා ගැනීමට කෙවින් සමත් වූ අතර හේමජිත් ද නොසැලී පහර එල්ල කරන්නට විය. නමුත් හේමජිත්ගේ ඉලක්කය මඟ හරිමින් තමාගේ ඉලක්කය සාර්ථක කර ගන්නට කෙවින් සමත් විය. දෙවන සහ තෙවන වට වල දී තමා ලකුණු අතින් පසුපස සිටින බව හැඟී ගිය නිසාදෝ හේමජිත් කලබලකාරීව පහරවල් එල්ල කරන්නට වූ අතර ඔහුගේ ආවරණයේ හිඩැස් සොයා ගනිමින් ලකුණු ලබා ගැනීමට කෙවින් යුහුසුලු විය. අවසානයේ දී ජූරියේ තීරණ 4-1ක් වශයෙන් තරගයේ ජය හිමි කර ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් බොක්සිං කවය මත සිටගන්නන් තීරණය කෙරෙන මූලික සංචිතයේ සිය ස්ථානය තහවුරු කර ගන්නට කෙවින් ප්‍රියසිංහට හැකි විය.

පිරිමි, කි.ග්‍රෑ. 56 (බැන්ටම් වෙයිට්) බර පන්තිය යටතේ පැවති, දිනයේ තෙවන තරගය සඳහා සුදුසුකම් ලබා තිබුණේ ධීරානන්ද විද්‍යාලයේ සී. ඒකනායක සහ රාජකීය විද්‍යාලයේ වී. හෙට්ටිආරච්චි ය.

තරගාවලියේ පළමු දිනයේ දී ප්‍රතිවාදියාගේ නොපැමිණීම නිසා ඒකනායකට නිතරග ජයක් හිමි වූ අතර දෙවන දිනයේ දී හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයේ වී. කවිශාන් ව පහසුවෙන් පරාජය කොට ජය ගන්නට ඒකනායක සමත් විය. හෙට්ටිආරච්චි අතින් පළමු දිනයේ දී පරාජය වූයේ මහානාම විද්‍යාලයේ පී. මාලන් වන අතර දෙවන දිනයේ දී ඔහුට ද නිතරග ජයක් හිමි කර දෙමින් මුලතිව් මහා විද්‍යාලයේ එම්. ෂර්මිලාන්ව තරගයෙන් ඉවත් කෙරුණේ ෂර්මිලාන්ගේ වයස සම්බන්ධව ඇතිවූ ගැටළුවක් හේතුවෙනි.

ප්‍රතිවාදියාගේ පහරවල් මඟ හැරීමේ දී හෙට්ටිආරච්චි දැක්වූ දක්ෂතා ගැන මෙහි සටහන් කළ යුතුමය. එසේ නොවුණි නම් ඒකනායකගේ වේගවත් පහරවල් වලින් බැටකන්නට ඔහුට අවස්ථාව නිර්මාණය වී තිබිණි. එහෙත් සාර්ථකව බොක්සිං වළල්ල තුළ සැරිසරමින් පහර වළකා පහර එල්ල කරන්නට‘ (move and punch) හෙට්ටිආරච්චි සමත් වීමත් සමඟ ඒකනායකට ලකුණු රැස්කිරීමේ අන් ක්‍රමයක් ගැන සිතා ගත නොහැකි විය. තරගය පුරාම ක්‍රීඩකයන් දෙදෙනා කරට කර ක්‍රීඩා කළ නමුත් ජූරියේ 3-2ක බහුතරය දිනා ගැනීමට අවශ්‍ය ප්‍රදර්ශනය හෙට්ටිආරච්චි විසින් සිදුකර තිබිණි. එබැවින් ඔහුට ජය හිමි විය.

කාන්තා, කි.ග්‍රෑ. 48-51 (ෆ්ලයි වෙයිට්) බර පන්තිය වෙනුවෙන් අවසන් වටයට සුදුසුකම් ලැබූ ඉංගිරිය ගාමිණී විද්‍යාලයේ එස්. කුමාරි සහ පල්ලේබෝවල කනිෂ්ඨ විද්‍යාලයේ ඊ. ප්‍රියදර්ශනී, දිනයේ අවසන් තරගය වෙනුවෙන් බොක්සිං වළල්ල තුළට පිවිසුණි.

තරගාවලියේ පළමු සහ දෙවන දින දෙක තුළ දී කුමාරි අතින් පරාජය වූයේ පිළිවෙළින් හොරණ විද්‍යාරතනයේ පී. රශාදි සහ පල්ලේබෝවල විද්‍යාලයේ කේ. රණවීර ය. ප්‍රියදර්ශනී විසින් පිළිවෙළින් ඩී. කෞශල්‍යා සහ ඉංගිරිය ගාමිණී විද්‍යාලයේ වී. සෙව්වන්දි පරාජය වී තිබිණි.

ආරම්භයේ සිටම මුහුණට මුහුණලා ප්‍රබල සටනක් ප්‍රදර්ශනය කළ කුමාරි සහ ප්‍රියදර්ශනී සම සමව ලකුණු රැස්කළ බවක් දිස්විය. පුහුණුකරුවන්ගේ දැඩි උපදේශනයන් මැද දෙදෙනා දෙවන සහ තෙවන වට පසු කළේ කාය වෙහෙස හොඳින් දරා ගනිමිනි. තරගයේ තාක්ෂණික පසුබිම එතරම් සතුටුදායක මට්ටමක නොතිබුණත් ජූරියේ 3-2ක බහුතර මතයක් ලබා ගනිමින් ජය ලබන්නට ඊ. ප්‍රියදර්ශනී සමත් විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනා තෝරා ගැනෙන මූලික සංචිතයට ඇතුළත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේයි.

  • පිරිමි, ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය – එස්. බණ්ඩාර (ධීරානන්ද විද්‍යාලය)
  • පිරිමි, ෆ්ලයි වෙයිට් බරපන්තිය – කෙවින් ප්‍රියසිංහ (රාජකීය විද්‍යාලය)
  • පිරිමි, බැන්ටම් වෙයිට් බරපන්තිය – වී.හෙට්ටිආරච්චි (රාජකීය විද්‍යාලය)
  • කාන්තා, ෆ්ලයි වෙයිට් බරපන්තිය – ඊ.ප්‍රියදර්ශනී (පල්ලේබෝවල කනිෂ්ඨ විද්‍යාලය)

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට