ලෝක කිරුළේ සිංහයෝ කොයිබට ද?

913

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් සියල්ලම සිය 15 දෙනෙකුගෙන් සමන්විත සංචිත මේ වන විට නම් කොට අවසන්. මේ අතරින් මෙරට ක්‍රීඩාලෝලීන් මහත් කුතුහලයකින් බලා සිටි ශ්‍රී ලංකා සංචිතය ද පසුගිය සතියේ දී නම් කළ අතර ඔවුන් මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ දී නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා ඉන්දියාව යන කණ්ඩායම් සමඟ අනුපිළිවෙළින් තරග වැදීමට නියමිතව සිටියි.

ලෝක කුසලානයේ කිවි සලකුණ – නවසීලන්තය

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ ඉතාමත් අල්ප කාලයකි. ඊට සහභාගී වන කණ්ඩායම්…

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා පවත්වා ඇති තරගාවලි 11ක් තුළ එක් ශූරතාවයකට සහ අනුශූරතා 2කට (2007, 2011) හිමිකාරිත්වය දරන ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට පිවිසෙන්නේ අස්ථාවර මෙන්ම පරාජිත මානසිකත්වයකින් යුතු කණ්ඩායමක් ලෙසින් බව අප අකමැත්තෙන් වුවද පිළිගත යුතු කාරණයකි. එබැවින් 1996 වසරෙන් පසුව පැවති ලෝක කුසලාන තරගාවලි වලින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අවම බලාපොරොත්තු ප්‍රමාණයක් රඳවා ගත් ලෝක කුසලානය මෙවර තරගාවලිය බවට කිසිදු තර්කයක් නොමැත.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ දිමුත් කරුණාරත්න හට ය. ඔහු අවසන් වතාවට එක්දින තරගයකට ක්‍රීඩා කළේ 2015 වසරේ ගියවර ලෝක කුසලානයට වීමත්, සිය එක්දින තරග දිවියේ ක්‍රීඩා කළ තරග 17 තුළ ඔහු 15.83ක් වැනි අවම සාමාන්‍යයක් රඳවා ගැනීම යන කරුණු නිසා දිමුත් ඇතැමුන්ගේ දෝෂ දර්ශනයට ලක්විය.

එහෙත් ඔහුගේ මෑතකාලීන දේශීය එක්දින තරග වල දක්ෂතා සහ ටෙස්ට් තරගවල දී ඔහුට ඇති පළපුරුද්ද වැනි කාරණා මෙම තීරණයට බලපෑ මූලිකම සාධක ලෙස අනුමාන කළ හැක. පසුගිය සමයේ ඔහුට අමතරව වර්තමාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අතරම නායකත්වය සඳහා අත්හදා බැලීම් සිදු කළ නමුදු ඒ කිසිවකුට සාර්ථක වීමේ හැකියාවක් නොලැබීම සහ දිමුත්ගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාවේ දී ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ඔහුට එක්දින නායකත්වය හිමි වීමට බලපෑ ප්‍රධානතම කරුණු ලෙස ගෙන හැර දැක්විය හැක. එමෙන්ම ඔහුගේ නායකත්වයත් සමඟම කණ්ඩායමේ ආරම්භක පිතිකරණ භූමිකාවේ නිත්‍ය ස්ථානයක් නිතරගයෙන්ම ඔහුට හිමි වනු ඇත.

මෙහි දී දිමුත්ගේ ආරම්භක පිතිකරණ සහකරු වීම සඳහා පිතිකරුවන් කිහිප දෙනෙකු අතර සටනක් නිර්මාණය වී ඇත. මේ අතරින් ලහිරු තිරිමාන්න පසුගිය පළාත් තරගාවලියේ දී තම උපරිම රිද්මයේ සිටිය ද ඔහුගේ ප්‍රහාරක වේගයේ පවතින ගැටලුව නිසා දිමුත් වැනිම තවත් පිතිකරුවෙකු සමඟ ඉනිම ආරම්භ කිරීමේ අවකාශ අවම වශයෙන් පවතී.

එමෙන්ම වර්තමානයේ පවතින නවීන ක්‍රිකට් තරග රටාව අනුව පිතිකරණ power play අවස්ථාව ක්‍රියාත්මක වන මුල් පන්දුවාර කිහිපයේ පන්දුවට පහර දෙන ආරම්භක පිතිකරුවන්ගෙන් එක් අයකු හෝ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු විය යුතු බැවින් දිමුත්-තිරී සුසංයෝගයක් ඇතිවීමේ සම්භාවිතාව අවම වශයෙන් පවතී.

මෙම කරුණ නිසා ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන කුසල් ජනිත් දිමුත් සමඟ ඉනිම ආරම්භ කොට තිරිමාන්න හෝ ධනංජය ද සිල්වා දෙදෙනාගෙන් එක් අයකු නො.3 ස්ථානයේ ක්‍රීඩා කරවීමේ අවකාශයක් ද පවතී. අත්දැකීම් අතින් ඉදිරියෙන්ම සිටින කුසල් ජනිත් මේ වන විට කණ්ඩායමේ සිටින වගකීම් සහිත ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකි. මෑත කාලීනව සැලකිය හැකි මට්ටමේ රිද්මයක සිටින කුසල් ජනිත්ගේ ප්‍රධානතම අභියෝගය වන්නේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවයේ ස්ථාවරභාවය පිළිබඳ පැන නැගී ඇති ගැටලුවයි. කෙසේ වෙතත් කණ්ඩායම් සංයුතිය අනුව ඔහුට ආරම්භක පිතිකරණයේ හෝ නො.3 ස්ථානය යන දෙකෙන් එකක ක්‍රීඩා කිරීමට නියත වශයෙන්ම අවස්ථාවක් පවතී. එමෙන්ම කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන්නේ ද ඔහු ය.

කැන්ගරු ආධිපත්‍යය යළිත්?

තවත් නොබෝ දිනකින් ඇරඹීමට නියමිත ICC ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කරන ලද…

මොවුන් හැරුණු කොට සංචිතයේ සිටින අනෙක් ආරම්භක පිතිකරුවා වන්නේ අවිශ්ක ප්‍රනාන්දු ය. ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් අඩු නවක ක්‍රීඩකයෙකු වන අවිශ්ක ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙසින් දේශීය පිටියේ ලකුණු අතරට පිවිසිය ද එම දක්ෂතා ජාත්‍යන්තර තලයට රැගෙන ඒම ඔහුට ඇති ප්‍රධානතම අභියෝගයයි.  

පිතිකරණ ලැයිස්තුවේ නො.4 ස්ථානය නිතරගයෙන්ම කුසල් මෙන්ඩිස්ට හිමි වී තිබෙන අතර ඊට බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ කලකට පසුව ඔහු දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරගාවලියේ දී ලකුණු අතරට පිවිස එම තරගාවලියේ ශ්‍රී ලාංකික පිතිකරුවන්ගෙන් වැඩිම ලකුණු ලාභියා වීමට ඔහු සමත් වූ බැවිනි. තවද මෙම සංචිතයේ සිටින එකම අතිරේක කඩුලු රකින්නා වන්නේ ද ඔහු ය.

වර්තමාන එක්දින පිතිකරණ සංයුතියේ අත්දැකීම් බහුලතම සහ ජ්‍යේෂ්ඨතම පිතිකරුවා වන්නේ ඇන්ජලෝ මැතිව්ස් ය. ඔහු නියත වශයෙන්ම කණ්ඩායමේ නො.5 ස්ථානයේ පිතිකරණයේ යෙදෙනු ඇත.

වර්තමාන එක්දින තරග රටාවට නිසි පරිදි අනුගත වූ ස්ථාවර පිතිකරුවෙකු ලෙසින් කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටින්නෙකු ලෙස ඔහුව නම් කළ හැක්කේ ඔහුගේ එක්දින පිතිකරණ දත්තවල සුවිශේෂීභාවය හේතුවෙනි.

වසර 11ක ජාත්‍යන්තර එක්දින අත්දැකීම් සම්භාරයක් සහිත මැතිව්ස් මේ වන විට එක්දින ලකුණු 5380ක් රැස්කොට ඇත්තේ 42.40ක පිතිකරණ සාමාන්‍යයක් සහ 83.40ක ප්‍රහාරක වේගයක් ද රඳවා ගනිමිනි. තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස මුල් අවධියේ ක්‍රිකට් පිටියට පිවිසි ඔහු මේ වන විට පිතිකරුවෙකු ලෙසින් පමණක් ක්‍රීඩා කරන්නේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවයේ පවතින අස්ථාවරභාවය හේතුවෙනි.

නො.6 ස්ථානය පිළිබඳව සලකා බැලීමේ දී එම ස්ථානයේ ධනංජය ද සිල්වා සහ මිලින්ද සිරිවර්ධන දෙදෙනාගෙන් එක් අයකු ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩකඩක් ඇත. මෑතකාලීනව පා දඟපන්දු යවන්නෙකු ලෙස අතිසා‍ර්ථක වූ ධනංජය කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිකර ගැනීමට නියමිත වූවත් ඔහු නො.6 ස්ථානයේ පිතිකරුවෙකු ලෙස මේ දක්වා සාර්ථක වී නොමැත.

එහෙත් ඔහු පසුගිය පළාත් එක්දින තරගාවලිය පුරාවටම නො.3 ස්ථානයේ සාර්ථක වී එම තරගාවලියේ වීරයා බවට පත් වීම නිසා ඇතැම් විට මෙම සංයුතියේ ද නො.3 ස්ථානය ලැබීමේ අවකාශයක් පවතී. අනෙක් කාරණය වන්නේ ඔහු ජාත්‍යන්තර එක්දින පිටියේ දී මුල්පෙළ පිතිකරුවෙකු ලෙස මේ දක්වා ලබාගත් අවස්ථා සියල්ලේම සාර්ථක වී තිබීමයි.

මේ අතරින් මිලින්ද සිරිවර්ධන වර්තමාන දේශීය එක්දින පිටියේ මැදපෙළ පිතිකරුවෙකු ලෙස සැලකිය හැකි මට්ටමේ සාර්ථකත්වයක් පෙන්වීමට සමත් වූ පිතිකරුවෙකි. ඉනිමක් ගොඩනැගීමට මෙන්ම අවශ්‍ය විටෙක දළ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමේ හැකියාවක් ඔහු සතුව පවතින බැවින් ඔහු නො.6 ස්ථානයට සාධාරණයක් ඉටු කළ හැකි පිතිකරුවෙකි. අනෙක් කරුණ වන්නේ ඔහුව වමත් දඟපන්දු යවන්නෙකු ලෙස ද අමතරව යොදවා ගැනීමේ හැකියාවක් පැවතීමයි.

 

1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය

1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලද මිහිරිතම ජයග්‍රහණය විය. එදා විශිෂ්ට නායකයෙකු සමඟ නව උපක්‍රම භාවිතා….

කණ්ඩායමේ නො.7 ස්ථානය වෙන් වී ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හට ය. වසර 10ක ජාත්‍යන්තර එක්දින අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වන තිසර මේ වන විට කණ්ඩායමේ සිටින තවත් එක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකි. අවසන් වරට පැවති දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ දී පිත්තෙන් සහ පන්දුවෙන් යන දෙකෙන්ම ඔහු අසාර්ථක වූවත් සමස්තයක් ලෙස අවසන් වසර එක හමාර පුරාවටම පිතිකරුවෙකු ලෙස එකදිගටම ලකුණු අතර සිටීමට ඔහු සමත් විය. එහෙත් තිසර සතු ප්‍රධානතම ගැටලුවක් වන්නේ ඔහුගේ පන්දු යැවීමේ රිද්මය ඒකාකාරීව පවත්වා ගැනීමට අසමත් වීමයි.

ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය පිළිබඳව සලකා බැලීමේ දී කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම සහ පරිණතම ක්‍රීඩකයා ලෙස සහ ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග පෙරමුණේ පසු වේ. තරගයක අවසන් තීරණාත්මක පන්දුවාර කිහිපය යැවීමේ විශේෂඥ පන්දු යවන්නන් අතර අංක එකේ පන්දු යවන්නා ලෙස හැඳින්විය හැකි මාලිංගගේ ප්‍රධානතම පන්දු උපක්‍රම වනුයේ Wide Yorker පන්දුව සහ මද වේගී Yorker පන්දුවයි. කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යවන්නා වන්නේ ද ඔහු ය.

මාලිංගගේ සහයක ආරම්භක වේගපන්දු යවන්නා ලෙස අනෙක් අන්තයෙන් සුරංග ලක්මාල් පන්දු යැවීමට බොහෝ දුරට ඉඩ ඇති අතර ඔහු ද එක්දින පිටියේ වසර 10ක අත්දැකීම් සහිත පළපුරුදු ක්‍රීඩකයෙකි. ඔහුටම ආවේණික පන්දු සංකලනයක් හිමි ලක්මාල්ගේ උපරිම දක්ෂතා ඉස්මතු කර ගත හැකි වන්නේ නව පන්දුවෙනි.

වමත් වේගපන්දු යවන්නෙකු වන ඉසුරු උදාන මෙම සංයුතියේ සිටින අතර කණ්ඩායමේ තෙවන වේගපන්දු යවන පුරුක වන්නේ ද ඔහු යි. තම සුවිශේෂී මද වේගපන්දුව තමන්ගේ ප්‍රධානතම පන්දු අවිය බවට පත්කරගෙන සිටින උදාන පසුගිය සමයේ ඉහළින්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි. එමෙන්ම තමන්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස පන්දුවෙන් පමණක් නොව පිත්තෙන් ද කණ්ඩායමට සුවිශේෂී මෙහෙයක් ඉටු කළ හැකි බවට ඔහු මෑත කාලීනව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට සමත් විය. කෙසේ වෙතත් උදානට වත්මන් පිතිකරණ ලැයිස්තුවේ බොහෝ දුරට නො.9 ස්ථානය දක්වා පසුබැසීමට සිදු වනු ඇත.

සංචිතයේ සිටින අනෙක් වේගපන්දු යවන්නා වන්නේ නුවන් ප්‍රදීප් ය. පසුගිය සමයේ ඔහු දැක්වූ අසාර්ථකභාවය නිසා ඔහුගේ ඇතුළත් වීම ප්‍රේක්ෂකයන්ගේ මහත් දෝෂ දර්ශනයට සහ ආන්දෝලනයට තුඩු දුන් අතර ඔහුව ඇතුළත් කිරීමට බලපෑ ප්‍රධානතම සාධක ලෙස අනුමාන කළ හැක්කේ එංගලන්ත තණතීරු වල ඔහු 2014 සහ 2016 වර්ෂයන් වල පැවති සංචාරවල දී ලබා ගත් අත්දැකීම් විය හැක.

කණ්ඩායමේ සිටින ප්‍රධානතම දඟපන්දු යවන්නා ලෙස දකුණත් පා දඟපන්දු යවන ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් සිටින අතර ඔහු එක්දින පිටියට පිවිසෙන්නේ වසර 4කට පසුවයි. ගුග්ලි සහ ලෙග් බ්‍රේක් පන්දු ප්‍රධානතම තුරුම්පු ලෙස භාවිතා කරන ජීවන් මේ වන විට පන්දු යවන්නෙකු වශයෙන් සිය ක්‍රිකට් දිවියේ හොඳම රිද්මයේ පසු වේ. මෑත කාලීනව දේශීය පිටියේ පන්දුවෙන් ලබා ගත් අතිසාර්ථකත්වය ඔහුගේ නැවත කැඳවීමට මූලිකවම බලපෑ හේතුවයි. ඔහුගේ පිතිකරණ හැකියාව ද කණ්ඩායමට අමතර වාසියක් වන අතර බොහෝ දුරට ඔහු නො.8 ස්ථානයේ පිතිකරණයේ යෙදෙනු ඇත.

සංචිතයේ සිටින අනෙක් දඟපන්දු යවන්නා ලෙස දකුණත් පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සිටින අතර ඔහු ද මෑත කාලීනව සැලකිය යුතු මට්ටමේ දක්ෂතා දැක්වූ දඟපන්දු යවන්නෙකි.

සංචිතයේ සිටින ක්‍රීඩකයන් 15 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයින් 4 දෙනා ලෙස ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග සහ කසුන් රාජිත පසෙකින් සිටී.

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ආකාරයේ පසුබෑමකට ලක්වෙමින් දරුණු පරාජයන් රැල්ලකටම දිගින් දිගටම ලක්වීම නිසා මෙවර ලෝක කුසලානය පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ඇත්තේ සෘණාත්මක ආකල්පයකි.

එහෙත් එම පරාජයේ කටුක අත්දැකීම් සියල්ල අමතක කොට, අඩුපාඩු දුර්වලතාවලින් මිදී සුබවාදී මානසිකත්වයකින් සහ කණ්ඩායම් හැඟීමකින් මෙවර තරගාවලිය වෙත ප්‍රවිෂ්ට වීම හුදෙක් ශ්‍රී ලාංකිකයන්ගේ ඒකායන ප්‍රාර්ථනයයි. එමෙන්ම පසුගිය දා ශ්‍රී ලංකාවේ සිදු වූ ඛේදනීය සිදුවීම්වල බලපෑමෙන් හා වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇති වාතාවරණය හමුවේ සිය මනස ශක්තිමත් කොටගෙන ඉදිරියට යාම ඔවුන් හමුවේ ඇති මූලිකම අභියෝගයකි.

එවන් අභියෝග ජය ගනිමින්, තම අරමුණු සාක්ෂාත් කර ගනිමින්, එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියටම ගමන් කිරීමට ඔවුන්ට හැකියාව සහ ධෛර්යය ශක්තිය ලැබේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<