ශූරතාවය සාර්ථකව රැකගන්නට ප්‍රබල ජර්මනියට හැකි වෙයි ද?

1228

පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ කණ්ඩායමක් නැවතත් ඊළඟ තරගාවලියේ දී ද එහි ශූරතාවය දිනා ගන්නට අවසන් වරට සමත්ව ඇත්තේ 1962 වසරේ දී ය. ඒ බ්‍රසීල කණ්ඩායමයි.

කෙසේ නමුත් මෙවර රුසියාවේ දී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන ජර්මානු කණ්ඩායම ඉතා ප්‍රබල, සමබර කණ්ඩායමක් වන අතර ඒ අනුව ඔවුන් මෙවර තරගාවලියට පිවිසෙන්නේ නැවතත් තරගාවලියේ ශූරතාවය තමන් සතු කර ගැනීමේ අරමුණ සහිතවයි.

ග්‍රීස්මාන් සමඟින් රුසියාවට යන පෙරළිකාර ප්‍රංශය

2016 යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රහණය නූලෙන් ගිලිහුනත් ප්‍රබල ප්‍රංශ …

ලෝක කුසලාන අතීතය

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ දේශපාලනික හේතූන් මත එකළ ජර්මානු පාපන්දු කණ්ඩායම 1950 වසරේ දී බටහිර ජර්මනිය, නැගෙනහිර ජර්මනිය සහ සාර්ලන්තය වශයෙන් කොටස් 3කට වෙන්කරන ලදි.

කෙසේ නමුත් මේ ආකාරයට වෙන්කිරීමක් සිදු වන්නට පෙර ජර්මානු කණ්ඩායම 1934 වසරේ දී පැවති අභිනව පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වෙමින් එහි තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. අනතුරුව සිදු වූ වෙන්කිරීමත් සමඟ ඔවුන් බෙදා වෙන්වූ රාජ්‍යයක් බවට පත්වූ නිසා සහ රට තුළ තවදුරටත් මිත්‍ර හමුදාවන් රැඳී සිටීම හේතුවෙන් එම කණ්ඩායම් 3ම 1950 වසරේ දී බ්‍රසීලයේ දී පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් තහනම් කෙරිණ.  

Germany celebrates winning the 2014 World Cup

අනතුරුව එම කණ්ඩායම් තුනම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පිළිගනු ලැබූ අතර ඒ අනුව ඔවුන්ට 1954 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට ද වරම් හිමි විය. එහි දී අවසන් මහා තරගයේ දී හංගේරියානු කණ්ඩායම ගෝල 2-3ක් වශයෙන් පරාජයට පත්කළ බටහිර ජර්මානු කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තවදුරටත් බටහිර ජර්මනිය 1974 සහ 1990 වසරවල දී තරගාවලියේ ශූරයින් බවට පත්වන්නට සමත් වූ අතර 1966, 1982 සහ 1986 වසරවල දී ඔවුන් තරගාවලියේ අනුශූරතාවය දිනා ගන්නා ලදි. කෙසේ නමුත් අනෙක් ජර්මානු කණ්ඩායම් දෙක ඔවුන් සහභාගී වූ තරගාවලිවල දී එතරම් ඉහළ දස්කම් දක්වන්නට සමත් වූයේ නැත.

හැරී කේන් සමඟින් දශක පහක ශාපයට අභියෝග කරන එංගලන්තය

1966 දී ලෝක ශූරයින් වූ, 1990 දී ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට පිවිසුණු..

අනතුරුව 1994 ලෝක කුසලාන තරගාවලිය වන විට ඔවුන්ගේ එම වෙන්කිරීම අවසන්ව තිබූ අතර ඒ අනුව ඔවුන්ට නැවතත් එක් කණ්ඩායමක් ලෙස තරගාවලියට සහභාගී වීමට අවස්ථාව හිමි විය. පසුව 2002 වසරේ තරගාවලියේ  අවසන් මහා තරගයේ දී බ්‍රසීලය හමුවේ ගෝල 2-0ක පරාජයක් ලැබීමත් සමඟ එහි අනුශූරතාවය දිනා ගන්නට සමත් වූ ඔවුන් නැවතත් පසුගිය 2014 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබ එහි දී මරියෝ ගොඑට්සේ තරගයේ 113 වන මිනිත්තුවේ දී වාර්තා කර ගත් ගෝලයත් සමඟින්, ආර්ජෙන්ටිනා කණ්ඩායම ගෝල 1-0ක් වශයෙන් පරාජයට පත්කරමින් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් විය.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම   

2014 වසරේ ලෝක ශූරයින් ලෙස කිරුළු පැළඳීමෙන් අනතුරුව ද ජර්මනිය ඔවුන් සහභාගී වූ තරගවල දී ඉතා ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරන්නට සමත් විය. 2016 වසරේ දී ‘UEFA’ යුරෝපා කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත් ඔවුන් තරගාවලියේ පළමු වටයේ දී අපරාජිතව රැඳෙන්නට සමත් වූ අතර අනතුරුව එහි අර්ධ අවසන් පූර්ව තරගය දඬුවම් පහර වටයේ දී ජයග්‍රහණය කරමින් (6-5) තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා ද සුදුසුකම් ලබා ගන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී ඔවුන් සත්කාරක ප්‍රංශ කණ්ඩායම හමුවේ ගෝල 0-2ක් ලෙස පරාජයට පත්වීමත් සමඟ ඔවුන්ට තරගාවලියෙන් ඉවත්ව යාමට සිදු විය.

2017 ‘කන්ෆෙඩරේෂන්ස් කුසලාන (FIFA Confederations Cup)’ තරගාවලිය සඳහා තරමක් තරුණ, අත්දැකීම් අඩු කණ්ඩායමක් සහභාගී කරවූ ඔවුන් එහි අවසන් මහා තරගයේ දී චිලී කණ්ඩායම ගෝල 1-0ක් වශයෙන් පරාජයට පත්කරමින් එහි ශූරතාවය ද දිනා ගන්නට සමත් විය.

පසුව ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ දී ඔවුන් චෙක් ජනරජය ගෝල 2-1ක්, නෝර්වේ ගෝල 6-0ක්, අසර්බයිජාන් ගෝල 5-1ක් සහ උතුරු අයර්ලන්තය ගෝල 3-1ක් ලෙස පරාජයට පත්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය. එමෙන්ම ඔවුන් එහි දී සැන් මැරීනෝ කණ්ඩායම සමඟ පැවති තරග දෙක ගෝල 7-0ක් සහ 8-0ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වීම කැපී පෙනෙන්නට විය.

අනතුරුව පැවති සුහද තරගවල දී ස්පාඤ්ඤ කණ්ඩායම සමඟ පැවති තරගය ගෝල 1-1ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර බ්‍රසීල කණ්ඩායම සමඟ පැවති තරගය ගෝල 0-1ක් ලෙස ඔවුන් පරාජයට පත්විය.   

කළමනාකරු සහ ක්‍රීඩා රටාව

Joachim Low

ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙවර ද සහභාගී වන ජර්මානු කණ්ඩායමේ පුහුණුකාරිත්වය දරන්නේ ජෝචිම් ලෝ ය. ජර්මානු කණ්ඩායම නියෝජනය කරනු ලැබූ හිටපු ක්‍රීඩකයෙක් වන ඔහු ප්‍රධාන පුහුණුකාර ධූරයට පත්වීමට පෙර වෙනත් කණ්ඩායම් කිහිපයකම කළමනාකාරිත්වය දරා ඇත.

ඒ අනුව 1994 වසරේ දී පුහුණුකාරිත්වය සඳහා පිවිසෙන ඔහු ක්‍රීඩා සමාජ තලයේ දී ‘FC Winterthur’ සහ ‘VFB Stuggart’ වැනි කණ්ඩායම්වල පුහුණුකාරිත්වය දරා ඇත.

පසුව 2004 වසරේ දී ඔහුව ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායමේ සහකාර පුහුණුකාර ධූරයට පත්කෙරෙන අතර එහි දී ඔහු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජර්ගන් ක්ලින්ස්මන් යටතේ කටයුතු කරනු ලැබීය. අනතුරුව ක්ලින්ස්මන් සිය කොන්ත්‍රාත්තුව නැවතත් අලුත් නොකිරීමත් සමඟ ලෝ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය සඳහා උසස් කෙරුණු අතර එතැන් පටන් ඉතිහාසගත ගමනක් ආරම්භ කරන්නට ඔහු සමත් විය.

ඉතිහාසයේ මතක; FIFA ලෝක කුසලානය (1950 – 1958)

දෙවෙනි ලෝක යුද්ධය හේතුවෙන් 1938 වසරේ ලෝක කුසලානයෙන් පසු නැවතත්..

ඒ අනුව ඔහු ජර්මානු කණ්ඩායම 2008 වසරේ යුරෝපා කුසලානයේ අනුශූරතාවය, 2014 වසරේ පාපන්දු ලෝක කුසලානයේ ශූරතාවය සහ 2017 වසරේ FIFA ‘කන්ෆෙඩරේෂන්ස් කුසලානයේ’ ශූරතාවය කරා රැගෙන යන්නට මේ දක්වා සමත්ව ඇත. තවදුරටත් ඔහු 2014 වසරේ දී FIFA වසරේ හොඳම ලෝක පුහුණුකරු ලෙසත්, වසරේ හොඳම ජර්මානු කළමනාකරු ලෙසත් සම්මානයෙන් පිදුම් ලබා ඇත.

මේ ආකාරයට ජර්මනිය සාර්ථකත්වය කරා රැගෙන යාමට ඔහු යොදා ගනු ලැබුවේ 4-2-3-1 පද්ධතියකි. එහි දී ගෝල රකින්නා ‘Sweeper keeper’ වරයෙකු ලෙස කටයුතු කරනු ලබන අතර ඒ හරහා ආරක්‍ෂක පෙළේ ක්‍රීඩකයින් හට ද අවදානමක් ගනිමින් ප්‍රහාරක ක්‍රීඩා විලාශයක් අනුගමනය කිරීමේ අවස්ථාව හිමි වේ. ඒ අනුව ඔහුගේ මෙම ප්‍රහාරක ක්‍රීඩා විලාශය මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ද ජර්මනියට අතිශය වැදගත් වනු ඇත.

ශක්තීන් සහ දුර්වලතා    

ලෝ, ජර්මානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දශකයකටත් අධික කාලයක සිට කටයුතු කරනු ලබන අතර ඒ හරහා ඔහුට මෙවර ලෝක කුසලානය සඳහා ඉතා ප්‍රබල කණ්ඩායමක් නිර්මාණය කරගැනීමට කාලය සහ අවස්ථාව හිමි විය. ඒ අනුව ඔවුන් පසුගිය තරගවල දී දැක්වූ දක්‍ෂතා අනුව පෙනී යන්නේ ඔවුන් මෙවර ද ඕනෑම ප්‍රබල කණ්ඩායමකට දැඩි අභියෝගයක් එල්ල කළ හැකි කණ්ඩායමක් බවයි.

කෙසේ නමුත් කණ්ඩායමේ සිටි අත්දැකීම් බහුලම ක්‍රීඩකයින් දෙපළක් වන නායක පිලිප් ලාම් සහ බැස්ටියන් ශ්වයින්ස්ටයිගර් සිය පාපන්දු දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ කණ්ඩායම තුළ ඇතිවූ හිඩැස ඔවුන්ට විශාල පාඩුවක් වනු ඇත. ඔවුන් දෙදෙනාම පසුගිය තරගාවලියේ දී ජර්මානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් වූ ක්‍රීඩකයින් දෙපළකි.

ඔවුන්ගේ ස්ථානවල මේ වන විට ක්‍රීඩා කරනු ලබන ජොෂුවා කිමිච් සහ ටෝනි කෲස් ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත්ව ඇති නමුත් ඔවුන් දෙදෙනාට ලාම් සහ ශ්වයින්ස්ටයිගර් ලබා දුන් ආකාරයේ දායකත්වයක් කණ්ඩායමට ලබා දීමට හැකි වෙයි ද යන්න ගැටලුවකි.

වැදගත් ක්‍රීඩකයින්     

Thomas Muller

සිය තෙවැනි ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන තෝමස් මුලර්ගේ දක්‍ෂතා කණ්ඩායමට අතිශය තීරණාත්මක වනු නොඅනුමානය. ඔහු පසුගිය තරගාවලියේ දී සිය කණ්ඩායම ශූරතාවය කරා රැගෙන යාමට විශාල දායකත්වයක් ලබා දුන් අතර තවදුරටත් ඔහු සිය ක්‍රීඩා සමාජය වන ‘Bayern Munich’ කණ්ඩායම වෙනුවෙන් ද ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත්ව ඇත.

ඔහු මැදපෙළ ක්‍රීඩා කරමින් සිය අණසක පතුරුවන ආකාරය මෙන්ම ඔහුගේ ගෝල ලබා ගැනීමේ හැකියාවත් මෙවර ද ශූරතාවය දිනා ගැනීමට නම් ජර්මානු කණ්ඩායමට අත්‍යාවශ්‍ය වනු ඇත.

තව දුරටත් 2014 වසරේ තරගාවලිය සඳහා සහභාගී වූ සංචිතයේ සිටි 25 හැවිරිදි ජූලියන් ද්‍රක්ස්ලර්ගේ දායකත්වය ද මෙවර ඔවුන්ට වැදගත් වනු ඇත. ඔහු මෑතක දී ‘Paris Saint-Germain’ ක්‍රීඩා සමාජය සමඟ එක්වූ අතර එතැන් සිට ඔහුගේ දක්‍ෂතා තවදුරටත් ඉහළ නංවා ගන්නට ඔහු සමත්ව ඇත. එමෙන්ම 2017 වසරේ FIFA ‘කන්ෆෙඩරේෂන්ස් කුසලාන’ තරගාවලියට සහභාගී වෙමින් එහි ශූරතාවය දිනා ගත් අත්දැකීම් අඩු ජර්මානු කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ ද ඔහුය.

අභියෝගාත්මක ක්‍රීඩකයා

Toni Kroos

ප්‍රබල ජර්මානු මැදපෙළ සිය අණසක පතුරුවාගෙන සිටින ක්‍රීඩකයා වන්නේ 28 හැවිරිදි ටෝනි කෲස් ය. ‘Bayern Munich’ ක්‍රීඩා සමාජයේ සිට ‘Real Madrid’ ක්‍රීඩා සමාජය වෙත යාමත් සමඟ ඔහු ඉතා විශිෂ්ට දස්කම් අතර පැමිණෙන්නට සමත්ව ඇත. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු සහභාගී වූ තරග 7 දී ගෝල දෙකකට සහ සහය දීම් 3කට හිමිකම් කියූ ඔහු අවසන් වූ පසුගිය තරග වාරයේ දී සිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල 5ක් සහ සහය දීම් 7ක් වාර්තා කරගන්නට සමත් විය.

ඒ අනුව මෙම ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රතිවාදීන්ට ඔහු විශාල අභියෝගයක් වනු නොඅනුමාන ය.   

අවසන් සංචිතය

  • Goalkeepers: Manuel Neuer, Marc-Andre ter Stegen, Kevin Trapp
  • Defenders: Jerome Boateng, Matthias Ginter, Jonas Hector, Mats Hummels, Joshua Kimmich, Marvin Plattenhardt, Antonio Rudiger, Niklas Sule
  • Midfielders: Julian Brandt, Julian Draxler, Leon Goretzka, Ilkay Gundogan, Sami Khedira, Toni Kroos, Thomas Mueller, Marco Reus, Sebastian Rudy, Mesut Ozil
  • Forwards: Mario Gomez, Timo Werner

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<