පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට තියුණු ජයක්

2225

“14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලානය” (West Asia Baseball Cup) අද (15) දිනයේ දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග වැදුනු අතර එහිදී ලකුණු 2 – 1ක් ලෙස තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Photos: West Asia Baseball Cup 2019 – Captains Press Conference

ThePapare.com | Sithija De Silva | 15/07/2019 Editing and re-using…


අද දින පස්වරුවේ පසුගිය වසරේ (2017) බටහිර ආසියානු බේස්බෝල් අනුශූරතාවය දිනාගත් පාකිස්තානය සහ ඉරානය තරග වැදුනු අතර ඉන් ලකුණු 11 – 1ක් ලෙස පහසු ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූයේ පාකිස්තාන කණ්ඩායමයි.

පළමු තරගය – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව

සම්ප්‍රදායානුකූල බේස්බෝල් නීති රීති වලට අනුව මෙම තරගයේ සත්කාරක කණ්ඩායම (Home Team) ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනුව පිතිකරණයේ යෙදුනි.

තරගයේ පළමු ඉනිමේ පළමු පිතිකරණ අවස්ථාවට පිවිසි ඉන්දීය ක්‍රීඩකයින් නියමිත දැවීම් (outs) 3 අවසානයේ කිසිඳු ලකුණක් රැස්කර ගැනීමට අසමත් වූ අතර ඉන්පසු පිතිකරණ අවස්ථාව හිමිවූ ශ්‍රී ලංකා කණ්ඩායමට ද ලකුණු රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදීමට ඉන්දීය ක්‍රීඩකයෝ පියවර ගත්හ.

ඉන්පසු තරගයේ ඉනිම් 4ක් තුළදී ම කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කර ගැනීමට නොහැකි වූ අතර තරගයේ 6 වන ඉනිමේ දී ක්‍රියාත්මක වූ ඉන්දීය ක්‍රීඩක භාරත් විසින් තරගයේ පළමු ලකුණ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට සමත් විය. පිළිතුරු ඉනිමේ පිතිකරණයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිඳු ලකුණක් රැස්කර ගැනීමට ඉන්දීය ක්‍රීඩකයන් අවස්ථාවක් ලබා නොදුනි.

තරගයේ 7 වන ඉනිමේ පළමු පිතිකරණයට පිවිසි ඉන්දීය කණ්ඩායමට කිසිඳු ලකුණක් රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදී නියමිත දැවීම් 3 දවාගත් අතර පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ලකුණ අමිල පුෂ්පකුමාර විසින් වාර්තා කිරීමට සමත් විය.

ඉන්පසු ක්‍රියාත්මක වූ තරගයේ 8 වන ඉනිමේ දී කණ්ඩායම් දෙකටම එකඳු ලකුණක් හෝ ලබාගත නොහැකි විය.

තරගයේ අවසන් ඉනිම වූ 9 වන ඉනිමේ දී ඉන්දීය කණ්ඩායමේ දැවීම් 3 ලකුණු ලබාදීමකින් තොරව දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඉන්පසු තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය එක් ලකුණ ලබා ගැනීමට පිතිකරණයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු දැවීම ලබාගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. එම දැවී යාමෙන් පසු පිටියට පිවිසි නවීන් කස්තුරි මුදලි විසින් මැද පිටිය රකින ක්‍රීඩකයාට (Center Fielder) ඉහළින් එල්ල කරන ලද පහරෙන් ඔහු 3 වන බේසය (3rd Base) දක්වා යාමට සමත් විය. ඉන්පසු පිතිකරණයට පැමිණි සහන් අවිශ්ක එල්ල කරන ලද පහර ඉන්දීය කණ්ඩායමේ ශෝර්ට්-ස්ටොප් ක්‍රීඩකයා (Short-Stop Player) විසින් රැකගත් නමුත් ඒ වනවිට නවීන් කස්තුරි මුදලි විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ලකුණ රැස්කර ගෙන අවසන් වී තිබිනි.

