ගාල්ලෙන් ඇරඹී ගාල්ලෙන්ම නිමා වූ විශිෂ්ටයාගේ සුවිශිෂ්ට මෙහෙවර

720

2010 වසරේ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් නික්ම යාමෙන් පසු ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තරග ජයග්‍රහණය කිරීමට තරමක් අපහසු වනු ඇති බවට එම අවදියේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ යම් සැකයක් ඇති විය.

නමුත් එදා ප්‍රේක්ෂකයන් තුළ ඇතිවූ එම සැකය දුරු කළ වමත් දඟපන්දු යවන්නෙකු මුරලිගෙන් හිස්වූ ශ්‍රී ලංකා දඟපන්දු බලඇණියේ ඔටුන්න ඔහු හිස පලදා ගත්තේය. එදා එලෙස ශ්‍රී ලංකා දඟපන්දු බලඇණියේ කිරුළ පැළඳූ රජු අන්කවරෙකුත් නොව පසුගිය දා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්, ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ සාර්ථකම වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත්ය.

ශ්‍රී ලංකා පිතිකරුවන් නිසාවෙන් හේරත්ට අමිහිරි සමුගැනීමක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දිනයක් ඉතිරිව නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ලකුණු 211ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.

එමනිසාම පසුගිය කාල සමයේ ශ්‍රී ලංකාව ලබාගත් බොහෝ ටෙස්ට් ජයග්‍රහණවල නියමුවා වූ රංගන හේරත් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් මෙලෙස නික්ම යන විට ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය දෙස ආපසු හැරී බැලීමක් කළ යුතුමය.

කැන්ගරුවන්ට එරෙහිව මංගල ටෙස්ට් වරම් ලැබූ රංගන

1999 වසරේ ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.

මෙම ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ 78 වැනි ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසගත වීමට රංගන හේරත් නම් තරුණ දඟපන්දු යවන්නාට හැකි විය. වර්ෂාවෙන් තරමක් බාධා එල්ල වූ මෙම තරගයේ දී ඕස්ට්‍රේලියානු මුල් ඉනිමේ දී පමණක් පන්දු යැවූ රංගන එහි දී ලකුණු 97කට ඕස්ට්‍රේලියානු කඩුලු 4ක් බිඳ දැමීය.

රංගනගේ මංගල ටෙස්ට් කඩුල්ල ලෙස එදා ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු වූ රිකී පොන්ටිං දැවී ගිය අතර අනතුරුව ශේන් වෝන්, ඩේමියන් ෆ්ලෙමිං හා ස්ටීව් වෝ යන පිතිකරුවන් දවා ගැනීමට රංගන සමත් විය. මංගල ටෙස්ට් තරගයේ දී එලෙස දස්කම් දැක්වුවද එම අවදියේ මුත්තයියා මුරලිදරන් වැනි සුපිරි දඟපන්දු යවන්නෙකු ශ්‍රී ලංකා කණ්ඩායම තුළ රැඳී සිටීම නිසා ඔහුගේ සහයක දඟපන්දු යවන්නා වීමට සෙසු දඟපන්දු යවන්නන් අතර විශාල තරගයක් පැවතුණි. එමනිසා එම අවදියේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම තුල රැඳී සිටීම රංගන වැනි තරුණ පන්දු යවන්නෙකුට විශාල අභියෝගයක් විය.

රංගනගේ මංගල ටෙස්ට් තරගයේ අවස්ථාවක් (gettyimages)

රංගනගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ දුෂ්කරම කාලසීමාව

2000 වසරේ පකිස්තානය සමඟ ගාලු පිටියේ දී පැවති ටෙස්ට් තරගය රංගනගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අමිහිරි තරගයක් වූ අතර එම තරගයේ ඉනිම් දෙකේ දී ම ලකුණු නොලබා දැවී ගිය රංගන පන්දු යවීමෙන් ද ලකුණු 115ක් පකිස්තානු කණ්ඩායමට ලබා දුන්නේ කිසිදු කඩුල්ලක් දවා නොගමිනි.

