බිලියන 1.37ක සිහින සමඟ සෙල්ලම් කරන ඉන්දියාව

376

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇත්තේ තවත් ඉතාමත් අල්ප කාලයකි. මේ සඳහා සහභාගී වන කණ්ඩායම් විසින් නම් කරන ලද සංචිත අතරින් ඉන්දීය සංචිතය වඩාත් කතාබහට ලක් වූ එකක් බවට මේ වන විට පත්ව අවසන්.

බිලියන 1.37ට අධික ජනතාවකගේ අතිමහත් බලාපොරොත්තු සමඟ පොරබඳිමින් ඉන්දියානුවන් මෙවර ලෝක කුසලාන තරගාවලියට ප්‍රවිෂ්ට වන්නේ ලොව ප්‍රබලතම කණ්ඩායමක් මෙන්ම සාර්ථකත්වයේ හිණිපෙත්තටම ගමන් කරමින් සිටින දස්කම් සපිරි ආක්‍රමණශීලී කණ්ඩායමක් ලෙසිනි.

ලෝක කිරුළේ සිංහයෝ කොයිබට ද?

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් සියල්ලම සිය 15…

ඔවුන් මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ දී දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව යන කණ්ඩායම් සමග අනුපිළිවෙළින් තරග වැදීමට නියමිතව සිටියි.

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා පවත්වා ඇති තරගාවලි 11ක් තුළ ශූරතා 2ක (1983, 2011) සහ එක් අනුශූරතාවයක (2003) හිමිකාරිත්වය දරන ඉන්දියානුවෝ මෙවර ලෝක කුසලානයට අවතීර්ණ වන්නේ එය ජය ගැනීමට ඉඩහසර බොහෝ සෙයින් විවර වී ඇති කණ්ඩායමක් ලෙසිනි.

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිගේ නායකත්ව මගපෙන්වීමත් සමඟ මෙවර තරගාවලියට අවතීර්ණ වන ඉන්දීය කණ්ඩායම දක්ෂතා රාශියක එකතුවකින් යුතු ඉතාමත් සමබර කණ්ඩායමකි.

ඉන්දීය පිතිකරණ බලඇණියේ ආරම්භක පිතිකරුවන් ලෙසින් සුපුරුදු පරිදි රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් කටයුතු කරනු ඇත. මේ අතරින් ජාත්‍යන්තර එක්දින පිටියේ වසර 12ක අත්දැකීම් ඇති පළපුරුදු ක්‍රීඩකයෙකු වන රෝහිත් ශර්මා ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ ප්‍රධාන භූමිකාවක් හොබවනු ලබයි.

මේ වන විට තමා ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර එක්දින තරග 206 තුළ ලකුණු 8010ක් රැස්කරගෙන ඇති රෝහිත් එහි දී තම පිතිකරණ සාමාන්‍යය ලෙස 47.40 ක ඉහළ අගයක් සහ 87.95ක ප්‍රහාරක වේගයක් රඳවා ගෙන සිටින්නේ ඉන්දීය පිතිකරණ බලඇණියේ සිටින ස්ථාවරම පිතිකරුවන්ගෙන් එක් අයෙකු බවට පත්වෙමිනි.

තවද එදා මෙදා තුර එක්දින ක්‍රිකට් වංශ කතාවේ ද්විත්ව ශතක 3කට ම උරුමකම් කියන ලොව එකම එක්දින පිතිකරුවා වන්නේ ද ඔහු පමණි. වර්තමාන ICC එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ විරාත් කෝලිට පමණක් දෙවැනි වෙමින් දෙවන ස්ථානයේ රෝහිත් රැඳී සිටින්නේ ද තම හැකියාව මනාව පසත් කරමිනි.

රෝහිත්ගේ ආරම්භක පිතිකරුවා වන ශිකර් ධවාන් ද වසර 6ක පමණ කාලයක සිට කණ්ඩායමේ ස්ථාවරව සිටින තවත් එක් ප්‍රබල පිතිකරුවෙකි. වර්තමාන ICC එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 13 වැනි ස්ථානයේ පසුවන ධවාන් මේ දක්වා තමන් සහභාගී වූ එක්දින තරග 128 තුළ ලකුණු 5355ක් රැස්කරගෙන ඇත්තේ 44.62ක පිතිකරණ සාමාන්‍යයක් සහ 93.79ක ප්‍රහාරක වේගයක් රඳවා ගනිමිනි.

