ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගය අද (2) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර, එංගලන්තයේ ටවුටන් නුවර, කන්ට්‍රි ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.

වාර්තා වැස්සක සතුට දිය කළ පරාජය

කාන්තා ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින් චමරි අතපත්තු නොදැවී රැස්කළ ලකුණු 178ක විශිෂ්ට ඉනිමෙන් ..

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකා ඉනෝකා රණවීර පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගත්තාය.

ඒ සමඟ පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් දෙපළ පළමු කඩුල්ල සඳහා පන්දුවාර 12යි පන්දු 5ක් වැය කරමින් ලකුණු 44ක සබඳතාවයක් ගොඩනඟන ලදි. එහි දී පළමු කඩුල්ල ලෙස දැවී ගිය නිපුනි හංසිකා 4 පහර 3ක් සමඟින් ලකුණු 17ක් රැස්කළ අතර, ඇයගේ කඩුල්ල දවා ගැනීමට නතාලියා ස්කයිවර් සමත් වූවාය.

අනතුරුව පෙර තරගයේ සුපිරි පිතිකරණයක නිරත වූ චමරි අතපත්තු පිටියට පැමිණිය ද, ඇයව එක් ලකුණකට දවා ගැනීමට ස්කයිවර් සමත් වූවාය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2ක් දැවී ලකුණු 51ක් ලෙස දැක්විය.

හශිනි පෙරේරා සමඟින් එක්වූ ශසිකලා සිරිවර්ධන එංගලන්ත පන්දු යවන්නියන් හමුවේ යම්තාක් මට්ටමකට සාර්ථක වෙමින් තෙවන කඩුල්ල සඳහා ලකුණු 33ක සබඳතාවයක් ගොඩනැංවූ අතර, එම සබඳතාවයට තිත තබමින් අර්ධ ශතකය පෙනෙන මානයේ සිටි හශිනි ලකුණු 46කට දවා ගැනීමට ලවුරා මාෂ්ට හැකි විය. හශිනි තම ඉනිම ගොඩනැංවීමට පන්දු 63ක් වැය කළ අතර, තම ඉනිමට 4 පහර 6ක් ද අන්තර්ගත කිරීමට සමත් විය.

සිව්වන කඩුල්ල සඳහා ලකුණු 34ක සබඳතාවයක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව තව තවත් සවිමත් කිරීමට ශසිකලා හා එක් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා ඩිලානි සුරංගිකා සමත් වූවාය. දකුණතින් පිතිකරණයේ නිරත වන ශසිකලාගේ කඩුල්ල වෙතම ඇදී ආ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් ඇයට ද ක්‍රීඩාගාරය දෙසට හැරෙන්නට වූ අතර, ඒ වන විට ඇය 4 පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබාගෙන සිටියාය.

ඒ වන විට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 29ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 118ක් වාර්තා කර තිබුණි. ඕෂධී රණසිංහ හා අමා කාංචනා එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ සවිමත් කරමින් ලකුණු රැස්කළ අතර, රණසිංහ ලකුණු 26කට දැවී යන විට, ඇයට අගනා සහයක් ලබා දුන් අමා කාංචනා 4 පහර 2ක් හා එක් 6 පහරක් සමඟින් නොදැවී ලකුණු 34*ක් ලබාගෙන සිටියාය. නියමිත පන්දුවාර 50 තුල ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 204ක් වාර්තා කිරීමට සමත් විය.

එංගලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් දකුණතින් පන්දු යැවූ ලවුරා මාෂ් තමාට හිමි පන්දුවාර 10 අවසානයේ ලකුණු 45ක් තුල කඩුලු 4ක් දවාලූ අතර, ඇයට අනගි සහයක් වුන නතාලියා ස්කයිවර් පන්දුවාර 8ක් තුල ලකුණු 32ක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ලකුණු 205ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් දෙපළ වූ ලවුරන් වින්ෆීල්ඩ් හා තම්සින් බෙවුමොන්ට් පන්දු 31ක් තුල ලකුණු 33ක් තම කණ්ඩායම වෙනුවෙන් එකතු කරන ලදි. එම සබඳතාවය අවසන් කරමින් දැවී ගිය බෙවුමොන්ට්, ලකුණු 12ක් ලබා ගත් අතර, ඇයගේ කඩුල්ල දවා ගැනීමට අමා කාංචනා සමත් වූවාය.