මෙම අසාර්ථක ටෙස්ට් තරගය වසර 4කට ආසන්න කාලයක් රංගන හේරත් නම් තරුණ දඟපන්දු යවන්නාව ටෙස්ට් පිටියෙන් ඈත්කර තැබූ අතර නැවතත් රංගන ටෙස්ට් පිටියට අවතීර්ණ වූයේ 2004 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ගාලු ටෙස්ට් තරගයේ දී ය.

ඉන් අනතුරුව වසර 4ක් ඇතුලත ටෙස්ට් තරග 11ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකරගත් රංගන 2004 වසරේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් පිටියේ දී පකිස්තානයට එරෙහිව ලැබූ ටෙස්ට් ජයග්‍රහණයේ දී කඩුලු 7ක් දවා ගත් අතර එම තරගයට මුරලිදරන් සහභාගි නොවීම ද මෙහි දී සිහිපත් කර යුතුය.

එම  කාල සීමාව තුල ෆයිසලාබාද් ටෙස්ට් තරගය හැරුණු විට සෙසු ටෙස්ට් තරගවල කැපී පෙනෙන දස්කම් නොපෙන්වූ රංගන සිය ටෙස්ට්  ක්‍රිකට් දිවියේ වටිනාම වසර 8ක් නිකරුණේ නාස්ති කරගත්තේය.

2004 ෆයිසලාබාද් ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී ලකුණු 59ක් ලබාසිටි ෂොයිබ් මලික් දවාගැනීමට රංගන රැකගත් විශිෂ්ඨ උඩපන්දුව (gettyimages)

ගාලු පිටියේ දී යලි උපන් රංගන

2009 වසරේ ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ගාලු පිටියේ දී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරූ මුල්ම ටෙස්ට් තරගය වූ අතර මෙම තරගය සඳහා මුත්තයියා මුරලිදරන් සහභාගි නොවීම ශ්‍රීලංකා පිලට බලවත් පාඩුවක් විය.

මුලසිටම මෙම තරගයේ පාලනය ඔවුන් අතට ගෙන සිටි පකිස්තානුවන්ට තෙවන දිනයේ සවස් භාගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 168ක ඉලක්කයක් ශ්‍රී ලංකා පිලෙන් ලැබුණු අතර දිනය නිමා වන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 71ක් ලබා සිටියේ ජයග්‍රහණයට ආසන්න වෙමිනි.

නමුත් සිව්වැනි දිනයේ උදෑසනම ජයග්‍රාහී ලීලාවෙන් පිටියට පිවිසි පකිස්තානු පිතිකරුවන් යුගලය වූ සල්මන් බාට් හා මොහොමඩ් යූසුෆ්ට වැඩි වෙලා පිටියේ රැඳී සිටීමට රංගනගෙන් අවසර නොලැබුණු අතර ඔවුන් දෙදෙනාගේ නික්ම යාමෙන් පසු අසරණ වූ පකිස්තානු පිතිකරුවන්ට රංගන දෙවන ඉනිමේ 15/4ක් ලෙස පන්දුවෙන් දැක්වූ දස්කම් නිසා ලබා ගැනීමට හැකි වූයේ සියලු දෙනාම දැවී ලකුණු 117ක් පමණි.

එදා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 50ක ජයක් උරුම කර දුන් රංගන සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මුල්මවරට තරගයේ වීරයා සම්මානය හිමිකරගත් අතර ඉන් ලබාගත් පන්නරය රංගනගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය ආලෝකමත් වීමට හේතුවක් විය.

2009 ගාලු ටෙස්ට් තරගයේ දී රංගන දස්කම් දක්වමින් (gettyimages)

රංගන ටෙස්ට් ක්‍රිකට් පිටිය තුල ස්ථාවර වෙයි

2009 වසරේ පකිස්තානයට එරෙහිව අවස්ථා දෙකක දී ඉනිමක කඩුලු 5 බැගින් ලබාගත් රංගන අනතුරුව එම වසර තුලම නවසීලන්තය හා ඉන්දියාව හමුවේ ඉනිමක කඩුලු 5 බැගින් ලබා ගත්තේය. මේ කාලසමය වන විට ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු දඩයම අරඹමින් සිටි රංගන 2010 වසරේ මුරලිගේ නික්ම යාමත් සමඟම ශ්‍රී ලංකා දඟපන්දු ඇණියේ නියමුවා විය. 2011 වසරේ ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග දෙකක තුල කඩුලු 16ක් ලබා ගත් රංගන එහි දී සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ලබා ගත් 157/7 සුවිශේෂී පන්දු යැවීමක් වූයේ එහි දී රංගන සිය ටෙස්ට් දිවියේ 100 වැනි කඩුල්ල ලබා ගැනීම නිසාය.

රංගනගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ස්වර්ණමය යුගය ඇරඹෙයි

එංගලන්ත පිලට එරෙහිව 2012 ගාලු ටෙස්ට් තරගයේදී රංගන මුල්මවරට ටෙස්ට් තරගයක කඩුලු 10ක් දවාගත් අවස්ථාව(gettyimages)

2011 වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව බලා යන විට ශ්‍රී ලංකා පිල අප්‍රිකානු බිම තුල කිසිදු ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කර තිබුණේ නැත. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පැවති එම අඩුව පුරවාලමින් රංගන ඩර්බන් ටෙස්ට් තරගය තුල ලකුණු 128කට කඩුලු 9ක් දවා ගනිමින් එම විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණයේ නියමුවා විය.

එම තරගාවලියෙන් අනතුරුව 2012 වසරේ ගාලු පිටියේ දී එංගලන්ත පිල සමඟ පැවති ටෙස්ට් තරගයේ දී ලකුණු 171කට කඩුලු 12ක් ලබා ගත් රංගන මුල්මවරට ටෙස්ට් තරගයක කඩුලු 10ක් ලබා ගත් අවස්ථාව එය විය.

එම තරගාවලියේ තරග දෙක තුල කඩුලු 19ක් දවා ගත් රංගන එම වසරේම නවසීලන්තය සමඟ ශ්‍රී ලංකාවේ පැවති ටෙස්ට් තරගාවලියේ දී තරග දෙකක් තුල කඩුලු 20ක් දවා ගනිමින් මුල්මවරට ටෙස්ට් තරගාවලියේ වීරයා සම්මානයක් හිමිකර ගැනීමට සමත් විය. එලෙස ඇරඹි රංගනගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ස්වර්ණමය යුගය තවදුරටත් ඉදිරියට ගෙන යන රංගන 2014 වසරේ මැද භාගයේ සිට ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිටින භයානකම පන්දු යවන්නෙකු බවට පත්විය.

රංගන අප්‍රිකාවට එරෙහිව 2011 ඩර්බන් ටෙස්ට් තරගයේ දස්කම් දක්වමින් (gettyimages)

රංගන ටෙස්ට් ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම  පන්දු යවන්නෙකු බවට පත්වෙයි

දැඩි කැපවීමෙන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ දිගු ගමනක් පැමිණි රංගන 2014 වසරේ පකිස්තානය සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ තරග දෙකක් තුල කඩුලු 23ක් දවා ගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ උපරිම මට්ටමට කරා ගමන් කරමිනි.