නො.3 ස්ථානය වෙන් වී ඇත්තේ වර්තමාන නවීන ක්‍රිකට් ක්‍රීඩාවේ අති විශිෂ්ටතම පිතිකරුවා වන ලොව අංක එකේ සුපිරි පිතිකරු විරාත් කෝලි හටයි. නවීන ක්‍රීඩාවේ පමණක් නොව ලොව එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේම බිහි වූ සාර්ථකතම පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින පිතිකරුවෙකු වන කෝලිගේ සුවිශේෂී එක්දින පිතිකරණ දත්ත ඊට මනාව සාක්ෂි දරනු ලබයි.

ICC එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පෙරමුණ ගනිමින් අංක එකේ පසුවන කෝලි මේ දක්වා තමන් සහභාගී වූ එක්දින තරග 227 තුළ ලකුණු 10,843ක් රැස්කර ගැනීමට සමත් වී ඇත්තේ 59.57ක අග්‍රගණ්‍ය පිතිකරණ සාමාන්‍යයක් 92.96ක ප්‍රහාරක වේගයක් ද රඳවා ගනිමිනි. වර්තමානයේ ලොව සිටින සෑම පන්දු යවන්නෙකුගේම පාහේ භීතිකාව බවට කෝලි පත් ව තිබෙන්නේ ප්‍රතිවාදීන්ගේ විශාලතම අභියෝගය ලෙසිනි.

මේ වන විට ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ නො.4 ස්ථානය සඳහා කේ. එල්. රාහුල් හා දිනේෂ් කාර්තික් අතර ද්වන්ද සටනක් නිර්මාණය වී ඇත. මේ අතරින් කේ. එල්. රාහුල් තවමත් එක්දින තරග 14ක් පමණක් ක්‍රීඩා කළ අත්දැකීම් අඩු අයෙකු වුවද තමා සතුව සුවිශේෂී දක්ෂතාවයක් ඇති බවට විටින් විටම ඔප්පු කර ඇති ක්‍රීඩකයෙකි. කෙසේ වෙතත් ඔහු මේ දක්වා වාර්තා කර ඇති එක්දින ලකුණු 343 ලබාගෙන ඇත්තේ 34.30ක පිතිකරණ සාමාන්‍යයක් සහ 80.90ක ප්‍රහාරක වේගයක් සමගිනි.

2004 වසරේ සිටම එක්දින කණ්ඩායමට වරින් වර පැමිණෙන ක්‍රීඩකයෙකු වන දිනේෂ් කාර්තික් ද මේ දින වල හොඳම රිද්මයක පසු වේ. වසර 15ක අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වුවද මොහු මේ වන විට ක්‍රීඩා කර ඇත්තේ තරග 91ක් පමණි. එහි දී ලකුණු 1738ක් වාර්තා කොට ඇත්තේ 31ක පිතිකරණ සාමාන්‍යයක් සහ 73.70ක අවම ප්‍රහාරක වේගයක් සහිතවයි.

එසේ තිබියදීත් ඔහුව නම් කිරීමට මූලිකතම හේතු ලෙස අනුමාන කළ හැක්කේ ඔහුගේ අත්දැකීම්, වර්තමාන රිද්මය සහ මෑත කාලීනව තරග නිමා කරන්නෙකු ලෙස සුවිශේෂී දස්කම් දැක්වීමට ඔහු සමත් වීම යන හේතු කාරණා ය. කෙසේ වෙතත් ඉන්දියානුවන් සතු ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙකු වන කාර්තික් මෙම සංචිතයේ සිටින අතිරේක කඩුලු රකින්නා ද වේ.

කණ්ඩායමේ නො.5 ස්ථානය වෙන් වී ඇත්තේ ලොව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ හොඳම තරග නිම කරන්නා වන මහේන්ද්‍ර සිං දෝනිට හට ය. මෑත කාලීන එක්දින රිද්මයේ යම් පසුබෑමකට ලක්වූවත් ඔහු කිසිසේත් අවතක්සේරු කළ නොහැකි පිතිකරුවෙකි.

මේ වන විට ජාත්‍යන්තර එක්දින තරග 341කට ක්‍රීඩා කර ඇති දෝනි එහි දී ලකුණු 10,500ක් වාර්තා කොට ඇත්තේ 50.72ක සාමාන්‍යයක් සහ 87.55ක ප්‍රහාරක වේගයක් ද සහිතවයි. මෙවර ලෝක කුසලානයට සහභාගී වන්නන් අතර අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙකු වන දෝනි ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙසට ද කටයුතු කරනු ලබයි.

නො.6 ස්ථානය කේදාර් ජාදෙව්ට වෙන් වී ඇති අතර මැදපෙළ පිතිකරුවෙකු ලෙස ඔහු මෑත කාලීනව ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ පිතිකරුවෙකි. මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 59කට සහභාගී වී ඇති ජාදෙව් එහි දී ලකුණු 1174ක් රැස්කරගෙන ඇත්තේ 43.48ක පිතිකරණ සාමාන්‍යයක් 102.53ක ප්‍රහාරක වේගයක් ද රඳවා ගනිමිනි. එමෙන්ම කණ්ඩායමේ 6 වන පන්දු යවන්නා ලෙස සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන ඔහු දකුණත් පිට දඟපන්දු යවන්නෙකු ලෙස කඩුලු 27ක් දවා ගැනීමට ද සමත් වී ඇති අතර ගොඩනැගී ඇති පිතිකරණ සබඳතා බිඳ හෙලීම සඳහා ද ඔහු විශේෂිත දක්ෂතාවයක් දක්වන්නෙකි.

ඉන්දීය සංයුතියේ සමබරතාවය තබා ගැනීම සඳහා හර්දික් පාන්ඩ්‍යා නො.7 ස්ථානයේ ක්‍රීඩා කරනු ලබන්නේ පිතිකරණය මුල් කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසිනි. මේ දක්වා තමන් සහභාගී වූ ජාත්‍යන්තර එක්දින තරග 45 තුළ ඔහු ලකුණු 731ක් රැස්කරගෙන ඇත්තේ 29.24ක පිතිකරණ සාමාන්‍යයක් 116.58ක සුවිශේෂී ප්‍රහාරක වේගයක් ද රඳවා ගනිමිනි.

තවද ඔහු පන්දු යැවීමෙන් කඩුලු 44ක් ද ඒ අතරතුර දවාගෙන ඇත. ඉනිමේ අවසන් පන්දු වාර කිහිපයේ දළ ලකුණු වේගය වැඩි කිරීම පාන්ඩ්‍යාගේ ප්‍රධානතම කාර්යභාරය වන අතර ඔහු ඉන්දියානුවන් සතු ප්‍රබලතම තුරුම්පුවකි.

ඉන්දීය සංචිතයේ සිටින පිතිකරණය මුල් කර ගත් වේගපන්දු යවන තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස විජේ ශංකර් ද සංචිතයේ රැඳී සිටී. ඔහු මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරග 9කට පමණක් වන අතර එහි දී ලකුණු 165ක් වාර්තා කොට ඇත්තේ 33ක පිතිකරණ සාමාන්‍යයක් සහ 96.49ක ප්‍රහාරක වේගයක් සහිතවයි. එහෙත් පන්දු යැවීමෙන් ඔහුට මේ දක්වා දවා ගැනීමට හැකි වී තිබෙන්නේ කඩුලු 2ක් පමණි. කෙසේ වෙතත් වර්තමාන ඉන්දීය පිලේ තරගකාරීත්වය මත ඔහුට බොහෝ දුරට අවසන් 11 දෙනා අතරට එක්වීමේ අවකාශ අවම වශයෙන් පවතී.

ඉන්දීය පන්දු යැවීමේ බලඇණියේ ආරම්භක පන්දු යවන්නා ලෙස බුවනේෂ්වර් කුමාර් කටයුතු කරයි. නව පන්දුව ඔහුගේ ප්‍රධානතම අවිය වන අතර ඔහු පන්දුව ඇතුළට හා පිටතට දෝලනය කිරීමෙන් වාසි ලබා ගන්නා පන්දු යවන්නෙකි. පන්දු යවන්නන් අතර අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වන බුවනේෂ්වර් මේ දක්වා ක්‍රීඩා කර ඇති වසර 7 තුළ ජාත්‍යන්තර එක්දින තරග 105 තුළ කඩුලු 118ක් දවාගෙන ඇති අතර එහි දී එක් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යය ලෙස 35.66ක් සහ පන්දු වාරයකට ලබා දෙන ලකුණු සංඛ්‍යාවේ සාමාන්‍යය 5.01ක් ලෙස සටහන් කොට ඇත.

