ක්ලෙමෙන්ට් ආරම්භ කළ බාබර් අළුත් කළ 99 අවාසනාවන්තයෝ

2154

ටෙස්ට් ක්‍රිකට් ලොව විවිධ වූ වාර්තාවලින් සමන්විත ය. එහි දී වාසනාවන්ත වාර්තා සේ ම කිසිවෙකුත් අපේක්ෂා නොකරන අවාසනාවන්ත වාර්තා ද ඇත. පසුගිය 19 වැනිදා අබුඩාබි ෂෙයික් ෂායිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පාකිස්තානයේ බාබර් අසාම් ටෙස්ට් වාර්තා පොත නැවත පෙරළීමට අවස්ථාව උදා කළේය. ඒ ලකුණු 99කට දැවී ගිය අවාසනාවන්ත පිතිකරුවන්ගේ ලැයිස්තුවට එක් වූ ලොව 86 වැන්නා වෙමිනි.

මේ ThePapare.com ඒ අවාසනාවන්තයන් ගැන තබන සටහනකි.

ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ දීවත් වෙනසක් කරයි ද?

තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයගන්නට …

අවාසනාවන්ත පළමුවැනියා, ක්ලෙමෙන්ට් හිල්

1902 ජනවාරි මස 01 වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ ලෝකයේ 66 වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී ඕස්ට්‍රේලියා මැදපෙළ ශක්තිමත් කරන වමත් පිතිකරුවෙක් ලෙසින් කණ්ඩායම නියෝජනය කළ ක්ලෙමෙන්ට් හිල් තම අවාසනාවන්ත ඉනිම ක්‍රීඩා කරන්නේ ය.

ක්ලෙමෙන්ට් හිල්

තරගයේ පළමු දිනයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියානුවෝ සියලුම දෙනා දැවී ලකුණු 112ක් ලබා ගන්නා අතර පිළිතුරු ලෙසින් සංචාරක එංගලන්ත ක්‍රීඩකයෝ රැස් කරන්නේ ලකුණු 61ක් පමණි. ඒ හේතුවෙන්ම පළමු දිනයේ දී ම ඕස්ට්‍රේලියානුවන්ට දෙවැනි ඉනිමට ක්‍රීඩා කිරීමට ද පිටියට පිවිසීමට සිදු වෙති. තරගයේ පළමු දිනය නිමා වෙන්නේ ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 48ක් ලෙසිනි. දිනයේ දැවී ගිය කඩුලු ප්‍රමාණය 25කි.

පළමු දිනය නිමා වෙද්දී ක්ලෙමෙන්ට් හිල් පා ආවරණ පැලඳ පන්දුවට පහර දීමට සූදානම්ව සිටියේ ය. ඒ පස්වැනි කඩුල්ල දැවී ගිය පසු පිටියට එක්වන ක්‍රීඩකයා ලෙසිනි. නමුත් පළමු දිනය එම කඩුල්ල දැවී ගිය පසු නතර කිරීම හේතුවෙන් හිල්ගේ පා ආවරණවලට එදිනට විවේකයක් ලැබුණි.

දෙවැනි දිනයේ දී සිඩ්නි ග්‍රෙගරි සමඟ පිටියට පිවිසි හිල් අවාසනාවන්තයන්ගේ ලැයිස්තුව නිර්මාණය කරමින් දැවී යන්නේ 9 වැනි කඩුල්ල ලෙසිනි. ඒ වෙද්දී ඕස්ට්‍රේලියා ලකුණු  පුවරුව 233ක් විය. දකුණතින් වේගපන්දු යැවූ සිඩ්නි බාර්නස්ගේ පන්දුවකට ආතර් ජෝන්ස් වෙත උඩ පන්දුවක් දී හිල් දැවී යන විට මිනිත්තු 197ක් පුරා පිටියේ රැඳී සිටිමින් හතරේ පහර 7ක් තම ඉනිමට ඇතුලත් කරගෙන සිටියේ ය.

එය ඔහුගේ 13 වැනි ටෙස්ට් තරගය වූ අතර 24 වැනි ඉනිම විය.

25 වැනි අවාසනාවන්තයා, අජිට් වඩේකාර්

ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ වමත් පිතිකරු අජිට් වඩේකාර් තමන්ගේ 7 වැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී අවාසනාවන්තයන්ගේ ලැයිස්තුවට එක් වූයේ එම ලැයිස්තුවේ 25 වැනියා වෙමිනි. ලොව 625 වැනි ටෙස්ට් තරගය ලෙසින් 1967 දෙසැම්බර් මස 30 වැනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ ඉන්දීය – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ දී ඔහුගේ මේ අවාසනාවන්ත ඉනිම වාර්තා විය.

අජිට් වඩේකාර්

මිනිත්තු 169ක් පුරා පිටියේ රැඳී සිටිමින් පන්දු 146කට මුහුණ දී හතරේ පහර 12ක් සමඟින් තම ඉනිම ගොඩ නගමින් සිටිය දී දඟපන්දු යවන බොබ් සිම්ප්සන්ගේ පන්දුවකට පෝල් ශීහාන් වෙතට උඩ පන්දුවක් දී ඔහු තම ඉනිම නිමා කර ගත්තේ ය.

මේ අවාසනාවන්තයන්ගේ ලැයිස්තුව මෙල්බර් ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන්ම ආරම්භ වී අවුරුදු 65කට පසුව එහි 25 වැනියා ද එම ක්‍රීඩාංගණයෙන්ම වාර්තා වීම දෛවෝපගත ය.

50 වැනි අවාසනාවන්තයා, මයිකල් ඇතර්ටන්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දකුණත් පිතිකරු මයිකල් ඇතර්ටන් මෙම ලැයිස්තුවට එක් වෙන දෙවැනි අවස්ථාව මෙයයි.

ලොව 1264 වැනි ටෙස්ට් තරගයේ එංගලන්ත නායකයා ලෙසින් පිටියට පිවිසි මයිකල් ඇතර්ටන් මේ ලැයිස්තුවේ 50 වැනි අවාසනාවන්ත ඉනිමට ක්‍රීඩා කරන්නේ 1994 අගෝස්තු මස 4 වැනි දා ය. ලීඩ්ස් හි හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ගොඩ නැගෙන මෙම ඉනිම දකුණතින් වේගපන්දු යැවු බ්‍රයන් මැක්මිලන් විසින් අවසන් කළේ තමන් විසින් යැවුණ පන්දුවට පෙරළා උඩ පන්දුවක් ලෙසින් තමන් වෙත එද්දී රැක ගනිමිනි.

මයිකල් ඇතර්ටන්

ඒ වෙද්දී ඇතර්ටන් මිනිත්තු 360ක් පුරා පිටියේ රැඳී සිටිමින් පන්දු 224කට මුහුණ දී සිටියේ ය. ඔහුගේ ඉනිමේ හතරේ පහර 9ක් සහ හයේ පහරක් ද රැඳී තිබුණි.

ඇතර්ටන් ඊට පෙර 1993 වසරේ දී එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ කරන ලද එංගලන්ත ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ දී දුවද්දී දැවී යෑමට ගොදුරු වෙමින් මෙම ලැයිස්තුවට එකතු වී සිටියේ ය.

75 වැනි අවාසනාවන්තයා, සයිමන් කැටිච්

ලොව 1941 වැනි ටෙස්ට් තරගය ලෙසින් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී 2009 දෙසැම්බර් මස 16 වැනි දින ආරම්භ වූ ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගයේ දී සයිමන් කැටිච් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ ය.  

සයිමන් කැටිච්

ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි කැටිච් මිනිත්තු 272ක් පිටියේ රැඳී සිටිමින් පන්දු 177කට මුහුණ දී සිටිය දී වමත් දඟපන්දු යවන සුලෙයිමාන් බෙන්ගේ පන්දුවකට කෙමර් රොච් අතට උඩ පන්දුවක් දී තම ඉනිම නිමා කර ගත්තේ ය. ඒ වෙද්දී ඔහු තම ඉනිමට හතරේ පහර 10ක් ඇතුලත් කරගෙන සිටියේ ය.

කැටිච් ඊට පෙර 2004 වසරේ ඔක්තෝබර් 26 වැනිදා ඉන්දියාවේ නාග්පූර් හි දී ආරම්භ වූ තරගයේ දී ද ලකුණු 99ට දැවී ගියේය. මුරලි කාර්තික්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ කැටිච් මෙම අවාසනාවට ගොදුරු වෙද්දී මිනිත්තු 215ක් පිටියේ රැඳී සිටිමින් පන්දු 157කට මුහුණ දී හතරේ පහර 14ක් තම ඉනිමට ඇතුලත් කරගෙන සිටියේ ය.  

99 අවාසනාවන්ත ත්‍රිත්වය

පාකිස්තානයේ කරච්චි නුවර ජාතික ක්‍රිකට් පිටියේ දී 1973 මාර්තු මස 29 වැනිදා නිමා වූ පාකිස්තානය සහ එංගලන්තය අතර පැවති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අවාසනාවන්තයන්ගේ ලැයිස්තුවට පිතිකරුවෝ තිදෙනෙක් එක් කරති. එය එතෙක් මෙතෙක් තරග ඉතිහාසයේ එවැන්නක් වාර්තා වූ එකම තරගය වන්නේ ය.

මෙම තරගයේ පළමු අවාසනාවන්තයා වන්නේ පාකිස්තානයේ දකුණත් පිතිකරු මජීඩ් ඛාන් ය. එය ඔහුගේ 21 වැනි ටෙස්ට් තරගයයි. තමන්ගේ නායකත්වයෙන් යුතුව අංක 1 පිතිකරු ලෙසින් පිටියට පිවිසි මජීඩ් ඛාන් මිනිත්තු 335ක් පුරා පිටියේ රැඳී සිටිමින් හතරේ පහර 8ක් ද සමඟින් තම ඉනිම ගොඩ නගාගෙන සිටියේ ය.

පැට්‍රික් පොකෝක්ගේ පන්දුවකට ඩෙනිස් අමීස් අතට උඩ පන්දුවක් දී මජීඩ් ඛාන් දැවී යන්නේ පාකිස්තාන නියෝජනය කළ දෙවැනි අවාසනාවන්තයා වෙමිනි. පාකිස්තානයෙන් මෙම ලැයිස්තුව නියෝජනය කළ පළමුවැන්නා වන්නේ මෂූඩ් අහමඩ් ය. 1955 ජනවාරියේ ලාහෝර් නුවර දී ඉන්දීය කණ්ඩායම හමුවේ වාර්තා වූ මෙම ඉනිම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ද වන්නේ ය.

මජීඩ් ඛාන් සමඟ ඉනිම ගොඩනගමින් සිටි දකුණත් පිතිකරු මුශ්ටාක් මොහොමඩ් ද මෙම ලැයිස්තුවේ තමන්ට ද ස්ථානයක් වෙන් කර ගන්නේ දුවද්දී දැවී යෑමට ගොදුරු වෙමිනි. 33 වැනි ටෙස්ට් තරගයට මුහුණ දුන් මුශ්ටාක් එම තරගයේ දී මිනිත්තු 301ක් පිටියේ රැඳී සිටිමින් හතරේ පහර 10ක් ද තම ඉනිමට ඇතුලත් කරගෙන සිටියේ ය.

ප්‍රතිවාදී ඉනිමේ ආරම්භක පිතිකරු ඩෙනිස් අමීස් මෙම ලැයිස්තුවට එකතු වෙන්නේ මිනිත්තු 304ක් පුරා පිටියේ රැඳී සිටිමින් හතරේ පහර 14ක් තම ඉනිමට ඇතුලත් කරගෙන සිටිය දී ය. ඉන්තිකාබ් අලාම්ගේ පන්දුවකට සෆ්රාස් නවාස් වෙතට උඩ පන්දුවක් දී දැවී ගියේ අවාසනාවන්තයන්ගේ ලැයිස්තුවේ එංගලන්ත ක්‍රීඩකයන්ගේ 7 වැනියා වෙමිනි.

99 අවාසනාවන්ත ද්විත්වය

1992 ජනවාරි මස ජනවාරි 18දා ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ කරන ලද නවසීලන්තය සහ එංගලන්තය අතර ටෙස්ට් තරගයේ දී මෙම ලැයිස්තුවට එක තරගයක දී පිතිකරුවන් දෙදෙනෙක් පළමු වරට එක් විය. ඒ නවසීලන්ත කණ්ඩායම නියෝජනය කළ දීපක් පටෙල් සහ එම කණ්ඩායමේ ම ජෝන් රයිට් ය.

දකුණත් පිතිකරු දීපාක් පටෙල් දුවද්දී දැවී යමින් තම ඉනිම අවසන් කර ගන්නා විට ඔහු මිනිත්තු 189ක් පිටියේ රැඳී සිටිමින් පන්දු 134කට මුහුණ දී සිටියේ ය. හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් එම ඉනිමට ඇතුලත්ව තිබුණි. පටෙල්ගේ එම ඉනිම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ද වෙන්නේ ය.

වමත් පිතිකරු ජෝන් රයිට් නවසීලන්ත දෙවැනි ඉනිමේ දී මිනිත්තු 400ක් පිටියේ රැඳී සිටිමින් පන්දු 323කට මුහුණ දී සිටිය දී මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දුන් අතර ඒ වෙද්දී ඔහුගේ ඉනිමට හතරේ පහර 14ක් ඇතුලත්ව තිබුණි.

ජෝන් රයිට් ඊට පෙර ඕස්ට්‍රේලියාව ඉදිරියේ ද ලකුණු 99කට දැවී ගොස් තිබුණි. ඒ 1987 දෙසැම්බරයේ මෙල්බර්න් නුවර දී ය.

ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කළ මාර්ක් වෝ සහ එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ මයිකල් ඇතර්ටන් එකම තරගයක දී අවාසනාවන්ත ලැයිස්තුව නියෝජනය කළ අනෙක් පිතිකරුවෝ වූහ.

1993 වසරේ ජනවාරි මස 17 වැනි දින එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ කරන ලද එංගලන්ත ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ දී ඔවුන් මෙම අවාසනාවන්ත අවස්ථාවට මුහුණ දුන්හ.

ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ දී මාර්ක් වෝ අංක 2 පිතිකරු ලෙසින් පිටියට පිවිස පිල් ටෆ්නල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වද්දා ගැනීමින් ලකුණු 99කට දැවී යන්නේ මාර්ක් ටේලර් (111), මයිකල් ස්ලෙටර් (152)  සහ ඩේවිඩ් බූන් (164*) ශතක රැස් කරගෙන සිටිය දී ය. වෝගේ එම ඉනිම වෙනුවෙන් මිනිත්තු 224ක් වැයව තිබූ අතර පන්දු 162කට මුහුණ දී සිටියේ ය. තම ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහරක් එක්කරගෙන සිටියේ ය.

එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිමේ දී මයිකල් ඇතර්ටන් දුවද්දී දැවී යමින් මෙම ලැයිස්තුවට එක් විය. ඔහුගේ එම ඉනිමට මිනිත්තු 240ක් වැයව තිබූ අතර පන්දු 215කට මුහුණ දී තිබුණි. ලබා සිටි හතරේ පහර සංඛ්‍යාව 13කි.

ශ්‍රී ලංකාවේ අවාසනාවන්තයෝ

මහේල ජයවර්ධන

ශ්‍රී  ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් ලකුණු 99කට දැවී ගිය පළමු පිතිකරුවා ලෙසින් වාර්තා පොතට ඇතුලත් වන්නේ මහේල ජයවර්ධන ය. ඔහු 2001 වසරේ නොවැම්බරයේ බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරියේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම ලැයිස්තුව හා එක් විය. ඔහුගේ එම ඉනිමට පන්දු 133ක් වැයව තිබූ අතර හතරේ පහර 13ක් ඇතුලත්ව තිබුණි.

ඇන්ජලෝ මැතිව්ස්

මේ ලැයිස්තුවට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැන්නා වන්නේ ඇන්ජලෝ මැතිව්ස් ය. ඔහු 2009 වසරේ දෙසැම්බරයේ මුම්බායි හිදි ඉන්දිය කණ්ඩායම ඉදිරියේ මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දුන්නේ ය. ඒ වෙද්දී ඔහු පන්දු 131කට මුහුණ දී හතරේ පහර 15ක් තම ඉනිමට ඇතුලත් කරගෙන සිටියේ ය.

සනත් ජයසූරිය

මේ දෙදෙනාටම පෙර සනත් ජයසූරිය මේ වාර්තා පොතේ ම ස්ථානයක් හිමි කර ගෙන සිටින්නේ ලකුණු 199කට දැවී ගිය පිතිකරුවන්ගේ ගොන්නේ ය. ඉන්දියාවට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේ දී 1997 අගෝස්තුවේ දී ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ ය. ඒ වෙද්දී ඔහු පන්දු 226කට මුහුණ දී හතරේ පහර 21ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කරගෙන සිටියේ ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<