ලෙඩ ඇඳේ ඉඳන් ලෝඩ්ස් ආව බෙහ්රෙන්ඩෝෆ්

214
(Photo by SAEED KHAN / AFP)

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියා – එංගලන්ත තරගය පුවත් මවන තරගයක් වී හමාරය. එංගලන්තය පරදා ලකුණු 64ක ජයග්‍රහණයක් ලබා ගත් ඕස්ට්‍රේලියාව 2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම විය. 

එංගලන්ත ඉනිම වැනසූ ජේසන් බෙහ්රෙන්ඩෝෆ් හා මිචෙල් ස්ටාක් කඩුලු 9ක් බෙදා ගන්නා ලදි. ජේසන් තම ක්‍රිකට් දිවියේ පළමු කඩුලු 5 වාර්තා කිරීමට සමත් විය. ජේසන් බෙහ්රෙන්ඩෝෆ් ඕස්ට්‍රේලියා සංචිතයේ එතරම් හුරුපුරුදු නමක් නොවේ. එයට හේතුව වන්නේ ඔහු 2015 වසරේ සිට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එතරම් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර නොතිබීමයි. ඔහුගේ කොන්දෙහි ඇතිවූ අස්ථි පුපුරා යාමක් ඔහුගේ ක්‍රිකට් ජීවිතය තරමක් ඔහුගෙන් ඈත් කළේය. ක්‍රිකට් ජීවිතයට සමුදීමට තරම් ආබාධය ප්‍රබල වුවත් අධිෂ්ඨානය සියල්ලට වඩා ප්‍රබල බව තහවුරු කිරීමට බෙහ්රෙන්ඩෝෆ් පසුගිය දා සමත් විය. 

එංගලන්ත පරාජයෙන් ක්‍රිකට් රන් දෙවොල රත් වෙයි

වමතින් වේගපන්දු යවන 29 හැවිරිදි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජේසන් බෙහෙරෙන්ඩොෆ්ගේ දක්ෂතා හමුවේ අතරමං වූ එංගලන්ත….

කෙසේ වෙතත් බෙහ්රෙන්ඩෝෆ්ගේ ආබාධය නිසා තවමත් ඔහුට පළමුපෙළ තරග සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වී ඇත. එක්දින ක්‍රිකට් තරගවල දී ඔහුගේ දක්ෂතා හා ලබාගන්නා ශාරීරික යෝග්‍යතාව නිසාවෙන් තමන්ට නැවතත් ටෙස්ට් තරග සඳහා එක්විය හැකි බව බෙහ්රෙන්ඩෝෆ්‍ගේ අදහස වී ඇත. 

ආබාධයට ලක්වීමෙන් පසු ඔහුගේ සියලු බලාපොරොත්තු නැවතත් සාර්ථක කිරීමට පසුගිය දා ක්‍රිකට් මහගෙදර වූ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 44කට කඩුලු 5ක් බිඳ දැමීම සමත් විය. බෙහන්ඩ්‍රෝෆ් තම දෙවන ලෝක කුසලාන තරගයේ දී ම ඕස්ට්‍රේලියා කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා රැගෙනයාමට තරම් වාසනාවන්ත විය. 

“ක්‍රීඩාවෙන් ඈත් වෙලා හිටිය දවස්වල මම හිතුවා මම ආයෙත් ක්‍රීඩා කරනව ද කියලා. පොඩි කාලේ ඉදන් මම දැකපු හීනයක් මේක. ඕස්ට්‍රේලියාවට ක්‍රිකට් ක්‍රීඩා කිරීමම ලොකු හීනයක්. ඒ වගේම ලෝඩ්ස්වල දී කඩුලු 5ක් ලබා ගැනීම. ඒක මම ගොඩක් වටිනා දෙයක් විදියට සලකනවා” තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ බෙහ්රෙන්ඩෝෆ් පවසා සිටියා. 

“මම ක්‍රීඩා කරන්නේ ගෞරවයක් ලබාගන්න නෙමෙයි. ඒත් මේ තරගය මට සුවිශේෂී එකක්.” 

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

බෙහ්රෙන්ඩෝෆ් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගන්නේ මෙම වසරේ ජනවාරි මාසයේ දී ය. ඒ ඉන්දීය තරගාවලියේ යි. තම පළමු තරගයේ කඩුලු දෙකක් දවා ගැනීමට බෙහ්රෙන්ඩෝෆ් සමත් විය. 

තවමත් එක්දින තරග 8කට පමණක් ක්‍රීඩා කර ඇති බෙහ්රෙන්ඩෝෆ් තම ක්‍රිකට් ජීවිතයේ වඩාත්ම සතුටු වූ දවස බවට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ 28000ක ප්‍රේක්ෂකයන් ඉදිරියේ දැක්වූ මෙම දක්ෂතාවය පත්වනු ඇත. 

තමන් කෙරෙහි විශ්වාසය තැබූ නායක ඒරොන් ෆින්ච්ට හා තේරීම් කමිටුවට තම කෘතඥතාව පලකිරීමට ද බෙහ්රෙන්ඩෝෆ් අමතක කළේ නැත. 

බෙහ්රෙන්ඩෝෆ්ගේ පළමු ලෝක කුසලාන තරගය ශ්‍රී ලංකා තරගය වූ අතර එහි දී ඔහු ලකුණු 59කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. 

“තේරීම් කමිටුවට යුතුකම ඉෂ්ට කිරීමට ලැබුණ එක ගොඩක් වටිනවා. අපි හොඳ ආරම්භයක් ගත්තා. අපි ඒක ඉනිම පුරාවටම තියාගත්තා.” 

ඕස්ට්‍රේලියානු වේගපන්දු බලඇණියට අලුතින් එක්වූ බෙහ්රෙන්ඩෝෆ්, මිචෙල් ස්ටාක් හා පැට් කමින්ස් තමන්ට ලබා දුන් සහයෝගය පිළිබඳව ද අදහස් දක්වා සිටියා. 

එංගලන්ත ක්‍රීඩාලෝලියෙක් කරපු විහිළුවට ස්ටාක් තවත් උද්යෝගීමත් වෙයි

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රබලතම තරග කිහිපය මේ දිනවල පැවැත්වේ. ලෝක කුසලානයට පෙර එක්දින ශ්‍රේණිගත කිරීම්වල….

“මිචෙල් හා පැට් ගොඩක් තරග ක්‍රීඩා කරලා තියනවා. මම ඔවුන් එක්ක කොහොමද කඩුලු ලබාගන්නේ කියලා කතා වුනා. විශේෂයෙන් මැද පන්දුවාර වලදී. ඒක ගොඩක් වටිනවා. අපි පන්දුව හරි ආකාරව pitch කරලා stumps වලට තමයි පන්දු ‍යැවුවේ. අපි දැක්කා එංගලන්තය ඒක කළේ නෑ.”

ඕස්ට්‍රේලියා කණ්ඩායම ලෝක කුසලානයේ මුහුණ දුන් තරග හතෙන් හයක්ම ජයග්‍රහණය කර ඇති අතර අවසන් පූර්ව වටයට පිවිසි පළමු කණ්ඩායම ඔවුන් බවට පත්විය. 

පසුගිය ලෝක කුසලාන තරගාවලි 5 දී සිව් වතාවක් ලෝක කුසලාන කිරුළ පැළඳීමට ඕස්ට්‍රේලියාව සමත්ව ඇත. නමුත් බෙහ්රෙන්ඩෝෆ් පවසා සිටියේ තම කණ්ඩායම ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායම නොවන බවයි. 

“මම හිතන්නේ නෑ අපි තමයි ප්‍රබලතම කණ්ඩායම කියලා. තරගාවලිය හැමෝටම විවෘතයි. එංගලන්තය ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඔවුන් තමයි ප්‍රබල කණ්ඩායම විදිහට මම දකින්නේ. එංගලන්තය සත්කාරකත්වය දරන නිසා ඔවුන්ට ලොකු අවස්ථාවක් තියනවා.” 

“තරගාවලියේ අපි ලබාගන්න පන්නරය ගොඩක් වටිනවා. මම හිතනවා අපිට මීළඟ තරග දෙකත් ජයග්‍රහණය කරලා අවසන් පූර්ව වටයට හොඳ සූදානමකින් යන්න පුළුවන් කියලා.” 

බාබර් අසාම් කිවියන්ගේ අපරාජිත බව විනාශ කර දමයි

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය අද (26) බර්මින්හැම් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ නවසීලන්තයට….

වත්මන් ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියාවට අනුශූරයන් වන නවසීලන්තය එළඹෙන 29 වැනිදා හමුවීමට නියමිතයි. කාණ්ඩ වටයේ ඕස්ට්‍රේලියා කණ්ඩායම මුහුණ දෙන අවසන් තරගය දකුණු අප්‍රිකාව සමඟින් ජූලි මස 6 වන දින පැවැත්වෙනු ඇත. එම තරගයෙන් අනතුරුව අවසන් පූර්ව වටය ආරම්භ වීමට නියමිතය. 

2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<