අනෙක් අන්තයේ ක්‍රීඩා කරමින් සිටි ආරම්භක පිතිකාරිනිය වූ ලවුරන් වින්ෆීල්ඩ් පන්දු 24ක් තුල වර්ණවත් 4 පහර 5ක් එල්ල කරමින් ලකුණු 26ක් ලබාගෙන සිටිය දී කාංචනාගේ සුපිරි පන්දුවකට මිඩ් ඕන් කලාපයේ රැඳී සිටි ඕෂධී රණසිංහ අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේ, ශ්‍රී ලංකා කණ්ඩායමට යම් සැනසිලිදායක වාතාවරණයක් උදා කරමිනි.

නමුත් එයින් නොනැවතුණු එංගලන්ත මැදපෙළ පිතිකාරිනියන් වන සාරා ටේලර් හා කණ්ඩායම් නායිකා හීතර් නයිට් ලකුණු 148ක  දැවැන්ත සබඳතාවයක් තෙවන කඩුල්ල සඳහා ගොඩනඟමින් ශ්‍රී ලංකා කණ්ඩායම විශාල අගාධයකට ඇඳ දමන ලදි. තම කණ්ඩායමේ ජයග්‍රහණය පෙනෙන මානයේ තිබිය දී තෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගිය හීතර් නයිට් සිය 13 වන අර්ධ ශතකය සමඟින් පන්දු 76ක් තුල ලකුණු 82ක් රැස්කළේ 4 පහර 10ක් හා එක් 6 පහරක් සිය ඉනිමට අන්තර්ගත කරවමිනි. ඇයගේ කඩුල්ල දවා ගැනීමට චමරි අතපත්තු සමත් විය.

ඇය සමඟින් එක්ව තම කණ්ඩායම ජයග්‍රහණය සඳහා මෙහෙය වූ සාරා ටේලර් සිය 18 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය සමඟින් නොදැවී ලකුණු 74*ක් වාර්තා කළාය. එම අගනා ඉනිම සඳහා පන්දු 67ක් වැය වූ අතර, ඊට දැකුම්කළු 4 පහර 11ක් ද ඇතුළත් විය. අවසානයේ එංගලන්තය කඩුලු 3ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී අමා කාංචනා පන්දුවාර 6ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 32ක් තුල කඩුලු 2ක් දවා ගන්නා ලදි.

මෙම තරගාවලියේ දැනට සහභාගි වූ තරග තුනෙන්ම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූ අතර, එහෙයින් මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම ද යම් අවදානම් මට්ටමකට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුලු 8ක් දැවී 204 (පන්දුවාර 50): හශිනි පෙරේරා 46, අමා කාංචනා 34*, ශසිකලා සිරිවර්ධන 33, ඩිලනි සුරංගිකා 28, ලවුරා මාෂ් 4/45, නතාලියා ස්කයිවර් 2/32

එංගලන්ත කාන්තා කණ්ඩායම – කඩුලු 3ක් දැවී ලකුණු 206 (පන්දුවාර 30.2): හීතර් නයිට් 82, සාරා ටේලර් 74*, ලවුරන් වින්ෆීල්ඩ් 26, අමා කාංචනා 2/32

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ලබන 5 වැනි දා ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන්නේ එංගලන්තයේ, ඩර්බි නුවර කන්ට්‍රි ක්‍රීඩා පිටියේ දී ය.

sl bat (2)

sl bowl (1)

eng bat

Eng bowl (1)

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට