ශ්‍රී ලංකාවට එක් ලකුණක ජයක්

1379
Youth Asian Cup 2016

19න් පහල ආසියානු යොවුන් කුසලාන තරඟාවලිය ආරම්භ කරමින්, එහි “A” කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අද (15) කොළඹ NCC පිටියේදී තරඟයට පිවිසි අතර එයින් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරඟය අවසන් ඕවරය තෙක් තරඟකාරී වූ අතර ශ්‍රී ලංකාව ජය ලබාගත්තේ එක් ලකුණකිනි.

පසුගිය ලිපි: 19න් පහල ආසියානු යොවුන් කුසලානය ශ්‍රී ලංකාවේදී

නේපාල කණ්ඩායම කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ලදී.

ඒ අනුව පිටියට පිවිසි විශ්ව චතුරංගව දිනයේ ප්‍රථම පන්දුවෙන්ම දවාගන්නට නේපාලයේ කේ. එස්. අයිරී සමත් විය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව ස්ථාවර අඩියකට ගෙන ඒමේ වගකීම භාරගත් රේවන් කෙලී සහ හසිත බෝයගොඩ ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් තරමක අඩිතාලමක් දැමීමට සමත් විය. ලකුණු 68ක සම්බන්ධතාවකින් පසුව කෙලී දැවීගියේය. පසුව හුදකලා සටනක නිරත වූ හසිත ලකුණු 83ක් දක්වා තම පෞද්ගලික ලකුණු තත්වය ඉහල නංවාගත්තේය.

ඔහුට සහයක් දෙන්නට අශේන් බණ්ඩාර හැරෙන්නට අන් කිසිදු ක්‍රීඩකයෙකු අසමත් වූ අතර අංක 7 ස්ථානයේ ක්‍රීඩා කළ අශේන්, ශ්‍රී ලංකා ඉනිම අවසන් වනතෙක් රැඳී සිටිමින් නොදැවී ලකුණු 48ක් රැස්කළේය. අනෙකුත් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු දහයේ, විස්සේ සීමාවට පැමිණ ආරම්භයන් ලබාගත් නමුත් කිසිවෙකු දිගු ඉනිමක් කරා නොගියේය.

නේපාලය වෙනුවෙන් අයිරී කඩුළු 3ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු ඕවර 50 අවසානයේදී කඩුළු 8ක් දැවී ලකුණු 227ක් රැස්කරගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පැමිණි නේපාල කණ්ඩායමේ පළමු කඩුළු දෙක, ලකුණු 5ක් තුළදී දවාගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

නමුත් නේපාලයට හොඳ ස්ථාවරත්වයක් ලබාදීමට ආදිල් ඛාන් සහ ඩී. එස්. අයිරී සමත් විය. ආදිල් ලකුණු 39ක් සහ අයිරී ලකුණු 90ක් වාර්තා කළේය. කමිඳු මෙන්ඩිස් සාර්ථක පන්දු යැවීමක නිරතවෙමින් කඩුළු 3ක් වාර්තා කළේය. පන්දු ඕවර 48ක් අවසානයේදී ලකුණු 217-7ක් ලබාගෙන ප්‍රබල තත්වයක පසුවිය.

නේපාල කණ්ඩායමේ 8වන කඩුල්ල දුවද්දී දැවී යාමකින් අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්වීමත් සමඟ ශ්‍රී ලංකාව නැවතත් තරඟයට අවතීර්ණ විය.

අවසන් පන්දු ඕවරයේදී නේපාල කණ්ඩායම ලකුණු 8ක් ලබාගත යුතුව තිබිණි. ප්‍රවීන් ජයවික්‍රම විසින් යැවූ හොඳ අවසන් පන්දු ඕවරයක් තුළදී ලකුණු 90ක් ලබා සිටි අයිරී දුවද්දී දැවීයාමත් සමඟ ශ්‍රී ලංකා යෞවනයන් තරඟය ලකුණකින් ජයග්‍රාහීව නිමකරන්නට සමත් විය.

ශ්‍රී ලංකාව – 227-8 (50): හසිත බෝයගොඩ 83, ක්‍රිෂාන් සංජුල 28, අශේන් බණ්ඩාර 48*, රේවන් කෙලි 19, කමල් සින්ග් අයිරී 3/43, පවන් සර්රාෆ් 2/27

නේපාලය – 226 (49.3):  ආදිල් ඛාන් 39, ඩිපෙන්ද්‍ර සින්ග් අයිරී 90, අවිනාශ් කාර්න් 40, කමිඳු මෙන්ඩිස් 3/37.

දිනයේ පැවති අනෙකුත් තරඟවල ප්‍රතිඵල.

  • ඇෆ්ඝනිස්තානය – 146 (48.3)
  • බංගලාදේශය – 150/6 (43.1) බංගලාදේශයට කඩුළු 4ක ජයක්.
  • ඉන්දියාව – 289/8 (50)
  • මැලේසියාව – 54 (22.3) ඉන්දියාවට ලකුණු 235ක ජයක්.
  • සිංගප්පූරුව – 78 (25.1)
  • පාකිස්තානය – 80-1 (8.1) පාකිස්තානයට කඩුළු 9ක ජයක්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට