ශ්‍රී ලංකාවේ අභිනව ‘Karting’ ධාවන පථයේ දී පැවති X30 ආසියානු කුසලානය

189

ශ්‍රී ලංකාවේ පළමු ‘Karting’ ධාවන පථය (SLKC) පසුගිය 13 වන දා බණ්ඩාරගම දී විවෘත කිරීමෙන් අනතුරුව එහි දී ශ්‍රී ලංකාවේ අභිනව ජාත්‍යන්තර ‘Karting’ තරගාවලිය වන X30 ආසියානු කුසලානය පැවැත්වීම නිසාවෙන් එදින ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන් වූ දිනයක් විය.

ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම මඟින් ඉදිකරනු ලැබූ මෙම ශ්‍රී ලංකා ‘Karting’ ධාවන පථය ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ මේ සඳහා සංකල්පමය දායකත්වය ලබා දුන් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ සභාපති ඩේවිඩ් පීරිස් මහතා විසින් විවෘත කරනු ලැබීය.

තරගාවලිය සඳහා ලෝව පුරා රටවල් 8ක් නියෝජනය කරමින් ධාවකයන් 40කට අධික ප්‍රමාණයක් සහභාගී වූ අතර මෙහි ජයග්‍රාහකයින් හට එළඹෙන සැප්තැම්බර් මාසයේ ප්‍රංශයේ දී පැවැත්වෙන IAME ලෝක ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වරම් හිමි විය. තරගාවලිය ‘Cadet’, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ ‘Master/Veteran’ යනුවෙන් කාණ්ඩ 4ක් යටතේ පැවති අතර එහි දී පළමුව පැවතියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය යි. සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයෙන් අනතුරුව අදාළ කාණ්ඩ 4 යටතේම කාණ්ඩ තරග වටයේ තරග පවත්වනු ලැබූ අතර එය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය.

අනතුරුව තරගාවලියේ දෙවන දිනයේ දී අවසන් පූර්ව තරග සහ අවසන් වටයේ තරග පවත්වනු ලැබීය. එහි දී ‘cadet’ කාණ්ඩයේ ශූරතාවය දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා සම්භවයක් සහිත 8 හැවිරිදි යෙවාන් ඩේවිඩ් ය. ඔහුගේ බාල සොහොයුරන් දෙපළ වූ යෙවින් සහ යැනික් ද මෙම තරගාවලිය සඳහා සහභාගී වූ අතර ඔවුන් මේ වන විට සිටින්නේ සිංගප්පූරුවේ වන බැවින් ශ්‍රී ලංකාව තුළ දී ඔහු ලබාගත් මෙම ජයග්‍රහණය ඔහුට අතිශය වැදගත් වනු ඇත. අනතුරුව තරගාවලියේ කනිෂ්ඨ අංශයේ ශූරතාවය දිනාගනු ලැබුවේ දින දෙක පුරාවටම එහි දී සිය අණසක පතුරුවාගත් කාලෙන් චින් විසිනි.

අනතුරුව පැවති ‘Masters’ කාණ්ඩයේ ශූරතාවය දිනාගනු ලැබුවේ ජේසන් බර්න්ස් විසිනි. සිය ඉංජිනේරු, තාක්ෂණික සහ කළමනාකරණ කටයුතු සියල්ල ඔහු විසින් තනිව සිදුකර ගන්නා පහසුවෙන් මෙම ජයග්‍රහණය ලබාගනු ලැබීය. සිව් වරක් ඕස්ට්‍රේලියානු ‘Karting’ ශූරයා ලෙස කිරුළු පැළඳ ඇති ඔහු දැන් තරග වදින්නේ සිංගප්පූරු ධජය යටතේ ය.

පසුව පැවති සියලු දෙනාගේ ආකර්ෂණය දිනාගත් තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රහණය හිමිකරගනු ලැබුවේ 2017 X 30 ශූරයා වූ ප්‍රසේත්‍යෝ හාර්ජා විසිනි. එමෙන්ම ඩේවිඩ් පීරිස් මහතාගේ පුත් එෂාන් පීරිස් විසින් ද මෙහි දී කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරන්නට සමත් වූ අතර එහි දී ඔහු හාර්ජා හට වට 20 පුරාවටම ඉතා ප්‍රබල තරගයක් ලබා දෙන්නට සමත් විය.

මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ ඉහළ තරග අංශවලට තරගකරුවන් බිහිකරන ක්‍රීඩාවක් ලෙස සැලකෙන ‘Karting’ ක්‍රීඩාව වයස අවුරුදු 8 තරම් කුඩා අවධියේ දරුවන්ට පවා ක්‍රීඩා කිරීමට හැකි අතර එය F1 ධාවනයකට ඉතා ආසන්න අත්දැකීමක් ලබා දෙන බවට ද සැලකේ. පසුව මෙම X 30 ධාවන තරග සංකල්පය බිහිකරනු ලබන්නේ ඉතාලි ජාතික මෝටර් රථ ධාවන සමාගමක් වන IAME සමාගම විසිනි. ඒ අනුව 2005 වසරේ දී ආරම්භ වූ මෙම තරග අංශය වයස අවුරුදු 8 සිට සියලුම වයස් කාණ්ඩ ආවරණය කරමින් පැවැත්වෙන අතර මේ වන විට රටවල් 25ක නිල ධාවන ඉසව්වක් ලෙස සැලකෙන මේ සඳහා ජාත්‍යන්තර තරගාවලි දෙකක් සහ තවත් කලාපීය තරගාවලි කිහිපයක්ම පැවැත්වේ.

පසුගිය දශකයක කාලය තුළ ‘Karting’ ක්‍රීඩාව දකුණු ආසියානු කලාපය තුළ ද ජනප්‍රියත්වයට පත්වූ අතර ආසියාව තුළ පැවති පළමු X 30 තරගාවලිය 2015 වසරේ දී සිංගප්පූරුවේ දී පවත්වනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ අභිනව ‘Karting’ ධාවන පථය ඉදිකර, ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලානය අග්නිදිග ආසියාවෙන් බැහැරට ගෙනගොස් එය ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් ශ්‍රී ලංකාව ද මෙම ක්‍රීඩාවට එක්වනු ලැබීය.

බණ්ඩාරගම ඉදිකෙරුණු මෙම ‘Karting’ ධාවන පථය මීටර 1219ක දුරකින් සමන්විත වන අතර තරගාවලිය සඳහා එක්වූ ධාවකයින් බොහෝ දෙනෙක් පවසා සිටියේ මෙය ඔවුන් තරග කළ හොඳම ධාවන පථ අතරින් එකක් වන බවයි. තරගාවලියේ පළමු දිනයේ දී එක් තරග වටයක් සඳහා හොඳම කාලය ලෙස තත්පර 52ක් වාර්තා වූ අතර දෙවන දිනයේ දී එය තත්පර 53ක් විය. මෙම ධාවන පථයේ ඇති ස්වභාවය නිසා තරගකරුවන් හට ලෝකයේ අනෙක් ධාවන පථවල දී නොලැබෙන අභියෝගයක් ලැබෙන අතර ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්‍ෂේත්‍රයට අතිශය වැදගත් එක් කිරීමක් වනු ඇත. ‘David Peiris Racing and Leisure (DPRL)’ වැඩසටහන සතුව දේශීය තරගාවලි ක්‍රමයක් ද පැවැත්වෙන බැවින් ඉදිරියේ දී ‘Karting’ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජය ගැනීමට මෙම මහත් රුකුලක් වනු ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<