හංසිමා – හංසිකා ශූරතාව බස්නාහිරට ගෙනෙති

346
Western Province

හංසිමා කරුණාරත්නගේ විශිෂ්ඨ අර්ධ ශතකය සහ නිපුනි හංසිකා ලබා දුන් අගනා දායකත්වය හේතුවෙන් 2016 අන්තර් පළාත් කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට බස්නාහිර පළාත් කණ්ඩායම අද (09) සමත් විය.

පසුගිය ලිපි: බස්නාහිර සහ උතුරු මැද අවසන් තරගයට

අවසන් මහා තරගය අද පැවැත්වුනේ කොළඹ කොල්ට්ස් ක්‍රීඩාංගනයේදීය. තරගයේ කාසියේ වාසිය දිනාගත් බස්නාහිර පළාත් නායිකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ බොහෝ දෙනා මවිතයට පත් කරමිනුයි.

බස්නාහිර නායිකාවගේ එම තීරණය අභියෝගයට ලක් කරමින් විශිෂ්ඨ ඉනිමක් ගොඩ නගන්නට උතුරු මැද පළාත් කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සිය පළාත් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූයේ අගනා ලකුණු 67ක් රැස් කරමිනුයි. ඩිලානි මනෝදරා ද ලකුණු අතරට පිවිසි අතර ඇය රැස් කළ ලකුණු සංඛ්‍යාව 41ක්.

සඳනි තිවංකා ලකුණු 12ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් බිඳ හෙලන්නට සමත් වුවත් උතුරු මැද පළාත් කණ්ඩායම මෙම තරගාවලියේ පිහිටවූ හොඳම ඉලක්කය බස්නාහිර පලාතට ලබා දුන්නේ සිය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 131ක් ලබා ගනිමිනුයි.

ප්‍රශස්ථ  මට්ටමේ දඟ පන්දු බල ඇණියකින් සමන්විත වූ උතුරු මැද පළාත් කණ්ඩායම මෙම ඉලක්කය ආරක්ෂා කර ගනු ඇති බව තරගයේ ඉනිම අතරතුර ලද විරාමයේදී බොහෝ දෙනාගේ විශ්වාසය බවට පත් වන්නට ඇති. කෙසේ වෙතත් එම අනාවැකි පුස්සක් බවට පත් කරන්නට හංසිමා කරුණාරත්න සමත් වුනේ දින 3ක් තුල දෙවන වරටත් උතුරු මැද පන්දු යවන්නියන්ට හිසරදයක් බවට පත් වෙමිනුයි.

ඉතා වගකීමෙන් යුතුව සහ අවශ්‍ය අවස්තාවේදී ලකුණු වේගය වැඩි කරමින් තම පිති ප්‍රහාරය දියත් කල හංසිමා නොදැවී අර්ධ ශතකයක් සම්පූර්ණ කලේ තම කණ්ඩායමද ජයග්‍රාහී කඩ ඉමෙන් ඉදිරියට ගෙන යමිනුයි. නිපුනි හංසිකා ද කණ්ඩායමට අගනා දායකත්වයක් සපයමින් ලකුණු 48ක් රැස් කරන්නට සමත් විය.

උතුරු මැද දඟ පන්දු බලඇණියේ ප්‍රධානියා වූ ඉනෝකා රණවීර කඩුලු 2ක් දවා ගනිමින් යම් සටනක් දීමට උත්සාහ කළද ඉතිරි පන්දු යවන්නියන් සියලු දෙනාටම එක්ව දවා ගැනීමට හැකි වූයේ තවත් කඩුලු 2ක් පමණයි. මේ අනුව බස්නාහිර ක්‍රීඩිකාවන් තරගයේ එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් අතැතිව ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව

උතුරු මැද පළාත් කණ්ඩායම – 131/5 (20)  :  චමරි අතපත්තු – 67, ඩිලානි මනෝදරා – 41, සඳනි තිවංකා – 1/12

බස්නාහිර පළාත් කණ්ඩායම  – 135/4 (19.5) : හංසිමා කරුණාරත්න – 52*, නිපුනි හංසිකා – 48, ඉනෝකා රණවීර – 2/27

බස්නාහිර පළාත් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට