කැන්ගරු ආධිපත්‍යය යළිත්?

376

තවත් නොබෝ දිනකින් ඇරඹීමට නියමිත ICC ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කරන ලද දෙවන කණ්ඩායම වූයේ ඕස්ට්‍රේලියාවයි. වත්මන් ලෝක ශූරයින් ලෙස මෙවර තරගාවලියට පිවිසෙන ඕස්ට්‍රේලියාව ඉතා ශක්තිමත් කණ්ඩායමක් මෙන්ම දක්ෂතා සමූහයක එකතුවකි.

ලෝක කුසලානයේ කිවි සලකුණ – නවසීලන්තය

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ ඉතාමත් අල්ප කාලයකි. ඊට සහභාගී වන කණ්ඩායම් අතරින් බලාපොරොත්තු දල්වා සිටින කණ්ඩායමක් ලෙස නවසීලන්ත…

මේ වන විට තමන් සන්තකයේ පවතින ලෝක ශූර නාමය ඉදිරියටත් ආරක්ෂා සඳහා කරගැනීම එළඹෙන තරගාවලියේ ඔවුන්ගේ ඒකායන අරමුණ වනු නිසැක ය. ඔවුන් මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ දී ඇෆ්ගනිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එංගලන්තය, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව කණ්ඩායම් සමඟ අනුපිළිවෙළින් තරග වැදීමට නියමිතව සිටියි.

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා පවත්වා ඇති තරගාවලි 11න් තුළ ශූරතා 5ක (1987, 1999, 2003, 2007, 2015) සහ අනුශූරතා 2ක (1975, 1996) හිමිකාරිත්වය දරන ඕස්ට්‍රේලියානුවෝ ජගත් ලෝක කුසලාන වංශ කතාවේ තම ආධිපත්‍යය පැතිර වීමට සමත් වූයේ කණ්ඩායමක් සතු ඉහළතම ලෝක කුසලාන වාර්තාව තමන් සන්තකයේ රඳවා ගනිමිනි. එහි තවත් එක් සුවිශේෂීත්වයක් වන්නේ ඔවුන් ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන මහද්වීප 5 දී ම එම ජයග්‍රහණ 5 වාර්තා කිරීමට වීමට සමත් වීමයි.‍

ඕස්ට්‍රේලියානුවන්ගේ මෑතකාලීන දක්ෂතා පිළිබඳව සලකා බැලීමේ දී ඔවුන් අවසන් වරට ක්‍රීඩා කළ තරගාවලි දෙකේ දී ඉන්දියාව සමඟ ඉන්දියාවේ දී 3-2කින් ද, පාකිස්තානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී 5-0ක් ද ලෙස තරගාවලි දෙකක ජයග්‍රහණ ද සමඟින් පිට පිටම එක්දින තරග 8ක් ජය ගැනීමට සමත් වූයේ ජයග්‍රහණ ඉඩෝරයකට පොද වරුසාවක් එක් කරමිනි. ඉතා කටුක කාල සීමාවක් පසුකර යළිත් සිය සුපුරුදු ජයග්‍රාහී රිද්මයට නිසි මොහොතේ පැමිණි කැන්ගරුවන්ගේ පුනරාගමනය පිළිබඳව මේ වන විට දසත පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක්ව ඇත.

පසුගිය කාල සමයේ දී ඕස්ට්‍රේලියානුවන්ගේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයන් දෙදෙනා වූ ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් දෙදෙනාට අත්වූ ක්‍රිකට් තහනමත් සමඟම ඔවුන්ට පරිණත සහ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් නොමැති වීම සහ බලාපොරොත්තු තබා සිටි අත්දැකීම් සහිත ක්‍රීඩකයින් පවා අවශ්‍ය මොහොතේ දක්ෂතා අතරට නොපැමිණීම යන හේතුසාධක මත දිගින් දිගටම අවමන් සහගත පරාජයන් රැල්ලකට මුහුණ දීමට සිදු විය. එහෙත් අවසානයේ දී එම සංක්‍රාන්ති සමයට තිත තබමින් අති සාර්ථක ලෙසින් මෙලෙස නැවත පිබිදීම අනිවාර්යයනේම පැසසුමට ලක් විය යුතු කාරණයකි.

අඳුරු කාල පරිච්ඡේදයකින් අනතුරුව පෙරළිකාර කණ්ඩායමක් ලෙසින් නැවතත් කරළියට පැමිණි නව ඕස්ට්‍රේලියානු කණ්ඩායම අත්දැකීම් සහ පරිණත භාවයකින් යුක්ත මෙන්ම අත්දැකීම් අඩු නවක ක්‍රීඩක සුසංයෝගයක දක්ෂතා එකතුවකින් සමන්විත කණ්ඩායමකි. ලෝක කුසලානයක් අභිමුව සිටින ඉතාමත් තීරණාත්මක අවස්ථාවක නව කණ්ඩායමක් සමඟින් නැවත තම ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීම ඔවුන්ට අවශ්‍යතම මොහොතක සිදු වූ කාලීන පරිවර්තනයකි.  

වර්තමාන එක්දින සංයුතිය දෙස සලකා බැලීමේ දී එහි නායකත්වයේ වගකීම හිමිව තිබෙන්නේ ඒරන් ෆින්ච් හට ය. කණ්ඩායමේ නිත්‍ය ආරම්භයක පිතිකරු භූමිකාව හොබවන ෆින්ච්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය ප්‍රතිවාදීන්ට මහත් අභියෝගයක් වනු ඇති අතර ඔහු කලකට පසු නැවතත් ලකුණු අතරට පැමිණීම ඕස්ට්‍රේලියානුවන්ට මහත් අස්වැසිල්ලකි. පසුගිය දා අවසන් වූ පාකිස්තාන සමඟ එක්දින තරගාවලියේ දී තමන් ක්‍රීඩා කළ තරග 5 තුළ 112.75ක පිතිකරණ සාමාන්‍යයක් සහිතව ලකුණු 451ක් ලබා වැඩිම ලකුණු ලාභියා වීමට ෆින්ච් සමත් වූයේ තම ලෝක කුසලාන සූදානම මනාව ලෝකයට විදහා දක්වමිනි.

ඊට නොදෙවනි ලෙස උස්මාන් කවාජා ද තම අවසන් එක්දින ඉනිම් 10 තුළ ලකුණු 65.30ක පිතිකරණ සාමාන්‍යයක් සහිතව 653ක් ලබා ගනිමින් සිය ක්‍රිකට් දිවියේ එදා මෙදාතුර හොඳම රිද්මයේ රැඳී සිටින්නේ තමා ලද අවස්ථාවට සිය උපරිම සාධාරණය ඉටු කරමිනි. පසුගිය සමයේ ෆින්ච්ගේ ආරම්භක පිතිකරණ සගයා වූ කවාජාට එළඹෙන ලෝක කුසලානයේ දී නො.3 ස්ථානය වෙත පසුබැසීමට බොහෝ දුරට සිදු වනු ඇති අතර ඊට හේතුව වන්නේ කලකට පසු නැවත පිටියට පිවිසෙන ඩේවිඩ් වෝනර් නම් සාධකයයි.

එමෙන්ම පසුගිය සමයේ අංක 3 සහ 4 ස්ථානවල ක්‍රීඩා කළ ෂෝන් මාර්ෂ් තම අවසන් තරග 17 තුළ 55.13ක පිතිකරණ සාමාන්‍යයක් සහිතව ලකුණු 827ක් ලබා ගත්තේ කණ්ඩායමේ ස්ථාවරව දස්කම් දැක්වූ සාර්ථකම පිතිකරුවා බවට පත් වෙමිනි. එහෙත් ඔවුන්ගේ හිටපු නායක ස්ටීව් ස්මිත්ගේ නැවත පැමිණීමත් සමඟ ෂෝන් මාර්ෂ්ගේ ස්ථානය අහිමි වීමට බොහෝ දුරට ඉඩකඩක් ඇත.

ක්‍රිකට් ලොව ‘ලිලිපුට්ටන්’ ගලිවර්ට ගැහුව ගැහිල්ල

ශ්‍රී ලංකාවේ එක්දින තරග ආරම්භය සහ ලෝක කුසලාන පළමු සහභාගිත්වය අතර ඇත්තේ සමාන වයසකි. ඉතිහාස වාර්තාවල පැහැදිලිව සඳහන්ව නැතත් ලොව…

මේ අනුව වෝනර් සහ ෆින්ච් ආරම්භක පිතිකරුවන් ලෙස ද,  කවාජා අංක 3 පිතිකරු ලෙස ද, ස්ටීව් ස්මිත් අංක 4 පිතිකරු ලෙස පිතිකරණ අනුපිළිවෙළ හැඩගැසීමේ අවකාශ වැඩි වශයෙන් පවතී. වර්තමාන එක්දින සංයුතියේ ඇති අති විශාල තරගකාරීත්වය හේතුවෙන් වෝනර් සහ ස්මිත් දෙදෙනාටම මේ වන විට විශාල අභියෝගයක් එල්ල වී ඇතත් එය තරමක් දුරට හෝ මගහරවා ගැනීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් T20 තරගාවලියේ දක්වන දක්ෂතා ඔවුන්ට මනා පිටිවහලක් වනු ඇත්තේ එක්දින තරග රටාවෙන් ඔවුන්ව නිර්ණය කිරීමට වෙනත් අවස්ථාවක් ලෝක කුසලානයට පෙරාතුව නොලැබෙන බැවිනි.

කෙසේ වෙතත් එහි දී වෝනර් සහ ස්මිත් දෙදෙනාටම නැවත ලකුණු අතරට හැකියාවක් ලැබීම ඔවුන් දෙදෙනාට මෙන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ද මහත් අස්වැසිල්ලක් වන නමුදු ඔවුන් එම රිද්මය ජාත්‍යන්තර තලයට රැගෙන යමින් එක්දින පිටියේ තම සුපුරුදු රිද්මයට නැවතත් පැමිණීමට හැකි වේවි ද නැද්ද යන්න මේ වන විට පැන නැගී ඇති විශාල ප්‍රශ්නාර්ථයකි.

ඕස්ට්‍රේලියානුවන්ගේ මැදපෙළ ශක්තිමත් කරන ප්‍රධානතම අවියක් වන ග්ලේන් මැක්ස්වෙල් අංක 5 ස්ථානයේ පිතිකරණයේ යෙදෙන අතර, තරගයක තීරණය වෙනස් කරමින් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා වඩාත් ශුභවාදී බලපෑමක් එල්ල කළ හැකි ක්‍රීඩකයා ලෙසින් ඔහුගේ නාමය ඉදිරියෙන්ම රැඳී පවතී. පන්දු යවන්නන්ගේ විශාලතම භීතිකාවක් බවට පත්වෙමින් තම කණ්ඩායමට නොතිබෙන ජයක් කරා පවා තමන්ට රැගෙන යා හැකි දක්ෂතාවයක් ඇති බවට කිහිප වතාවක් සනාථ කර ඇති මැක්ස්වෙල් පිත්තෙන් පමණක් නොව පන්දුවෙන් ද කණ්ඩායමට අවශ්‍ය මොහොතක සේවය ලබා දෙන කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුවකි.

කණ්ඩායමේ අංක 6 ස්ථානය මාකස් ස්ටොයිනිස්ට වෙන්ව ඇති අතර වර්තමාන ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායම නියෝජනය කරන පිතිකරණය මූලික කර ගත් වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයා වශයෙන් අද වන විට ඔහු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්ව ඇත. එක්දින සංයුතියේ නිත්‍ය කඩුලු රකින්නාගේ භූමිකාව ඇලෙක්ස් කෙරීට පැවරී ඇති අතර ඔහු ලෙස අංක 7 ස්ථානයේ පිතිකරණයේ නියැලෙනු ලබයි.

වේගපන්දු යවන්නන් ලෙස සලකා බැලීමේ දී කණ්ඩායමේ අත්දැකීම් බහුලතම වේගපන්දු යවන්නා ලෙස මිචෙල් ස්ටාක් පෙරමුණේ සිටී. ගියවර ලෝක ශූරතාවය තම කණ්ඩායමට රැගෙන ඒමේ පුරෝගාමියා බවට පත් වූ ස්ටාක් එම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම තරගාවලියේ වීරයා බවට ද පත් වූයේ ප්‍රතිවාදීන්ගේ කඩුලු 22ක් උදුරා ගනිමිනි. කෙටි දිවීමේ ආරම්භයක් සමඟ පැයට කිලෝමීටර 140කට වැඩි වේගයකින් යවන යෝකර් පන්දුව ඔහුගේ ප්‍රධානතම අවියයි.

එහෙත් ස්ටාක්ගේ මූලිකතම දුර්වලතාවයක් වනුයේ අවසාන පන්දුවාර කිහිපය යැවීම සඳහා ප්‍රමාණවත් පන්දු සංකලනයක් ඔහු සතුව නොතිබීමයි. කෙසේ වෙතත් පසුගිය දිනවල ඔහුගේ එක්දින රිද්මය තරමක් දුරට ගිලිහි යාම නිසා කණ්ඩායමෙන් තාවකාලිකව ඉවත් කළත් ඔහුගේ සමස්ත දක්ෂතා සහ අත්දැකීම් යන හේතු කාරණා පාදක කොට ගෙන ඉදිරි ලෝක කුසලානයේ ඔවුන්ගේ ප්‍රධානතම සාධකයක් ලෙසින් ඔහුව නිතරගයෙන්ම ආරම්භක වේගපන්දු යවන්නා ලෙසින් යොදවා ගනු ඇත.

ස්ටාක්ගෙන් පසුව සිටින ප්‍රධානතම වේගපන්දු තුරුම්පුව වන්නේ පැට් කමින්ග්ස් ය. වේගය සහ පන්දුව දෝලනය කිරීමේ හැකියාව තම මූලිකම අවි බවට පත්කර ගන්නා කමින්ග්ස් මේ වන විට පන්දු යැවීමේ හොඳම රිද්මයක් සහිතව තම ඉහළතම දක්ෂතා අතර රැඳී සිටී. එමෙන්ම වර්තමාන එක්දින පන්දු යවන්නන්ගේ ICC වර්ගීකරණයේ 6 වැනි ස්ථානයේ ඔහු පසුවන අතර එම ශ්‍රේණිගත කිරීම්හි මුල් දස දෙනා අතර සිටින එකම ඕස්ට්‍රේලියානු නියෝජනය වන්නේ ද ඔහු ය.

අහම්බයකින් මයික් එක අතට ගත් ඕස්ට්‍රේලියානුවා

1996 විල්ස් ලෝක කුසලානය වෙනුවෙන් නම් කරන ලද ඕස්ට්‍රේලියානු සංචිතයේ සිටි එක් සාමාජිකයෙක් මයිකල් ස්ලේටර්. ඔහු මේ තරඟාවලියේදී කණ්ඩායම්…

ස්ටාක් සහ කමින්ග්ස් සමඟ එක්වූ එක්දින වේගපන්දු බළඇණියේ තෙවැනි පුරුක වන්නේ තවමත් 23 හැවිරිදි නවක ක්‍රීඩක ජායි රිචඩ්සන් ය. කමින්ග්ස්ට මෙන්ම ඔහුටත් ඔහුට ද පන්දුව දෝලනය කිරීමේ විශේෂ හැකියාවක් පවතින අතර මේ දක්වා දඩයම් කළ කඩුලු මල්ලෙන් වැඩි කොටසක් දවා ගැනීමට හැකියාව ලැබුණේ ද ඔහුටම ආවේණික එම සුවිශේෂී දෝලනය මඟිනි. තවද ඔහු පන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් අංක 8 ස්ථානයේ පිතිකරණයේ යෙදීම කණ්ඩායමට අත්වන අමතර වාසියකි.

මොවුන් තිදෙනාගේ බලඇණියට අමතරව සංචිතයේ අනෙක් වේගපන්දු යවන්නන් වන්නේ නෙතන් කූල්ටර් නයිල් සහ ජේසන් බෙරන්ඩෝෆ් දෙදෙනා යි. කෙටි පන්දුව සහ මද වේගි යෝකර් පන්දුව තම මූලික අවි බවට පත්කරගෙන සිටීන කූල්ටර් නයිල් පන්දුවට අමතරව මෑත කාලීනව පිතිකරුවෙකු ලෙස ද සාර්ථකත්වයක් පෙන්වා ඇත. වර්තමාන දක්ෂතාවලට අනුව ජේසන් බෙරන්ඩෝෆ් ද ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නෙකි. ඔහුගේ පන්දු යැවීමේ වැඩි වේගයක් නොතිබුණ ද ඔහු තම පන්දු යැවීමේ සම්මිශ්‍රණය සහ විවිධත්වයන් උපයෝගී කරගනිමින් ප්‍රතිවාදී පිතිකරුවන්ව මුලා කොට කඩුලු දවා ගැනීමට සමත් පන්දු යවන්නෙකි.

කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යවන්නා ලෙස පා දඟපන්දු යවන ඇඩම් සම්පා පෙරමුණේ පසුවන අතර ඔහු සතු ගුග්ලි සහ ලෙග් බ්‍රේක් පන්දු සංකලනය තම කඩුලු දඩයමේ ප්‍රධානතම අවි බවට පත්කරගෙන ඇත. ඔවුන්ගේ දෙවන දඟපන්දු යවන්නා ලෙස පිට දඟපන්දු යවන නෙතන් ලයන් රැඳී සිටී. එහෙත් තම සුපුරුදු ටෙස්ට් දක්ෂතා එක්දින තරගවලට රැගෙන ඒමට මේ දක්වා අපොහොසත් වීම සහ ඇඩම් සම්පා යන සාධකය හේතුවෙන් ලයන්ට එක්දින සංයුතියේ අවසන් 11 තුළ ස්ථානයක් දිනා ගැනීමේ නොහැකියාවක් පවතී.

ඕස්ට්‍රේලියානුවන් තම ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ අයුරින් පසුගිය සමයේ දිගින් දිගටම අවමන් සහගත පරාජයක් රැල්ලකට තම කණ්ඩායමට මුහුණ දෙමින් සිටිය ද පසුකාලීනව ඒ සියලු බාධක මැඩලා විශ්වසනීය ක්‍රීඩකයන් එකතුවක සාමූහික දායකත්වයෙන් ශක්තිමත්ව ඉදිරියට පැමිණීම අතිශයින්ම ප්‍රශංසනීය කාරණයකි.

ඒරන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුතුව නව මුහුණුවරකින් පැමිණි වර්තමාන ඕස්ට්‍රේලියානු පිල අද වන විට අනෙකුත් කණ්ඩායම්වලට විශාල තර්ජනයක් වනු ඇති බවට අනතුරු අඟවමින් සිටින අතර එළඹෙන ලෝක කුසලානයේ පෙරළියක් ඇති කළ හැකි කණ්ඩායමක් වශයෙන් ප්‍රතිවාදීන් හට විශාල අභියෝගයක් වනු ඇති බවට ද නොඅනුමානයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<