රග්බි කිරුළ දිනන්නට යන කෝඩුකාර සරසවි සිසුන්

1133

දෙවසරකට වරක් පැවැත්වෙන ලෝක විශ්ව විද්‍යාල රග්බි ශූරතා තරගාවලිය 8 වැනි වරටත් මේ මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා නැමීබියා දේශයේ “ස්වාකප්මුන්ඩ්” අගනුවර දී  පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල රග්බි සංචිතයක් සහභාගී වන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වන අතර අවසන් වරට 2016 දී බ්‍රිතාන්‍යයේ “ස්වාන්සේ” අගනුවර දී පැවති තරගාවලියේ බාලක ශූරතාවය ඕස්ට්‍රේලියාව විසින් දිනා ගත් අතර බාලිකා ශූරතාවය ප්‍රංශය විසින් දිනා ගන්නා ලදි. මෙවර බාලක අංශය වෙනුවෙන් රටවල් 16ක් හා බාලිකා අංශය වෙනුවෙන් රටවල් 12ක් සහභාගී වීමට නියමිතයි.

විශ්ව විද්‍යාල රග්බි ලෝක ශූරතාවට ශ්‍රී ලංකාවෙනුත් සංචිතයක්

වර්තමානයේ දී ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාවෙන් දිගින් දිගටම ජයග්‍රහණ දිනා ගනිමින් ඉදිරියටම ගමන් කර අතර ලෝක විශ්ව විද්‍යාල රග්බි ශූරතාවය කරා යන්නට ද ශ්‍රී ලංකාව…

ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය දෙස බැලීමේ දී පෙර තරගවාරයේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් වෙනුවෙන් වැඩි අවස්ථාවක් ලබා දී ඇත. ඒ අතර පාසල් පිටියේ දී දක්ෂතා දැක්වූවන් කිහිප දෙනෙකු ද මෙම සංචිතයට ඇතුලත් වීම විශේෂත්වයක්.

කණ්ඩායමේ නායකත්වය දරණ බී. ඒකනායක මහනුවර ධර්මරාජ විද්‍යාලය නියෝජනය කළ ආදි ශිෂ්‍යයෙකි. කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් අතරින් උවින් ආරියරත්න 2012 වසරේ දී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ නායකත්වය දරමින් සත් සාමාජික අනුශූරතාවය ද, ප්‍රධාන පාසල් ලීගයේ සිව්වැනි ස්ථානය ද සිය පාසල වෙනුවෙන් දිනා ගැනීමට දායක වී ඇත. මීට අමතරව ජී. ලසන්ත 2012 වසරේ දී තර්ස්ටන් විද්‍යාලයේ නායකත්වය ද දරා ඇත.

කණ්ඩායමේ කෝඩුකාරයින් අතර 2015 වසරේ දී පිළියන්දල මැදි විදුහල නියෝජනය කළ හංස ධනංජය ද කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් බවට පත්ව ඇත. 2016 වසරේ දී “COLOMBO LIONS” ක්‍රීඩා සමාජය වෙනුවෙන් ජාත්‍යන්තර ඇමරිකානු පාපන්දු වරම් ද දිනා සිටින්නෙක් වන ධනංජය යාපන විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් ද දක්ෂතා දක්වා ඇත.

කොළඹ නාලන්ද විද්‍යාලය වෙනුවෙන් 2014 වසරේ පළමු පෙළ කණ්ඩායම නියෝජනය කළ තුෂාන් සමිඳු ද මෙවර නැමීබියාව බලා පිටත්වීමට නියමිත අතර මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය බී. පහලගම ද මෙම සංචිතයට ඇතුලත්.

ශ්‍රී ලංකාව A කාණ්ඩය නියෝජනය කරමින් තරගාවලියට පිවිසෙන අතර ප්‍රබල ආසියාතික රටක් වන මැලේසියාව ද මෙම කාණ්ඩයේම පසුවෙයි. සෙසු කණ්ඩායම් ලෙස සත්කාරක නැමීබියා සහ කොලොම්බියා කණ්ඩායම් ඇතුලත්ය. C කාණ්ඩයෙන් ආසියාව නියෝජනය කරමින් චීනයත් මෙම තරගාවලියට එක් වීම විශේෂත්වයක්. සෙසු කණ්ඩායම් අතර ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ප්‍රංශය හා ආර්ජෙන්ටිනා යන ප්‍රබල කණ්ඩායම් තරගාවලිය සඳහා සහභාගී වේ.

කණ්ඩායම් සටහන- FISU.net

කණ්ඩායම් නායක ඒකනායක ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ,

“අපිට හොඳ සංචිතයක් ලැබිලා ඉන්නවා, මහනුවර හා කොළඹ තිබුණු පුහුණුවීම් එක්ක අපි හොඳ මානසික මට්ටමක ඉන්නවා, ලැබුණු අවස්ථාවෙන් උපරිමයෙන් රටට කීර්තියක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

කණ්ඩායම් උප නායක යුවින් ආරියරත්න ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ සමබර කණ්ඩායමක් තමා වෙත ලැබී ඇති බවත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් තම උපරිම කාර්යභාරය ඉටු කරමින් ජයග්‍රහණයක් ගෙන දෙන්නට කටයුතු කරන බවත් ය.

“තරගාවලිය පැවැත්වෙන රටේ තිබෙන කාලගුණයත් අපට ටිකක් සමාන නිසා බාහිර දේවල් ගැන යම් මට්ටමකට අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඒ වගේම මෙන්ඩිස් සහ අනුජ පුහුණුකරුවන්ගෙන් ලැබුණු අත්දැකීමත් අපිට ලොකු ශක්තියක්, ලෝකේ ඉන්න දක්ෂම රටවල් එක්ක උරෙනුර ගැටිලා උපරිම දේ ලබා ගන්නා බලාපොරොත්තු වෙනවා.” යැයි යුවීන් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.

20න් පහළ සත් සාමාජික කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

2018 අන්තර් පාසල් අවුරුදු 19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරයින් බවට පත්වූ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රහිම් මහතා…

වයිපර් ගුණරත්න මහතාගේ මග පෙන්වීමෙන් මෙම සංචිතය තෝරා පත් කර ඇති අතර ජාතික පුහුණුකරුවන් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනුජ මල්ලවාරච්චි හා රෝහිත මෙන්ඩිස් කටයුතු කරන අතර මොරටුව විශ්ව විද්‍යාලයේ පවිත්‍ර රඹුකනආරච්චි  කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරයි.

අනුජ මල්ලවාරච්චි මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ කණ්ඩායමේ උනන්දුව ඉහළ මට්ටමක ඇති බවත් ප්‍රථම වරට සහභාගී වන හෙයින් අත්දැකීම් සමඟින් තම උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන බවත් ය.

“ක්‍රීඩකයෝ ඔක්කොම හොඳයි, රට වෙනුවෙන් ක්‍රීඩා කරන සංචාරයක් නිසා සියලු දෙනාම උපරිමය පුහුණුවීම් වෙනුවෙන් කැප කරලා තියෙන්නේ, අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිටින නිසා හොඳ මානසිකත්වයකින් කණ්ඩායම පසුවෙනවා. තරගාවලිය ගැන ලොකු විශ්වාසයක් තියනවා, පළමු වටයේ කණ්ඩායම් ගැන අපි ලොකු අධ්‍යනයක් කළා. ඒ නිසා තරගාවලිය අපට සුවදායක වෙයි කියලා විශ්වාස කරනවා.”

සංචිතය මෙසේයි

  • ඊ. එම්. එච්. ඊ. බී. ඒකනායක – (නායක)පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • එම්. යූ. ආර්. යූ. එල්. බී. ආරියරත්න (උප නායක) – ජ’පුර විශ්ව විද්‍යාලය
  • එම්. ජී. ඒ. එන්. ජයතිලක – පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • එන්. ඩී. ජී. ලසන්ත – කැලණිය විශ්ව විද්‍යාලය
  • එස්. එච්. එන්. ආරච්චි – මොරටුව විශ්ව විද්‍යාලය
  • එම්. යූ. කන්නන්ගර – කොළඹ විශ්ව විද්‍යාලය
  • ඩබ්. එම්. එස්. පී. වීරකෝන් – පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • ඩබ්. එම්. ඒ. වී. වීරකෝන් – මොරටුව විශ්ව විද්‍යාලය
  • එච්. එම්. යූ. අයි. යූ. හේරත් –  පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • ඩී. එම්. එච්. ඩී. දිසානායක – යාපනය විශ්ව විද්‍යාලය
  • කේ. එම්. එම්. ටී. එස්. මධුසංක – යාපනය විශ්ව විද්‍යාලය
  • එච්. එම්. කේ. එස්. බී. පහලගම- ජ’පුර විශ්ව විද්‍යාලය

මෙවර ලෝක ශූරතා තරගාවලිය සඳහා සහභාගී වීමට ඊයේ (09) ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව ගිය අතර දක්ෂතා අතරට පැමිණ ශ්‍රී ලංකාව වෙනුවෙන් කීර්තියක් එක් කරදීමට ඔවුන්ට හැකි වේවායි ThePapare.com සුබ පතන්නෙමු. තරගාවලියේ සියලු තතු ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<