දකුණු අප්‍රිකානුවන්ට මෙවරත් අවාසනාව හරස් වේවි ද?

392

නොබෝ දිනකින් ඇරඹීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට සියලුම කණ්ඩායම්වල සංචිත නම් කොට අවසන්. මේ සඳහා සහභාගී වන ප්‍රබලතම කණ්ඩායමක් වන දකුණු අප්‍රිකානු සංචිතය කාගේත් අවධානයට ලක් වූ මාතෘකාවකි.

ලොව ක්‍රිකට් කණ්ඩායම් අතරින් ඉතා ආක්‍රමණශීලී කණ්ඩායමක් ලෙස නම් කළ හැකි දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියට පිවිසෙන්නේ ඔවුන්ට මේ දක්වා සාක්ෂාත් කරගැනීමට නොහැකි වූ ලෝක කුසලාන සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමේ ඒකායන අරමුණ සහ අපේක්ෂාවත් සමඟිනි.

බිලියන 1.37ක සිහින සමඟ සෙල්ලම් කරන ඉන්දියාව

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇත්තේ තවත් ඉතාමත් අල්ප කාලයකි. මේ සඳහා…

දකුණු අප්‍රිකානු ලෝක කුසලාන ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී 70 දශකයේ සිදු වූ වර්ණභේදවාදයේ බලපෑම් මත ඔවුන්ට තාවකාලිකව ක්‍රිකට් පිටියෙන් දුරස් වී සිටීමට සිදු වූ අතර ඉන් අනතුරුව ඔවුන්ට ලෝක කුසලාන වරම් හිමි වන්නේ 1992 ලෝක කුසලානයත් සමඟිනි.

එහෙත් එම කාලසීමාවේ පටන් මේ දක්වා පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි කිසිවකින් ඔවුන්ට එකදු කුසලානයකට හෝ අවම තරමින් අනු ශූරතාවයකටවත් හිමිකම් කීමට ඔවුන් අපොහොසත් විය. මේ දක්වා දකුණු අප්‍රිකානුවන් සහභාගී වූ සෑම ලෝක කුසලාන තරගාවලියකම පාහේ පැවති තීරණාත්මක වටවල දී අවසන් මොහොතේ පරාජය වෙමින් ඔවුන්ට ලෝක කුසලානයට සමුදීමට සිදු වූයේ ලොව එදා මෙදා තුර බිහි වූ අවාසනාවන්තම ක්‍රිකට් රාජ්‍යය ලෙසිනි.

කෙසේ වෙතත් මෙවර ෆෆ් ඩු ප්ලෙසිස්ගේ නායකත්ව මගපෙන්වීමත් සමඟ පිටියට පිවිසෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉතාමත් සමබර සහ දක්ෂතා සමූහයක එකතුවකින් සමන්විත එක්දින සංයුතියකි.

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස සුපුරුදු පරිදි හෂීම් අම්ලා සහ ක්වින්ටන් ඩි කොක් කටයුතු කිරීමට නියමිතව ඇත. වමත්-දකුණත් සුසංයෝගයකින් සමන්විත ඔවුන් දෙදෙනාගේ ආරම්භක පිතිකරණ සබඳතා වාර්තාව ද ඉතාමත් ඉහළ මට්ටමක පවතී.

මේ අතරින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර තුර බිහි වූ සුපිරිතම පිතිකරුවන්ගෙන් එක් අයෙකු වන හෂීම් අම්ලා ඔවුන්ගේ විශාල බලාපොරොත්තුවකි. කෙසේ වෙතත් පසුගිය කාලසමය තුළ තමාගේ පිතිකරණ රිද්මය දිගින් දිගටම ගිලිහී යාම නිසා කෙටිකාලීන අස්ථාවරත්වයකට මුහුණ දුන් අම්ලා මෙවර තරගාවලියට පිවිසෙන්නේ තමාගේ සුපුරුදු රිද්මයට නැවත පැමිණීමේ ඒකායන අපේක්ෂාව සහිතවයි.

අම්ලාගේ මෑත කාලීන පසුබෑම පසෙකලා තවමත් ඔහු මතම දකුණු අප්‍රිකානුවන් විශ්වාසය රඳවා තැබීමට තුඩු දෙන මූලිකතම හේතු කාරණා ලෙස අනුමාන කළ හැක්කේ ඔහුගේ ජාත්‍යන්තර අත්දැකීම් හා ජ්‍යේෂ්ඨත්වය, කණ්ඩායමට අත්‍යාවශ්‍ය මොහොතක ලකුණු අතරට පිවිසීමේ සුවිශේෂී හැකියාව සහ ලෝක කුසලානය වැනි ප්‍රමුඛතම තරගාවලියක් තුළ එවන් පරිණත ක්‍රීඩකයෙකු සිටීමේ වටිනාකම ඔවුන් මනාව අවබෝධ කරගෙන සිටින බැවිනි.

අම්ලා සමඟ අනෙක් ආරම්භක අන්තයට පිවිසෙන ක්වින්ටන් ඩි කොක් වර්තමානයේ දකුණු අප්‍රිකාව සතු සාර්ථකම පිතිකරුවා ලෙසින් නම් කළ හැක්කේ පසුගිය සමයේ ඔහු ස්ථාවරව තම රිද්මය පවත්වා ගනිමින් දක්වන ලද දක්ෂතා හේතුවෙනි.

මීට අමතරව ICC එක්දින පිතිකරුවන් වර්ගීකරණයේ දකුණු අප්‍රිකානුවන්ගෙන් ඉදිරියෙන්ම සිටින පිතිකරුවා වීමට සහ ලෝකයෙන්ම අංක 4 ස්ථානය දිනා ගැනීමට ද ඔහු සමත් වූයේ තම සුවිශේෂී හැකියාව ලොවට මනාව පසත් කරමිනි. එමෙන්ම කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නාගේ භූමිකාවට ද පණ පොවන කොක් මෙම සංයුතියේ විශාලතම කාර්යභාරයක් හිමි ක්‍රීඩකයෙකි.

ලෝක කුසලානයේ විස්සයි විස්ස ගැසූ අපි

විස්සයි විස්ස තරග අද ලෝකයේ ගොඩක් ජනප්‍රිය තරග රටාවක්. නමුත් විස්සයි විස්ස තරග ලෝකයේ ජනප්‍රිය…

නො.3 පිතිකරුවා ලෙස නායක ෆෆ් ඩූ ප්ලෙසිස් පිතිකරණයට අවතීර්ණ වන්නේ සමස්ත දකුණු අප්‍රිකානු පිතිකරණයේ ප්‍රධානතම වගකීම තම කරපිටට පටවා ගනිමිනි. මේ වන විට වසර 8ක ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වන ඩූ ප්ලෙසිස් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ සහ පරිණත ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු ද වේ.

ICC එක්දින පිතිකරුවන් වර්ගීකරණයේ දකුණු අප්‍රිකානුවන්ගෙන් තම සගයා වන ඩි කොක්ට පමණක් දෙවැනි වෙමින් ලොව අංක 5 ස්ථානය දිනා සිටින ඩු ප්ලෙසිස් පිටිය පුරා තමාට ආවේණික පහරවල් ඇති ඉතාමත් දක්ෂ පිතිකරුවෙකු මෙන් ම ප්‍රතිවාදීන්ට ද මහත් හිසරදයකි.

නො.4 ස්ථානය වෙන් වී ඇත්තේ නවක පිතිකරු රසී වැන්ඩර් ඩසන් හට යි. ජාත්‍යන්තර අත්දැකීම් ඉතාමත් අල්ප පිතිකරුවෙකු වුවද දේශීය පිටියේ දශකයකට වැඩි අත්දැකීම් සම්භාරයකින් සමන්විත ක්‍රීඩකයෙකු වූ වැන්ඩර් ඩසන් තමා මේ දක්වා සහභාගී වූ එක්දින ජාත්‍යන්තර තරග 9ක අතලොස්ස තුළ ලකුණු 353ක් රැස් කිරීමට සමත් වූයේ 88.25ක අසාමාන්‍ය පිතිකරණ සාමාන්‍යයක් ඒ තුළ රඳවා ගනිමිනි. ඔහු සතු සුවිශේෂී දක්ෂතාවය පිළිබඳව තහවුරු කිරීම සඳහා එම සංඛ්‍යානය පමණක්ම වුව ද ප්‍රමාණවත් වේ.

දකුණු අප්‍රිකානුවන් සතු අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වන ජේන් පෝල් ඩුමිනි නො.5 ස්ථානයේ පිතිකරණයේ නියැලෙන අතර ඔහු වසර 15කට ආසන්න ජාත්‍යන්තර එක්දින අත්දැකීම් සහිත කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙකි.

දකුණු අප්‍රිකානු පිතිකරණ බලඇණියේ මැදපෙළ ශක්තිමත් කරන ප්‍රධානතම පුරුක ලෙස හැඳින්විය හැකි ඩුමිනි අවස්ථානුකූලව ඉනිමක් ගොඩනැගීමට මෙන්ම අවශ්‍ය මොහොතක දල ලකුණු වේගය වැඩි කිරීමට ද හැකියාවක් ඇති දක්ෂ මැදපෙළ පිතිකරුවකි. මීට අමතරව දකුණත් පා දඟපන්දු යවන්නෙකු වශයෙන් කණ්ඩායමේ 6 වැනි පන්දු යවන්නා ලෙස ද කටයුතු කරන ඔහු සංයුතියේ සමබරතාවය රැක ගැනීම සඳහා කටයුතු කරන ප්‍රබලතම තුරුම්පුවකි.

පිතිකරණ ලැයිස්තුවේ නො.6 ස්ථානය ප්‍රවේගකාරී පිතිකරු ඩේවිඩ් මිලර් හට නිතරගයෙන්ම වෙන් ව ඇත්තේ ඔහුටම ආවේණික විශිෂ්ට පිතිකරණ හැකියාව හේතුවෙනි. කණ්ඩායමෙන් ගිලිහෙමින් පවතින ජයග්‍රහණයක් වුවද තමන් වෙත හරවා ගනිමින් තරගයක් වෙනස් කළ හැකි සුවිශේෂී තුරුම්පුවක් ලෙස ද මිලර් භීතිකාව ක්‍රිකට් ලොව ප්‍රචලිතව ඇත.

පිතිකරණයෙන් පමණක් නොව පන්දු රැකීමෙන් ද තම කණ්ඩායමේ අංක එකේ පන්දු රකින්නා ලෙස සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන ඔහු මෙම සංයුතියේ සිටින එකම අතිරේක කඩුලු රකින්නා ලෙස ද කටයුතු කරනු ලබයි.

සංචිතයේ සිටින අතිරේක පිතිකරුවා ලෙසින් මුල්පෙළ පිතිකරු ඒඩ්න් මාක්‍රම් රැඳී සිටින අතර එක්දින කණ්ඩායමේ මේ වන විට ඇති තරගකාරීත්වය මත ඔහුට බොහෝ දුරට කණ්ඩායමේ අවසන් 11 දෙනා අතර අවස්ථාවක් නොලබෙනු ඇත. කෙසේ වෙතත් මාක්‍රම් මේ දක්වා එක්දින කණ්ඩායමේ තමා ලබාගත් සීමිත අවස්ථා ප්‍රමාණය තුළ සුවිශේෂී දක්ෂතාවයක් විදහා දැක්වීමට අපොහොසත් වුවද ඔහුගේ ගොඩනැගෙමින් තිබෙන කුසලතාවය සහ දේශීය පිටියේ ඔහුගේ මෑත කාලීන අති සාර්ථකත්වය යනාදී කරුණු ඔහු සංචිතයේ රැඳී සිටීමට බලපෑ මූලිකතම හේතු කාරණා ලෙස අනුමාන කළ හැකි ය.

1983 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම්

1975 සහ 1979 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 2කම “Prudential” සමාගමේ අනුග්‍රහය ඇතිව…

මෙම එක්දින සංයුතියේ සමබරතාවය ආරක්ෂා කිරීම සඳහා පන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩ්වේන් ප්‍රිටෝරියස් නො.7 පිතිකරුවා ලෙසින් බොහෝ දුරට ක්‍රීඩා කරනු ඇත. ඔහුව මෙම සංයුතියට තෝරාගැනීමට සලකා බැලූ ප්‍රධානතම නිර්ණායකය වනුයේ වර්තමානයේ ඔහු දේශීය පිටියේ දී පිත්තෙන් සහ පන්දුවෙන් යන දෙඅංශයෙන්ම ස්ථාවරව දස්කම් දැක්වීමට සමත් වීමයි.

කණ්ඩායමේ සිටින වේගපන්දු අංශය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී වේග තණතීරුවලින් සමන්විත එංගලන්ත භූමියේ තම ශක්තිය වන වේගපන්දු යවන්නන්ට මුල් තැන දෙමින් ප්‍රතිවාදීන් හට පීඩනය එල්ල කිරීම මෙවර ඔවුන්ගේ ප්‍රධානතම උපාය මාර්ගය ලෙස අනුමාන කළ හැකි ය. එහෙත් මේ වන විට දකුණු අප්‍රිකානුවන් මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ ඔවුන්ගේ ඉදිරිපෙළ වේගපන්දු යවන්නන් සියලු දෙනාම පාහේ එකවර ආබාධවලට ලක්වීමයි.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණියේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කරන්නේ වසර 14ක ජාත්‍යන්තර එක්දින අත්දැකීම් සහිත ලොව පරිණතම වේගපන්දු යවන්නෙකු වන ඩේල් ස්ටේන් ය. වසර දෙකක දිගු නිහැඬියාවකින් පසුව ගිය වසර අග ඕස්ට්‍රේලියාව සමඟ පැවති එක්දින තරගාවලියක දී නැවතත් එක්දින කණ්ඩායමට ඇරයුම් ලද ස්ටේන් එහි දී ද තම සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට සමත් වූයේ තම විශිෂ්ටත්වය මනාව ලොවට විදහා දක්වමිනි. කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ස්ටේන් තම වේගය සහ දෝලනය මූලික කර ගනිමින් කඩුලු දඩ‍යම් කරගන්නා ලොව එදා මෙදා තුර බිහි වූ අග්‍රගණ්‍ය වේග පන්දු යවන්නෙකි.

මේ වන විට දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණිය සිටින ප්‍රධානතම තුරුම්පුව වන්නේ වර්තමානයේ ලොව වේගපන්දු යවන්නන්ගේ ICC වර්ගීකරණයේ 5 වැනි ස්ථානයට හිමිකම් කියන කාගිසෝ රබාඩා ය. කෙටි පන්දුවෙන්, යෝකර් පන්දුවෙන් හා පන්දුව පිටතට දෝලනය කිරීමෙන් වැඩි වාසි ලබා ගන්නා රබාඩා ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය යැවීමේ විශේෂඥ පන්දු යවන්නෙකු ලෙස ද ප්‍රචලිතව සිටී.

වර්තමාන ක්‍රිකට් ලෝකයේ තම ආධිපත්‍යය පැතිරවීමට සමත් වූ පන්දු යවන්නෙකු වන රබාඩා මේ වන විට ලොව බොහෝමයක් පිතිකරුවන්ගේ විශාලතම භීතිකාවක් බවට පත්ව ඇත.

ස්ටේන් සහ රබාඩා දෙදෙනාගේ සහයක පන්දු යවන්නා ලෙසින් මෙම වේගපන්දු බලඇණියේ තෙවන පුරුක වීම සඳහා මේ වන විට ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ සහ ලුන්ගි න්ගිඩි අතර ද්වන්ද සටනක් නිර්මාණය වී ඇත.