ජයග්‍රාහී පහර එල්ල කිරීමෙන් පසු සහන් අවිශ්ක සතුට සමරන අයුරු

අවසන් ලකුණු තත්වය : ශ්‍රී ලංකාව 2 – 1 ඉන්දියාව

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

ශ්‍රී ලංකාව – අමිල පුෂ්පකුමාර (1R), නවීන් කස්තුරි මුදලි (1R).

ඉන්දියාව –
භාරත් (1R).

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින මීළඟ තරගය නේපාලය සමඟ හෙට (16) දින පෙ.ව. 9.00ට ආරම්භ වීමට නියමිතය.

බටහිර ආසියාවේ බේස්බෝල් ගැටුමට පෙර

මෙවර “බටහිර ආසියානු බේස්බෝල් කුසලානය” (West Asia Baseball Cup)…..


දෙවන තරගය – පාකිස්තානය සහ ඉරානය

මෙම තරගයේ සත්කාරක කණ්ඩායම (Home Team) පාකිස්තානය වූ අතර තරගයේ ප්‍රථමයෙන් පිතිකරණ අවස්ථාව ඉරාන කණ්ඩායමට හිමිවිය.

ඉරාන කණ්ඩායමේ පළමු ඉනිමේ දැවීම් 3 ලකුණු ලබාදීමකින් තොරව දවාගත් පාකිස්තාන කණ්ඩායම පිළිතුරු ඉනිමේ දී ලකුණු 2ක් රැස් කරමින් පෙරමුණ ගැනීමට සමත් විය.

ඉරාන කණ්ඩායමේ දෙවන ඉනිමේ පිතිකරණයේ දීද ලකුණු රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදුන් පාකිස්තාන ක්‍රීඩකයින් පිළිතුරු ඉනිමේ දී ලකුණු 4ක් රැස්කර ගැනීමට සමත් විය.

තෙවන ඉනිමේ ප්‍රථමයෙන් පිතිකරණයට පැමිණි ඉරාන ක්‍රීඩකයින් එක් ලකුණක් වාර්තා කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට ද එම ඉනිමේ දී එක් ලකුණකින් සෑහීමකට පත්වීමට සිදුවිය.

තරගයේ 4 වන සහ 5 වන ඉනිම් වලදී ඉරාන කණ්ඩායමට ලකුණු රැස්කරගත නොහැකි වූ අතර පාකිස්තාන කණ්ඩායම එම ඉනිම් වලදී පිළිවෙළින් ලකුණු 1 සහ 2ක් රැස්කර ගෙන තවදුරටත් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

තරගයේ 6 වන ඉනිමේ දී නැවතත් කණ්ඩායම් දෙකම ලකුණු අතරට නොපිවිසි අතර ඉන්පසු ක්‍රියාත්මක වූ 7 වන ඉනිමේ දී ඉරාන ක්‍රීඩකයින්ට ලකුණු රැස් කිරීමට අවස්ථාවක් ලබා නොදීමට පාකිස්තාන ක්‍රීඩකයෝ වගබලා ගත්හ. “7 වන ඉනිමේ ලකුණු 10ක පරතරය” සඳහා එක් ලකුණක අඩුවකින් යුතුව පිතිකරණයට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයන් පහසුවෙන් එම ලකුණ රැස්කර ගෙන තරගය ජයග්‍රහණය කළේය.

අවසන් ලකුණු තත්වය: ඉරානය 1 – 11 පාකිස්තානය

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

ඉරානය – ජලාල් ෆරාහි (1R).

පාකිස්තානය –
අර්සලාන් ජම්ශෙඩ් (1R), සුමයිර් සවාර් (2R), සර්වීර් හුසේන් (2R), උබයිද් උල්ලා (3R), සකීර් අෆ්රිඩි (2R), රාෆි (1R).

ලෝක ශූරියෝ හමුවේ දුලංගිගේ දස්කම් කැපී පෙනෙයි

ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනය (International Netball Federation)….


පාකිස්තානය සහ බංගලාදේශය අතර තරගය හෙට (16) ප.ව. 2.00ට ආරම්භ වීමට නියමිත අතර මෙවර බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ නිල ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස ThePapare.com අප සියලුම තරග වාර්තා, ඡායාරූප සහ විශේෂ දසුන් ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටි. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<