එලෙසින් තරමක් දුර්වල මට්ටමේ දත්ත ඔහුගේ නම ඉදිරියේ පැවතිය අත්දැකීම් සහ පළපුරුද්ද යන කාරණා මත කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස ඔහු අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනු ඇත.

පන්දු යැවීමේ අංශයෙන් මේ වන විට ලොව අංක එකේ මෙන් ම ඉන්දියාව සතු ප්‍රබලතම පන්දු යවන්නා වන්නේ ජස්ප්‍රිට් බුම්රා ය. වර්තමාන ICC එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ලොව අංක එකේ පන්දු යවන්නා වන ඔහු පිතිකරුවන්ගේ විශාලතම භීතිකාවක් බවට පත්ව ඇත.

මේ වන විට ජාත්‍යන්තර එක්දින තරග 49කදී කඩුලු 85ක් දවාගෙන ඇති බුම්රා එහි දී එක් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යය ලෙස 22.15ක් ද සහ පන්දු වාරයකට ලබා දෙන ලකුණු සංඛ්‍යාවේ සාමාන්‍යය 4.51ක් ද ලෙස වාර්තා කොට ඇත. යෝකර් පන්දුව සහ කෙටි පන්දුව තමාගේ ප්‍රමුඛතම තුරුම්පු බවට පත්කරගෙන ඇති බුම්රා ඉනිමේ අවසන් පන්දු වාර කිහිපය යැවීම පිළිබඳව ලොව සිටින විශේෂඥම පන්දු යවන්නෙකි.

සංචිතයේ සිටින ඉතිරි වේගපන්දු යවන්නා වන්නේ මොහොමඩ් ශමී ය. ඉන්දීය පන්දු යවන්නන් අතර තරමක් අවතක්සේරුවට පත් වූ පන්දු යවන්නෙකු ලෙස හැඳින්විය හැකි ශමී තමා මේ දක්වා ක්‍රීඩා කළ එක්දින තරග 63 ප්‍රතිවාදී කඩුලු 113ක්ම ඩැහැ ගැනීමට සමත් වූයේ එක් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යය ලෙස 26.11ක් ද, පන්දු වාරයකට ලබා දෙන ලකුණු සංඛ්‍යාවේ සාමාන්‍යය 5.48ක් ද ලෙස සටහන් කරමිනි.

පන්දුව දෝලනය සහ කෙටි පන්දුව ඔහුගේ කඩුලු දවා ගැනීමේ මූලිකතම උපක්‍රම වේ. ඔහු ඇතැම් විට පිතිකරුවන්ගෙන් ප්‍රහාරයකට ලක්වන පන්දු යවන්නෙකු වුවද ස්ථාවරව කඩුලු දවා ගැනීමට හපන්කමක් දක්වන සුවිශේෂී පන්දු යවන්නෙකි.

සන්සන්දනාත්මකව බැලූ විට ඉන්දීය නිත්‍ය ආරම්භක පන්දු යවන බුවනේෂ්වර් කුමාර්ටත් වඩා මොහොමඩ් ශමීගේ දත්තවල සංඛ්‍යානයන් ඉතාමත් ඉහළ මට්ටමක පැවතුණ ද, ශමී කණ්ඩායමේ අවසන් 11 අතර ස්ථානයක් දිනා ගැනීමට බොහෝ විට අපොහොසත් වෙතැයි අනුමාන කළ හැකි ක්‍රීඩකයෙකි.

ඉන්දීය දඟපන්දු යවන අංශයේ වගකීම පැවරී ඇත්තේ කුල්දීප් යාදව් හා යුස්වේන්ද්‍ර චහාල් හට ය. මෑත කාලීනව ඔවුන් දෙදෙනාම ඉතාමත් ඉහළ රිද්මයක පසු වන අතර වේගපන්දුවට හිතකර එංගලන්ත තණතීරුවල වුව ද ඔවුන් දෙදෙනාම එකවර වූව ද ක්‍රීඩා කර වීමේ අවකාශයක් පවතින්නේ ඉන්දියානුවන් බොහෝ විට තණතීරු ස්වභාවයේ වාසියට වඩා සිය සංයුතියේ දක්ෂතා එකතුවේ ශක්තියට මුල් තැන දීමට ඇති ප්‍රවණතාව සහ ඒ මත තබන විශ්වාසය වැඩි බැවිනි.

ඉන්දියාව සහ එංගලන්තය අතර 2018 වසරේ පැවති එක්දින තරගාවලියේ දී බොහෝ තරග වලට ඔවුන් කුල්දීප්-චහාල් දෙදෙනාගේ සුසංයෝගය සමගින් අවතීර්ණ වූයේ ද එය මනාව පිළිබිඹු කරමිනි. වමත් සහ දකුණත් පා දඟපන්දු සුසංයෝගයක් වන ඔවුන් දෙදෙනාම ගුග්ලි සහ ලෙග් බ්‍රේක් පන්දු සිය මූලිකතම පන්දු යැවීමේ ප්‍රභේද බවට පත්කරගෙන සිටිති.

වර්තමාන ICC එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පිළිවෙළින් අංක 7 හා 8 ස්ථානවල කුල්දීප් සහ චහාල් දෙදෙනා රැඳී සිටීමට සමත් වීම ඔවුන්ගේ පන්දු යැවීමේ ස්ථාවරත්වය පිළිබිඹු කරන හොඳම නිදසුනයි.

මේ අතරින් වමත් පා දඟ චයිනමන් පන්දු යවන්නෙකු වන කුල්දීප් යාදෙව් තමා සහභාගී වූ එක්දින ජාත්‍යන්තර තරග 44 තුළ ප්‍රතිවාදී කඩුලු 87ක් ම තම මල්ලට දමා ගැනීමට සමත් වූයේ එක් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යය ලෙස 21.74ක් ද, පන්දු වාරයකට ලබා දෙන ලකුණු සංඛ්‍යාවේ සාමාන්‍යය 4.93ක් ද ලෙස වාර්තා කරමිනි‍.

කුල්දීප්ගේ සහයකයා වන දකුණත් පා දඟපන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චහාල් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 41කට සහභාගී වී ඇති අතර එහි දී කඩුලු 72ක් දවා ගැනීමට සමත් වී ඇත්තේ එක් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යය ලෙස 24.61ක් සහ පන්දු වාරයකට ලබා දෙන ලකුණු සංඛ්‍යාවේ සාමාන්‍යය 4.89ක් ලෙස සටහන් කරමිනි.

ඉන්දීය සංචිතයේ සිටින අනෙක් දඟපන්දු යවන්නා වන්නේ පන්දු යැවීම මුල්කරගත් තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා ය. වසර 11ක ජාත්‍යන්තර එක්දින අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වන ජඩේජා ඉන්දීය සංචිතයේ සිටින දක්ෂතම පන්දු රකින්නා ලෙස ද හැඳින්විය හැකි ය.

ඔහු මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 151කට සහභාගී වී ඇති අතර එහි දී කඩුලු 174ක් දවා ගෙන ඇත්තේ එක් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යය ලෙස 35.88ක් සහ පන්දු වාරයකට ලබාදෙන ලකුණු සංඛ්‍යාවේ සාමාන්‍යය 4.88ක් ලෙස සටහන් කරමිනි. ඊට අමතරව පිතිකරුවෙකු ලෙස ලකුණු 2035ක් රැස්කොට ඇත්තේ 29.92ක පිතිකරණ සාමාන්‍යයක් සහ 84.23ක ප්‍රහාරක වේගයක් ද සමගිනි.

වර්තමාන ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ලොව අංක දෙක කණ්ඩායම ලෙස එංගලන්තයට පමණක් දෙවැනි වෙමින් ඉදිරියෙන් පසුවන ඉන්දියාව මේ වන විට ලොව සියලු ප්‍රතිවාදීන්ගේ විශාලතම භීතිකාවක් බවට පත් වී ඇත්තේ ඔවුන්ගේ දක්ෂතාව, කණ්ඩායම් එකමුතුව සහ සටන්කාමීත්වය යන අංගයන් කැටි කර ගත් සම්මිශ්‍රණයක් ඔස්සේ පසුගිය සමයේ සිය ජයග්‍රාහී රිද්මය ස්ථාවරව පවත්වා ගනිමින් වර්තමාන ක්‍රිකට් ලෝකය ආක්‍රමණය කිරීමට සමත් වූ හෙයිනි.

සුවිශේෂී දක්ෂතා රැසක සුසංයෝගයක් සහිතව මෙවර ලෝක කිරුළ හිමිකර ගැනීමට බොහෝ දුරට අවකාශ ඇති කණ්ඩායමක් ලෙස නම් කළ හැකි ඉන්දීය පිල මෙවර ද තම ජයග්‍රාහී ගමන් මග ඔස්සේ ඉදිරියටම ගමන් කරනු ඇති බව නොඅනුමාන ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<