කෝඩුකාර ඇෆ්ගනිස්තානුවන්ගේ ලෝක කුසලාන සිහිනය

233

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇරඹීම සඳහා මේ වන විට සියලුම කටයුතු සූදානම්. ඒ සඳහා සහභාගී වන කණ්ඩායම් අතරින් කෝඩුකාරයින් ලෙස හැඳින්විය හැකි ඇෆ්ගනිස්තාන කණ්ඩායම එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ දස්කම් රැසකින් සමන්විත සමබර සංයුතියක් ලෙසිනි.

බංගලි ව්‍යාග්‍රයන්ගේ කුළුඳුල් ලෝක කුසලාන ජයග්‍රහණය මෙය වේවි ද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට සියලුම කණ්ඩායම්වල සංචිත නම් කොට අවසන්…

ඇෆ්ගනිස්තානුවන් මෙවර සහභාගී වන්නේ තම දෙවන ලෝක කුසලාන තරගාවලියටයි. තම කණ්ඩායම 2015 ලෝක කුසලානයට සහභාගී වන විට තිබූ තත්ත්වයට වඩා ශීඝ්‍ර වර්ධනයක් ලබා ඇති ඇෆ්ගනිස්තානුවන් මෙවර තරගාවලියට පිවිසෙන්නේ යම් සුවිශේෂි පෙරළියක් ඇති කිරීමේ ඒකායන බලාපොරොත්තුව පෙරදැරිකොට ගනිමිනි.

ලොව නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර ඉදිරියෙන්ම තැබිය හැකි තවත් එක් කණ්ඩායමක් වන ඇෆ්ගනිස්තානය වර්තමානය වන විට ලොව මුලි පෙළේ ක්‍රිකට් කණ්ඩායම්වලට පවා විටින් විට අභියෝගයක් වීමට සමත් වූ කණ්ඩායමක් වන අතර ඔවුන් මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ගුල්බදීන් නායිබ්ගේ නව නායකත්වය යටතේ තරග කිරීමට නියමිත ය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වශයෙන් පිවිසෙන්නේ වමත්-දකුණත් ප්‍රවේගකාරී සුසංයෝගයක් වන හස්රතුල්ලා සසායි සහ මොහොමඩ් ෂෙසාඩ් යුගලයයි.

මේ අතරින් අත්දැකීම් අඩු පිතිකරුවෙකු වන හස්රතුල්ලා ඉතා ආක්‍රමණශීලී වමත් පිතිකරුවෙකි. ඒ බව සනාථ කරමින් ඔහු පසුගිය දා පාකිස්තානය සමඟ පැවති පුහුණු තරගයේ දී ද පන්දු 28කින් ලකුණු 49ක් ලබා ගත්තේ නම් දැරූ පාකිස්තාන පන්දු යවන්නන්ට දිගට හරහට බැට දෙමිනි.

අනෙක් අන්තයේ සිටින මොහොමඩ් ෂෙසාඩ් යනු ඔවුන් සතු අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකි. ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස නම් දැරූ දකුණත් ආරම්භක පිතිකරුවෙකු වන ෂෙසාඩ් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වශයෙන් ද කටයුතු කරනු ලබයි.

නො.3 ස්ථානය හිමිව තිබෙන්නේ දකුණත් පිතිකරු රහ්මාත් ෂා හටයි. පිටියේ තැන්පත් වී තරමක් සංයමයෙන් ඉනිමක් ගොඩනගන්නෙකු වන ඔහු තම දකුණත් පා දඟපන්දුවෙන් ද කණ්ඩායමට අමතර ශක්තියක් වන ක්‍රීඩකයෙකි.

ඇෆ්ගනිස්තාන පිතිකරණ බලඇණියේ මේ දිනවල හොඳම රිද්මයේ සිටින පිතිකරුවා වන වමත් පිතිකරු හස්මතුල්ලා ශහිඩිට මෙම සංයුතියේ නො.4 ස්ථානය නිතරගයෙන්ම වෙන් වී තිබෙන්නේ ඔහු සතු සුවිශේෂී පිතිකරණ හැකියාව මෑත කාලීනව කිහිප වතාවක්ම ක්‍රිකට් ලෝකයා ඉදිරියේ ඔප්පු කිරීමට සමත් වූ බැවිනි.

පසුගිය දින ප්‍රබල පාකිස්තානය සමඟ පැවති පුහුණු එක්දින තරගයේ දී ද නොදැවී ලකුණු 74ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්තාන ජයග්‍රහණයේ නියමුවා වීමට ඔහු සමත් වූයේ ද නම් දැරූ පාකිස්තාන පන්දු යවන්නන්ට දිගට හරහට බැට දෙමිනි.

මෙම සංයුතියේ නො.5 ස්ථානය වෙන් වී ඇත්තේ ඇෆ්ගනිස්තාන හිටපු නායක මෙන්ම ජ්‍යේෂ්ඨ ක්‍රීඩක අස්ගර් ඇෆ්ගන් හටයි. බොහෝ විට ඇෆ්ගනිස්තාන ඉනිමේ නැංගුරම බවට පත්වන ඔහු පිටියේ තැන්පත් වී ලකුණු රැස් කරන්නෙකි.

නො.6 ස්ථානයේ පිතිකරණයේ යෙදෙන්නේ ඇෆ්ගනිස්තානය සතු ප්‍රබලතම තුරුම්පුවලින් එකක් ලෙස හැඳින්විය හැකි මොහොමඩ් නබී ය. ගියවර ලෝක කුසලානයේ ඇෆ්ගනිස්තාන නායකත්වය ද හෙබවූ ඔහු ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම සහ වඩාත් ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයායි.

පාකිස්තානුවන්ගේ මෙහෙයුමෙන් කුසලානය ඔවුන් ඩැහැගනී ද?

නොබෝ දිනකින් ඇරඹීමට නියමිත 12 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මේ වන විට කටයුතු…

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වශයෙන් දකුණත් පිතිකරණයෙන් සහ දකුණත් පිට දඟපන්දු යැවීමෙන් කණ්ඩායමේ කණ්ඩායම සමබර කරන ඔහු ඇෆ්ගනිස්තානුවන්ගේ විශාලතම බලාපොරොත්තුවකි.

අවස්ථානුකූලව පිතිකරණයේ යෙදිය හැකි පිතිකරුවෙකු වන ඔහු පිටියේ තැන්පත් වී කෙමෙන් කෙමෙන් ඉනිම් ගොඩනැගීමට මෙන්ම අවශ්‍ය විටෙක දල ලකුණු වේගය ද වැඩි කළ හැකි පිතිකරුවෙකි. එමෙන්ම පන්දු යැවීමෙන් ද ඔහු කණ්ඩායමේ දඟපන්දු අංශය ශක්තිමත් කරන්නේ විශේෂඥ දඟපන්දු යවන්නෙකු ලෙසිනි.

මෙම සංචිතයේ තිබෙන තරගකාරීත්වය මත මේ වන විට ඔවුන්ගේ ජ්‍යේෂ්ඨතම පිතිකරුවන් දෙදෙනෙකු වන ශමිඋල්ලා ෂෙන්වාරි සහ නජිබුල්ලා සර්දාන් දෙදෙනාටම කණ්ඩායමේ අවසන් 11 අතර ස්ථානයක් සොයා ගැනීම ඉතාමත් අපහසු කාරණයක් බවට පත් වී ඇති අතර ඔවුන් දෙදෙනා ම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආරම්භයේ පටන්ම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන් බවට පත් වී සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකි.

මැදපෙළ පිතිකරුවෙන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා ම මෙම සංචිතයේ සිටින ඇෆ්ගනිස්තාන පිතිකරුවන් අතරින් හොඳ පිතිකරණ වාර්තාවක් හිමි පිතිකරුවන් වූවත් ඔවුන් පසුගිය සමයේ දිගින් දිගටම අසාර්ථක වීම මත කණ්ඩායමේ ඔවුන් සතුව තිබූ නිත්‍ය ස්ථාන පවා අහිමි විය.

මේ අතරින් ශමිඋල්ලා ෂෙන්වාරි යනු තරමක් සෙමෙන් ඉනිම් ගොඩනගන දකුණත් පිතිකරුවෙකු වන අතර නජිබුල්ලා සර්දාන් යනු ප්‍රවේගකාරී වමත් පිතිකරුවෙකි.

ලෝක කුසලානයක් වැනි ප්‍රමුඛ පෙළේ තරගාවලියක් සඳහා අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සිටීම වැදගත් වීමේ කාරණාව මත යම් හෙයකින් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ කණ්ඩායමේ ස්ථානයක් ලැබෙන්නේ නම් ඒ වෙනුවෙන් ඉවතට යාමට සිදු වන්නේ ද ඔවුන්ගේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු වන අස්ගර් ඇෆ්ගන්ට හෝ මුල් පෙළ පිතිකරු රහ්මාත් ෂාට පමණි. එහෙත් වර්තමාන රිද්මය මත එය සිදුවීමේ සම්භාවිතාව ඉතාමත් අඩු මට්ටමක පවතී.

සංචිතයේ සිටින අනෙක් අතිරේක පිතිකරුවා වන්නේ ආරම්භක පිතිකරු නූර් අලී සර්දාන් ය. නූර් අලී යනු ඉතා සංයමයෙන් ඉනිම් ගොඩනැගිය හැකි දකුණත් පිතිකරුවෙකු වූවත් ඔහු සතු ප්‍රධානතම ගැටලුව වන්නේ ප්‍රහාරක වේගය ඉතාමත් අඩු මට්ටමක පැවතීමයි.

මෙම සංයුතියේ නො.7 ස්ථානය නිත්‍ය වශයෙන්ම වෙන් වී ඇත්තේ පන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇෆ්ගනිස්තාන නායක ගුල්බදීන් නායිබ් හටයි. දකුණත් මද වේගපන්දු යවන්නෙකු වන ඔහු පන්දුව පිටතට දෝලනයෙන් වැඩි වාසි ලබා ගන්නා පන්දු යවන්නෙකි. එමෙන්ම දකුණත් පිතිකරුවෙකු වශයෙන් කණ්ඩායමේ පහළ මැදපෙළට ද අමතර ශක්තියක් වන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

යකඩ පොල්ලෙන් පහර කා පැමිණි අවසන් මහා තරගයේ වීරයා

1979 වසරේ දෙවැනි වරට පැවැත්වුණ ක්‍රිකට් ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දුන්නේ…

කණ්ඩායමේ දඟපන්දු බලඇණියේ මුල් පුරුක බවට පත්වෙමින් ලොව කාගේත් අවධානය දිනා ගත් පන්දු යවන්නෙකු බවට පත් වී තිබෙන රෂීඩ් ඛාන් ඔවුන්ගේ විශාලතම තුරුම්පුවකි. මෑත කාලීනව පිතිකරුවන්ගේ භීතිකාවක් බවට පත් වී සිටින දකුණත් පා දඟපන්දු යවන්නෙකු වන රෂීඩ් තම ගුග්ලි සහ ලෙග් බ්‍රේක් පන්දු සංකලනයෙන් පිතිකරුවන් මුලා කරමින් ස්ථාවරව කඩුලු ලබා ගැනීමට සමත් වන්නෙකි. එමෙන්ම පහළ මැදපෙළ පිතිකරුවෙකු ද වශයෙන් කණ්ඩායමට අමතර ශක්තියක් වන ඔහු ඇෆ්ගනිස්තානුවන් සතු ප්‍රබලතම ක්‍රීඩකයෙකි.

ඔහුගේ සහයක විශේෂඥ දඟපන්දු යවන්නා වන්නේ වමත් පිට දඟපන්දු යවන්නෙකු වන මුජීබුර් රෙහ්මාන් ය. වර්තමාන ක්‍රිකට් ලෝකය තුළ ඔහු ද නමක් දිනා සිටින නවක දඟපන්දු යවන්නෙකු වන අතර ස්ථාවරව කඩුලු දවා ගනිමින් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වීමට සමත් වූ ක්‍රීඩකයෙකි.

මොවුන් දෙදෙනාට අමතරව තවත් විශේෂඥ දඟ පන්දු යවන්නෙකු වශයෙන් ඇෆ්ගනිස්තාන දඟපන්දු අංශය ශක්තිමත් කිරීම සඳහා මොහොමඩ් නබී ද සිටින බැවින් ඔවුන්ගේ අවසන් 11 තුළ විශේෂඥ දඟපන්දු යවන්නන් තිදෙනෙකු ම සිටී.

වේගපන්දුවට හිතකර එංගලන්ත තණතීරු වල ඔවුන් තිදෙනාම එකවර වූවද ක්‍රීඩා කරවීමේ අවකාශයක් පවතින්නේ ඇෆ්ගනිස්තානුවන් බොහෝ විට තණතීරු ස්වභාවයේ වාසියට වඩා සිය සංයුතියේ දක්ෂතා එකතුවේ ශක්තියට මුල් තැන දීමට ඇති ප්‍රවණතාව සහ ඒ මත තබන විශ්වාසය වැඩි බැවිනි.

මෙම සංචිතයේ ඇති එක් සුවිශේෂීත්වයක් වන්නේ ඔවුන්ගේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වන මොහොමඩ් නබී ද සමඟ විශේෂඥ පිතිකරුවන් 9 දෙනෙකු ඔවුන්ට සතු වීමයි. ඊට අමතරව පන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන නායක ගුල්බදීන් නායිබ් සහ රෂීඩ් ඛාන් ද සිටීම නිසා ඔවුන්ගේ පිතිකරණ අංශය තවත් ශක්තිමත් වේ.

ඇෆ්ගනිස්තාන වේගපන්දු අංශය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී කණ්ඩායමේ අනෙකුත් ස්ථාන දෙක සඳහා ක්‍රීඩා කරන වේගපන්දු යවන්නන් දෙදෙනා ලෙස බොහෝ දුරට අනුමාන කළ හැක්කේ ධව්ලාට් සර්දාන් සහ හමීඩ් හසන් දෙදෙනා යි. ඔවුන් දෙදෙනා සමඟ වේගපන්දු බලඇණියේ තෙවැනි වේගපන්දු යවන පුරුක වන්නේ නායක ගුල්බදීන් නායිබ් ය.

ධව්ලාට් සහ හමීඩ් යුගලයේ සුවිශේෂීත්වය වන්නේ මොවුන් දෙදෙනාම පැයට කිලෝමීටර් 140ට වැඩි වේගයකින් ස්ථාවරව පන්දු යවන වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වීමයි. මොවුන් දෙදෙනාම අමතර වේගයට ප්‍රමුඛතාවය ලබා දෙමින් පන්දුව ප්‍රතිදෝලනයෙන් සහ කෙටි පන්දුවෙන් වැඩි වාසි ලබා ගන්නා දකුණත් පන්දු යවන්නන් යුගලයකි.

සංචිතයේ සිටින අතිරේක වේගපන්දු යවන්නා වන්නේ දකුණත් වේගපන්දු යවන්නෙකු වන අෆ්ටාබ් අලාම් ය. පන්දුව ඇතුළට දෝලනයෙන් සහ වේගය අඩාල කරමින් යවන යෝකර් පන්දුවෙන් සාර්ථක ඵල නෙලාගන්නා ඔහුට අවසන් 11 අතර අවස්ථාවක් හිමි වීමේ අවස්ථාව අවම වශයෙන් පවතින්නේ ධව්ලාට් සහ හමීඩ් සුසංයෝගය ස්ථාවරව දස්කම් දැක්වීම හේතුවෙනි.

ඒ අනුව මෙවර ලෝක කුසලානයට සහභාගී වන ඇෆ්ගනිස්තාන කණ්ඩායම සෑම අංශයකින්ම ශක්තිමත් කණ්ඩායමකි.  එමෙන්ම ඔවුන්ගේ පසුගිය සමයේ දත්ත හා සංසන්දනයේ දී කිසිසේත් අවතක්සේරු කළ නොහැක්කේ ඔවුන් ලොව ප්‍රමුඛ පෙළේ කණ්ඩායම්වලට පවා දිගින් දිගටම අභියෝගයක් වීම හේතුවෙනි. ඊට වඩාත් මෑත කාලීන උදාහරණය වන්නේ පසුගිය දා පැවති ලෝක කුසලාන පුහුණු එක්දින තරගයේ දී ඔවුන් පෙරළිකාරී ලෙසින් ප්‍රබල පාකිස්තාන කණ්ඩායම පරාජය කිරීමයි.

මෙවර ලෝක කුසලානයට පිවිසීමට පෙර ඔවුන්ට සුබ නිමිත්තක් ලෙස ගත හැකි විශාලතම අතීත උදාහරණයක් වන්නේ ක්‍රිකට් ලෝකයට අත්පොත් තබා කෙටි කාලයක් තුළ කෝඩුකාර ශ්‍රී ලංකාව 1996 වසරේ ලෝක කුසලානයක් ජය ගැනීමට සමත් වීමයි. එවන් අතීත සිද්ධීන් ආදර්ශයක් වශයෙන් ලබා ගනිමින් නැගී සිටීමට සහ ඉදිරියට යාමට උත්තේජනයක් කරගැනීම ඔවුන්ගේ ඉදිරි යහපත පිණිස ඉවහල් වනු ඇත.

ඉහත හේතු කාරණා සැලකිල්ලට ගත් විට නව නායකත්වයක් යටතේ මෙවර තරගාවලියට ප්‍රවිෂ්ට වන ඇෆ්ගනිස්තානුවන් මෙවර අනපේක්ෂිත අයුරින් යම් පෙරළියක් ඇති කිරීමට වුවද හැකියාවක් තිබෙන කණ්ඩායමක් බවට අනුමාන කළ හැක්කේ ඔවුන්ගේ මෑත කාලීන දක්ෂතා පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ය.

ඒ සඳහා ඔවුන් සතුව තරග දිනවිය හැකි මට්ටමේ ලොව ප්‍රබල තුරුම්පු වන රෂීඩ් ඛාන්, මොහොමඩ් ෂෙසාඩ් සහ මොහොමඩ් නාබි වැනි ක්‍රීඩකයන් සිටීම ඔවුන්ට මහත් අස්වැසිල්ලකි. එබැවින් මෙවර ලෝක කුසලානයේ දී කෝඩුකාරයින් ලෙස මොවුන් නැගී සිටිමින් ප්‍රබල කණ්ඩායම් ඉදිරියේ සටන් වදින ආකාරය කෙසේ වේ දැයි ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලෙස අප විමසිල්ලෙන් බලා සිටිමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<