එදා සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පකිස්තානු පළමු ඉනිමේ ලකුණු 127කට කඩුලු 9ක් දවා ගනිමින් එදා මෙදාතුර වමතින් පන්දු යවන පන්දු යවන්නෙකු ටෙස්ට් ඉනිමක වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ඉන් නොනැවතුණු රංගන දෙවන ඉනිමේ ද කඩුලු 5ක් දවා ගනිමින් සමස්ත තරගය තුල ලකුණු 184කට ලබා ගත්තේ සිය ටෙස්ට් දිවියේ තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කරමිනි. මෙම තරගාවලියෙන් අනතුරුව 2015 වසරේ ඉන්දීය පිලට එරෙහිව ගාලු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ 48/7ක් ලබාගත් රංගන එම ටෙස්ට් තරගය ජය ගැනීම සඳහා සිය උපරිම දායකත්වය ලබා දුන් අතර අනතුරුව එම වසරේ කොදෙව්වන්ට එරෙහිව ලබා ගත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයේ දී ද පන්දුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළේය.

රංගන ලකුණු 127කට කඩුලු 9ක් ලබා ගත් අවස්ථාවේ අසාද් ශෆීක්ගේ කඩුල්ල දවා ගත් අවස්ථාව (gettyimages)

විශිෂ්ටතම තරගාවලි ජයග්‍රහණයක  නියමුවා විය

2016 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාව වන විට ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියානු පිල හමුවේ ජයග්‍රහණය කර තිබුණේ එක් ටෙස්ට් තරගයක් පමණි. නමුත් එදා ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකා බිම තුල අන්ත අසරණ වෙමින් ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය විය. එහි දී තරගාවලිය පුරා විශිෂ්ට දස්කම් දැක්වූ රංගන හේරත් තරගාවලිය තුල කඩුලු 28ක් දවා ගනිමින් තරගාවලියේ  වීරයා විය.

මෙම තරගාවලිය තුල ලබාගත් කඩුලු 28ත් සමඟ සමස්ත ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව කඩුලු 66ක් ලබාගෙන මුරලිදරන් ඕස්ට්‍රේලියාවට එරෙහිව  කඩුලු 59ක් ලබමින් ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගවල වාර්තා කළ ඉහළම කඩුලු ප්‍රමාණයේ වාර්තාව ඔහු සතුකර ගැනීමට රංගන සමත් විය.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව (gettyimages)

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවන කඩුලු ත්‍රිත්වය රංගනගෙන්

1999 වසරේ සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේ පිටියේ දී තමා යැවූ මුල්ම පන්දුවාරයේ පළමු පන්දු 3න් පිළිවෙළින් ට්‍රෙවර් ග්‍රිපර්, මරේ ගුඩ්වින් හා නීල් ජොන්සන් යන පිතිකරුවන් තිදෙනාව දවා ගනිමින් නුවන් සොයිසා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම කඩුලු ත්‍රිත්වය හිමිකර ගත්තේය. ඉන් වසර 17ක් ගත වූ පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවන කඩුලු ත්‍රිත්වය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලබා ගත් රංගන එහි දී පිළිවෙළින් ඇඩම් වෝගස්,පීටර් නෙවිල් හා මිචෙල් ස්ටාක් යන පිතිකරුවන්ව දවා ගත්තේය.

රංගන කඩුලු ත්‍රිත්වය ලබා ගැනීමෙන් පසු (gettyimages)

හේරත්ගේ සාර්ථක නික්ම යෑමකට ශ්‍රී ලංකාවට විශාල ඉලක්කයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසාන වූයේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 462ක ජයග්‍රාහී ඉලක්කයක් පසු පස…


රංගන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සියලුම වමත් පන්දු යවන්නන් අභිබවා යයි

2017 වසරේ පකිස්තානය ඔවුන්ගේ බලකොටුව වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලියකින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කළ අවස්ථාවේ රංගන ටෙස්ට් කඩුලු 400ක් දවාගත් මුල්ම දඟපන්දු යවන්නා වූ අතර අනතුරුව 2018 වසරේ මුල් භාගයේ දී රංගන වසීම් අක්‍රම්ගේ ටෙස්ට් කඩුලු 414 පසුකරමින් වමත් පන්දු යවන්නෙකු ටෙස්ට් පිටියේ ලබාග ත් වැඩිම කඩුලු ප්‍රමාණයේ වාර්තාව මේ වන විට හිමිකරගෙන සිටින්නේ කඩුලු 430ක් ලබා ගනිමිනි.

මීට අමතරව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පකිස්තානයට එරෙහිව ටෙස්ට් කඩුලු 100ක් දවා ගත් එකම පන්දු යවන්නා බවට රංගන වාර්තා පොත් අතරට එක්ව ඇත.

රංගන ටෙස්ට් කඩුලු 400 ලබාගත් අවස්ථාව (gettyimages)

අවශ්‍ය අවස්ථාවල රංගනගේ පිත්ත ද ක්‍රියාත්මක විය

2010 වසරේ ඉන්දීය පිලට එරෙහිව ගාලු පිටියේ මුරලි සහභාගි වූ අවසන් ටෙස්ට් තරගයේ දී සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ රංගන පන්දු 93කින් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තේය. ටෙස්ට් තරගවල දී රංගනගේ පිතිකරන දායකත්වය ගැන සිහිපත් කරන විට 2014 වසරේ  එංගලන්ත පිලට එරෙහිව පැවති  හෙඩිංග්ලි ටෙස්ට් තරගයේ දී වටිනා ලකුණු 48ක් ලබා ගනිමින් මැතිව්ස් සමඟ ඔහු ගොඩනැගූ ලකුණු 149ක සබඳතාවය තරගය ශ්‍රී ලංකාව දෙසට නැඹුරු කළ සිදුවීම විය.

මීට අමතරව 2016 වසරේ එංගලන්ත සංචාරයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් හි පැවති වන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ රංගන ලැබූ අගනා ලකුණු 61 හා 2017 ඉන්දීය සංචාරයේ පළමු ටෙස්ට් තරගය වූ කල්කටා ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ ලබාගත් ලකුණු 67 ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ සුවිශේෂී ඉනිම් විය.

රංගන 2010 වසරේ ගාලු පිටියේ දී ඉන්දීය පිලට එරෙහිව නොදැවී ලකුණු 80ක් ලබාගත් ඉනිමේ එක් අවස්ථාවක් (gettyimages)

ඔහු ශ්‍රී ලංකාවේ 14 වැනි ටෙස්ට් ක්‍රිකට් නායකයා විය

ශ්‍රී ලංකාවේ 14 වැනි ටෙස්ට් නායකයා බවට පත්වූ රංගන ටෙස්ට් තරග 5ක් සඳහා නායකත්වය ලබා දී ඉන් ටෙස්ට් ජයග්‍රහණ 3ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇත. ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු ටෙස්ට් ක්‍රිකට් තරගයක වාර්තා කළ තෙවැනි හොඳම පන්දු යැවීම හරාරේ පිටියේ දී වාර්තා කළ රංගන එහි දී ලකුණු 152කට කඩුලු 13ක් දවා ගත්තේ 1995 වසරේ නවසීලන්තයට එරෙහිව ලකුණු 55කට කඩුලු 13ක් හා 1993 වසරේ සිම්බාබ්වේට එරෙහිව ලකුණු 135කට කඩුලු 13ක් දවා ගත් වකාර් යුනිස්ට පිටුපසින් සිටිමිනි.

හරාරේ පිටියේ දී සිම්බාබ්වේ පිලට එරෙහිව පන්දු යවමින් (gettyimages)

රංගන ඔබට සුබ ගමන්

ටෙස්ට් තරග 93ක් තුල කඩුලු 433ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල මෙහෙවරක් කළ ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අමාරුම කාල සමයක ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගෙන යාම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බලවත් පාඩුවකි. නමුත් ඔබ අප ටෙස්ට් ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීමට කළ මෙහෙය අපරිමිතයි. ඉතින් රංග අයියා එහෙනම් ඔබට සුබ ගමන්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<