ශ්‍රී ලංකා ලලනාවන් කසකස්තානය හමුවේ පරාජයට

266
Womens U23 Volleyball Championship
pic credits - AsianVolleyball.net

වයස අවුරුදු 23න් පහළ ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ දෙවන දිනයේ තරග අද (14) තායිලන්තයේ නැකහොන් රැචසිමා හි දී සාර්ථකව අවසන් වුවත්, අද දිනය ද ශ්‍රී ලංකා කණ්ඩායමට සුභදායී දිනයක් නොවූයේ කසකස්තාන කණ්ඩායම හමුවේ ද වට 3-0ක් ලෙස පරාජයට පත් වීම නිසාවෙනි.

ආරම්භක තරගයේදීම ශ්‍රී ලංකාවට වැඩ වරදියි

වයස අවුරුදු 23න් පහළ දෙවන ආසියානු කාන්තා වොලිබෝල් ශූරතා තරගාවලිය මැයි මස 13 වන දා සිට 21 වන දා දක්වා තායිලන්තයේ නැකහොන් රැට්චසිමා හීදි පැවැත්වේ.

චීන තායිපේ කණ්ඩායම සමඟ ඊයේ (13) පැවති තරගයේ දී ද වට 3-0ක් ලෙස දරුණු පරාජයක් ලද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද පිටියට පැමිණියේ කෙසේ හෝ මෙම තරගය ජයග්‍රහණය කර  මෙම තරගාවලිය තුල සක්‍රියව ඉදිරියටම යාමේ බලාපොරොත්තු ඇතිවයි.

නමුත් සිදු වූයේ නොසිතූ දෙයකි, ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පැවැත්වූ තරගයේ දී දැක්වූ දස්කම් හෝ දැක්වීමට කසකස්තාන ක්‍රීඩිකාවන් අවසර ලබා නොදුන් අතර, ඔවුන් ශ්‍රී ලංකා ප්‍රහාර හමුවේ ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මුල සිටම තරගයේ පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම මතට යොදන ලදි.

පළමු වටය ලකුණු 2514ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කළ කසකස්තාන කණ්ඩායම, දෙවන වටය තුල බිහිසුණු තරගයක් ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 8කට සීමා කරන ලදි. තෙවන වටය ද සාර්ථකව හා පහසුවෙන්ම ජයග්‍රහණය කළ කසකස්තානය එම වටය ලකුණු 25-12ක් ලෙස අවසන් කළේ, ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය ද යම්තාක් දුරකට පසක් කරමිනි.

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කසකස්තාන හමුවේ ද වට 3-0ක (25-14, 25-8, 25-12) දරුණු පරාජයක් ලබා ගත්තේ, අර්ධ අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු ද බිඳ දමමිනි.

ඒ නිසාවෙන් හෙට (15) තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම G කාණ්ඩය යටතේ තරග වදිනු ලැබේ. ඒ සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ද තේරී ඇති අතරම, තවත් එක් කණ්ඩායමක් හෙට (15) නිමා වන තරග වලින් පසුව එම කාණ්ඩයට සුදුසුකම් ලබයි.

එසේම තායිලන්තය, චීන තායිපේ හා කසකස්තාන කණ්ඩායම් E කාණ්ඩයට සුදුසුකම් ලබාගෙන ඇති අතර, එමඟින් ඔවුන්ට අර්ධ අවසන් පූර්ව තරගයට යාමට අවස්ථාව උදාකරගත හැකිය.

C කාණ්ඩය යටතේ තරග වදින, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ සහභාගි වන අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (15) සවස 5.30ට ප්‍රබල ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමඟින් පැවැත්වේ.

අද පැවැත්වූ අනෙකුත් තරග වල ප්‍රතිඵල,

  • මැකව් 0-3 තායිලන්තය (12-25, 08-25, 08-25)
  • ජපානය 3-0 වියට්නාමය (25-12, 25-15, 25-21)
  • චීන තායිපේ 3-0 ඕස්ට්‍රේලියාව (25-21, 25-14, 25-20)
  • ඉරානය 3-0 මැලේසියාව (25-21, 25-23, 25-16)

හෙට (15) පැවැත්වෙන තරග,

  • හොංකොං හා මැකව්
  • උස්බෙකිස්තානය හා ජපානය
  • චීන තායිපේ හා කසකස්තානය
  • නවසීලන්තය හා ඉරානය

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට