ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු IPL වලට

3510

2019 ලෝක කුසලානයේ උණුසුම තවමත් මැකී ගොස් නැත. ලෝක කුසලානය තවමත් පුවත් මවමින් සිටින අතර Sunrises Hyderabad කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ට්‍රෙවර් බේලිස් මීළඟ වසරේ තම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බවයි. 

ඉන්දියාවේ මීළඟ පුහුණුකරු මහේල?

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී නවසීලන්තය හමුවේ පරාජය වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමට තරගාවලියෙන්….

ඕස්ට්‍රේලියානු ජාතික ට්‍රෙවර් බේලිස් 56 හැවිරිදි වන අතර ඔහු එළඹෙන වසරේ දී කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් Sunrises Hyderabad කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්ව ඇත්තේ වර්තමාන පුහුණුකරු වන ටොම් මූඩි වෙනුවටයි. බේලිස් එළඹෙන අළුබඳුන තරගාවලියෙන් පසුව එංගලන්තයට සමුදීමට නියමිතය. එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන තරගාවලිය අගෝස්තු මාසයේ දී පැවැත්වෙනු ඇත. 

“දීර්ඝ සලකා බැලීමකින් පසුව Sunrises Hyderabad කණ්ඩායමේ හිමිකරුවන් තීරණය කළා නව පුහුණුකරුවෙක් සමඟින් නව ගමනක් ආරම්භ කරන්න. ඒ නිසා අපිට වර්තමාන පුහුණුකරු වන ටොම් මූඩිට සමුදෙන්න සිදු වෙනවා.” Sunrises Hyderabad කණ්ඩායම නිවේදනය කර තිබේ. 

බේලිස් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ මීට පෙර කටයුතු කළ අතර එම කාලයේ දී නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවය දෙවතාවක් ජයග්‍රහණය කළේය. 2010-11 බිග් බෑශ් හා ශූරයින්ගේ ලීග් තරගාවලි දෙකේ දී සිඩ්නි සික්සර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට ද බේලිස් සමත් විය. 

“ඔහුගේ විශිෂ්ටත්වය ඔහු ඔප්පු කරලා තියනවා. අපි හිතනවා ඔහුගේ මඟපෙන්වීම Sunrises Hyderabad කණ්ඩායම ඉදිරියට රැගෙන යාවි කියලා.” 

බේලිස් හට කොල්කටා කණ්ඩායමෙන් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ද පුහුණුකරු තනතුර සඳහා ආරාධනා ලැබී තිබුණි. බේලිස් එංගලන්තයේ පුහුණුකරු ලෙස 2015 සිට කටයුතු කල අතර එම වසරේ අළුබඳුන තරගාවලිය තරග 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් විය. පසුව 2016 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් තරඟය දක්වා පැමිණීමට ද එංගලන්තයට හැකි විය. පසුව එංගලන්තය ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ කණ්ඩායම ලෙස රැඳී සිටී. 

එංගලන්තයට යාමට පෙර 2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය තෙක් පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද බේලිස් කටයුතු කළේය. කෙසේ වෙතත් ටොම් මූඩිගේ පුහුණුකාරීත්වය යටතේ 2016 වසරේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් කුසලානය ජයග්‍රහණය කිරීමට Sunrises Hyderabad කණ්ඩායම සමත් විය. 

Sunrises Hyderabad කණ්ඩායමට නවසීලන්ත නායක කේන් විලියම්සන්ට අමතරව මාටින් ගප්ටිල්, ඩේවිඩ් වෝනර්, ශකීබ් අල් හසන් මෙන්ම එංගලන්ත ලෝක කුසලාන තරුවක් වන ජොනී බෙයාස්ටෝව් ද ඇතුළත්ව සිටී. 

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<