මේ අතරින් පෙහ්ලුක්වායෝ පන්දු යැවීම මූලික කරගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ද, න්ගිඩි ඉදිරිපෙළ වේගපන්දු යවන්නෙකු ලෙස ද කටයුතු කරනු ලබයි. තමන්ටම ආවේණික වූ පන්දු ප්‍රභේදයන් සහිත පන්දු යවන්නන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා පසුගිය සමයේ ඉතාමත් ඉහළින් දස්කම් දැක්වීමට සමත් වූ පන්දු යවන්නන් දෙදෙනෙකි.

සංචිතයේ සිටින අනෙක් වේග පන්දු යවන්නා වන්නේ ක්‍රිස් මොරිස් ය. ලෝක කුසලාන මුල් සංචිතයේ අවකාශයක් ලබා ගැනීමට අපොහොසත් වූ ක්‍රීඩකයෙකු වන මොරිස්ට එම අවස්ථාව උදාවන්නේ ඇන්රිච් නොඛ්‍යාගේ ආබාධයත් සමඟිනි. ඇන්රිච්ගේ ආදේශකය ලෙසින් කණ්ඩායම ඇරයුම් ලද මොරිස් පන්දු යැවීම මුල්කරගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම සැලකිය යුතු මට්ටමේ අත්දැකීම් සම්භාරයකින් ද සමන්විත ක්‍රීඩකයෙකි.

දඟපන්දු අංශය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී නිතරගයෙන්ම එහි පෙරමුණේ පසුවන්නේ දකුණු අප්‍රිකානුවන් එදා මෙදා තුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ බිහි කළ හොඳම දඟපන්දු යවන්නා වන ඉම්රාන් තාහීර් ය.

වර්තමාන ICC පන්දු යවන්නන් වර්ගීකරණයේ ද දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නා වන තාහීර් එම ලැයිස්තුවේ 4 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ තම අණසක ලොවට පතුරුවා හරිමිනි.

දකුණත් පා දඟපන්දු යවන්නෙකු වන තාහීර්ගේ මූලිකතම පන්දු ප්‍රභේදය වන්නේ ගුග්ලි පන්දුවයි. මෙවර ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට සැරසෙන තාහීර්ගේ ඒකායන අරමුණ වනුයේ මෙවර ලෝක කුසලානය තම කණ්ඩායමට කෙසේ හෝ ලබා දීමේ අදිටනයි.

සංචිතයේ සිටින අතිරේක දඟපන්දු යවන්නා ලෙසින් වමත් චයිනමන් පන්දු යවන්නෙකු වන ටබ්‍රියාස් ෂම්සි රැඳී සිටින අතර ඔහු ද ගුග්ලි සහ ලෙග් බ්‍රේක් යන ප්‍රභේද තම මූලික තුරුම්පු බවට පත්කරගෙන සිටින, තමාටම ආවේණික පන්දු සංකලනයක් හිමි දඟපන්දු යවන්නෙකි.

සුවිශේෂී දක්ෂතා සුසංයෝගයක් සමඟින් මෙවරත් ලෝක කුසලානයට පිවිසෙන දකුණු අප්‍රිකානුවෝ සිය බලාපොරොත්තු දල්වා සිටින්නේ මේ දක්වා ලෝක කුසලානවල තම කණ්ඩායමට මේ දක්වා හරස් වූ අවාසනාවට තිත තබා නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමේ ඒකායන අරමුණ කෙසේ හෝ මුදුන් පමුණුවා ගැනීමටයි.

එමෙන්ම ගෙවී ගිය අවසන් වසර කිහිපය තුළ තම ජයග්‍රාහී රිද්මය ස්ථාවරව පවත්වා ගෙන ඉදිරියටම ආ ෆෆ් ඩු ප්ලෙසිස්ගේ නායකත්වයෙන් යුතු වර්තමාන දකුණු අප්‍රිකානු කණ්ඩායම කිසිසේත් අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් වන අතර ලෝක කුසලාන ගමන් මග තුළ පිල ප්‍රතිවාදීන්ට විශාලතම අභියෝගයක් වනු ඇති බවට ද නොඅනුමානයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<