ඩක්වර්ත් ලුවිස් න්‍යායෙන් ශ්‍රී ලංකාව අවසන් තරඟයට

505
Sri Lanka v Bangladesh

19න් පහල ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී බංගලාදේශයට එරෙහිව පැවති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 26කින් ජයගත් ශ්‍රී ලංකාව, තරඟාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට සමත් විය. තරඟය පැවැත්වූයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ විදුලි ආලෝකය මධ්‍යයේ ය. අවසන් තරඟයේදී ශ්‍රී ලංකා යෞවනයින්ට ඉන්දියානු යෞවනයින් මුණගැසීමට නියමිතයි.

පසුගිය ලිපි: ඉන්දියාව 19න් පහල ආසියානු යොවුන් කුසලානයේ අවසන් තරඟයට

ශ්‍රී ලංකාව තරඟයේ දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන අතරතුර වර්ෂාව ක්‍රීඩාංගනය වෙත ඇදහැළුණු අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තීරණය ලබාදීම තරඟ තීරකවරයා අතින් සිදුවිය.

තරඟයේ කාසියේ වාසිය ලබාගත් බංගලාදේශ නායක සයිෆ් හසන් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළේය. ලකුණු 42ක සබඳතාවයකින් පසුව බංගලාදේශ ප්‍රථම කඩුල්ල ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් විය .පසුව දිගු සබඳතාවයන් සඳහා බංගලාදේශ පිතිකරුවන්ට කිසිසේත්ම ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් දිගින් දිගටම බංගලාදේශ කඩුළු දවාලන්නට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් ජයවික්‍රම, තම පන්දු ඕවර 10 තුළදී ලකුණු 25ක් පමණක් ලබාදෙමින් බංගලාදේශ කඩුළු 4ක් දවාලූයේය. ඔහුට අනෙක් පසින් සහය වූ හරීන් වීරසිංහ, ලකුණු 29ක් පමණක් ලබාදෙමින් කඩුළු 3ක් දවාගත්තේය.

ශ්‍රී ලංකා පිලට වැඩි වාසිය ගෙන එමින් පන්දු ඕවර 48.3ක් තුළ සියළු බංගලාදේශ පිතිකරුවන් දැවීගියේ ලකුණු 194ක් පමණක් ලබාගනිමිනි.

ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත ක්‍රීඩාවක් ලෙස ප්‍රකට නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක අවශ්‍යතාව නිතැතින්ම දැනිණි. ඒ වගකීම කරට ගත් විශ්ව චතුරංග සහ රෙවාන් කෙලී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 74ක සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. ලකුණු 104ක් තුළ මුල් කඩුළු දෙක දැවුණු අතර ඉන් පසුව පිතිකරණයට එක්ව සිටියේ හසිත බෝයගොඩ සහ කමිඳු මෙන්ඩිස් ය.

ඔවුන් දෙදෙනා පිතිකරණයේ යෙදී සිටියදී දැඩි වර්ෂාවක් පිටිය මතට කඩාවැටුණු බැවින් ක්‍රීඩකයන් සියළු දෙනා ක්‍රීඩාගාරය වෙත හැරිණි. තරඟය ආරම්භ කිරීම සඳහා කිසිදු සහයක් කාලගුණයෙන් නොලැබුණු නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය, තරඟයේ තීරණය වෙනුවෙන් යොදාගැනිණි.

එහිදී ශ්‍රී ලංකාව ලබාගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව ලකුණු 81කි. ඊට වඩා ලකුණු 26කින් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, අවසන් තරඟය වෙත දොරගුළු විවර කරගත්තේය.

අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගය වන්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමයි. එම තරඟය හෙට (23) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවාරාත්‍රී තරඟයක් ලෙසින් පැවැත්වේ.

බංගලාදේශය – 194 (48.3) – අෆිෆ් හොසේන් 36, රයන් රහමාන් 38, 4/25 ප්‍රවීන් ජයවික්‍රම,3/29 හරීන් වීරසිංහ.

ශ්‍රී ලංකාව – 106-2 (27.1) – විශ්ව චතුරංග 68, රෙවාන් කෙලී 23, 2/12 නයීම් හසන්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට