ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ජයග්‍රහණය

1666
Sri Lanka U19 vs India U19

ආසියානු ක්‍රිකට් කවුන්සිලය මගින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම, මූලික වටයේ සහභාගි වන අවසන් තරඟය අද (18) ඉන්දීය යොවුන් කණ්ඩායම සමඟින් මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේදී පැවැත්විය. මෙම තරඟයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: විශ්ව, කමිඳු ශ්‍රී ලංකාවට ජය ගෙන එයි

කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. එහිදී විශ්ව චතුරංග හා රෙවාන් කෙලී ලකුණු 58ක ආරම්භක සබඳතාවයක් ලබාගත් අතර ශ්‍රී ලංකා ඉණිමේ පළමු කඩුල්ල ලෙස විශ්ව චතුරංග 4 පහර 9ක් සමඟින් ලකුණු 44කට දැවී යන ලදි. ඔවුන් ගෙන ආ සාර්ථක සබඳතාවය තවත් ඉදිරියට ගෙන යාමට පැමිණි නායක කමිදු මෙන්ඩිස්, ලකුණු 12කට දෙවන කඩුල්ල ලෙස දැවීයන ලදි. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 81කට කඩුලු 2ක් ලෙස දිස්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරණය ඉන්දීය පන්දු හමුවේ අසාර්ථක වූ අතර ලකුණු 115ක් වන විට කඩුලු 7ක් දැවී ගොස් තරමක අපහසුතාවට ලක්ව සිටින ලදි. ජෙහාන් ඩැනියල් එම බර කරට ගෙන අවසන් පෙල පිතිකරණය සවිමත් කල අතර ඔහු 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 67ක් ලබාගෙන තරමකට හෝ සෑහීමකට පත්විය හැකි ලකුණු පුවරුවක් දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන ලදි.

ඉන්දීය තරුණ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 32ක් තුල කඩුලු 3ක් දවාලූ ශිවා සිං දක්ෂ පන්දු යැවීමක නිරත විය. ඔහුට සහය ලබාදුන් යැෂ් සන්ජීව්සිං ලකුණු 38කට කඩුලු 3ක් දවාගන්නා ලදි.

ලකුණු 208ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම, පළමු පන්දුවාර කිහිපය තුල ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට ප්‍රහාරාත්මක පිතිකරණයක් දියත් කල අතර පන්දුවාර 10කදී කඩුලු 2ක් දැවී ලකුණු 60ක් ලබාගැනීමට ඉන්දීය මුල්පෙල පිතිකරණය සමත් විය. එහිදී සුහුබ්මන් ගිල් ලකුණු 78ක් ලබා ගන්නා ලදි. ගිල් මැදපෙළ පිතිකරණය සවිමත් කරමින් මනරම් 4 පහර 10ක් හා එක් 6 පහරක් සමඟින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය. ඔහු සමඟින් එක්වූ නායක අභිෂේක් ශර්මා ලකුණු 86ක අගනා සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූ අතර එම සබඳතාවය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට විශාල හිසරදයක් විය. එහිදී නායකත්වයේ පිත්ත එක් 4 පහරක් හා එක් 6 පහරක් ටිරොන් ප්‍රනාන්දු පිටියේ සීමාව ඉක්මවා යැවීමට සමත් විය. ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 30ක් තුල කඩුලු 2ක් දවාගන්නා ලදි.

අවසානයේ කඩුලු 6ක සුපිරි ජයග්‍රහණයක් ලබාගත් ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟින් A කාණ්ඩය යටතේ අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

ශ්‍රී ලංකා 19න් පහළ තරුණ කණ්ඩායම207/10 (48.5): ජෙහාන් ඩැනියල් 67, විශ්ව චතුරංග 44, රීවන් කෙලී 27, ශිවා සිං 3/32, යැෂ් සන්ජීව්සිං 3/38

ඉන්දීය 19න් පහළ තරුණ කණ්ඩායම208/04 (39.5): සුහුබ්මන් ගිල් 78, පන්කජ් ෂෝ 36, අභිශේක් ශර්මා 33, ප්‍රවීන් ජයවික්‍රම 2/30

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට